වෙළෙඳ, ආර්ථික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ රුසියානු-ශ්‍රී ලංකා අන්තර් සම්බන්ධතා ශක්තිමත් කෙරේ..

රුසියානු ජාතික දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම්...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුසියානු තානාපති ලෙවන් එස්. ෂගාරියන් (Levan S. Dzhagaryan) මහතා අතර හමුවක් අද (2024.06.12) කොළඹ, අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී රුසියානු ජාතික දිනය වෙනුවෙන් රුසියානු තානාපතිවරයා වෙත සුබ පැතුම් එක් කළ අතර රුසියාව මෙරටේ සුවිශේෂ මිතුරෙකු බව සඳහන් කළේය.

ඒ වෙනුවෙන් තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළ අතර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට තම රට සම්පූර්ණයෙන්ම කැප වී සිටින බව පැවසී ය.

2020 වසරේ තමන් විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටිය දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Sergey Lavrov) සමඟ තමන් සිදුකළ සාකච්ඡා පිළිබඳව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, වෙළෙඳ හා ආර්ථික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ රුසියානු-ශ්‍රී ලංකා අන්තර් රාජ්‍ය කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ ව තෘප්තිමත් බව ප්‍රකාශ කළේ ය.

රැකියා නියෝජිතායතන මගින් බඳවාගත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සාමාජිකයින්ගේ ගැටලුව පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා සහ තානාපතිවරයා සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වූ හ. දෙරට අතර වෙළෙඳ, ආයෝජන, අධ්‍යාපන, සංචාරක සහ බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමේ ක්‍රම පිළිබඳ ව ද ඔවුහු විමසාබැලූ හ.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මාධ්‍ය උපදේශක සුගීස්වර සේනාධීර, හා රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ලේකම් ජර්මන් ෆෙඩෝරොව් (German Fedorov) යන අය ද එක් ව සිටිය හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය