කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායයන් දියුණු කිරීම සඳහා UNDP ආධාර ලබාදෙන ලෙස අගමැති ඉල්ලා සිටී

ග්‍රාමීය ප්‍රජා මූල සංවිධානවල කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය කිරීමට ලබාදෙන ආධාර වැඩි කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ඉල්ලා සිටි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නාගරික දුප්පත් ජනතාවගේ ප්‍රජා මූල ව්‍යවසායන් සඳහා සහයෝගය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.
UNDP හි ආසියා සහ පැසිෆික් කලාපීය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ක්‍රිස්ටෝෆ් බෝට් මහතා ඊයේ (12) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඔහු හමුවූ අවස්ථාවේ දී අගමැතිතුමා මෙම ඉල්ලීම කළේය.
"වැදගත් හවුල්කරුවෙකු ලෙස සලකන රටක් වන ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට අපි සහතික වෙනවා". 1967 සිට දෙපාර්ශවය අතර පවතින සමීප හවුල්කාරිත්වය සිහිපත් කරමින් බෝට් මහතා පැවසීය. මෙරට UNDP වැඩසටහන් ක්‍රියාත්මක කරන මධ්‍යස්ථාන කිහිපයක තමා සංචාරය කළ බවත්, ඒ පිළිබඳව තෘප්තිමත් වූ බවත් ඒ මහතා පැවසීය. UNDP සහාය ඇතිව පිහිටුවන ලද Citra Social Innovation Lab මගින් පවත්වාගෙන යන ඵලදායී හා නිර්මාණාත්මක කාර්යයන් ඉතා ආකර්ෂණීය වන අතර Citra Lab විශේෂයෙන් රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාව කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කරන බැවින් වත්මන් සමාජ ආර්ථික අර්බුදයට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට එයට හැකිවනු ඇතැයි එතුමා විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා ලබාදෙන UNDP සහාය සම්බන්ධයෙන් බෝට් මහතාට අග්‍රාමාත්‍යවරයා ස්තූතිය පුද කළේය. Green Climate අරමුදලේ අනුමැතියලත් නියෝජිතායතනයක් වන UNDP වැඩසටහන යටතේ පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රය හා පාරිසරික ව්‍යාපෘති සඳහා ද එතුමාගේ සහ‍යෝගය හිමි වේ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ UNDP ප්‍රතිපත්ති විශේෂඥ ෆාදිල් බාකීර් මාකර් යන මහත්වරුද එක්ව සිටියහ.