මියන්මාර් සඟ පදවි ලැබූ මහ සඟරුවනට බුහුමන්

මියන්මාර් ජනරජයේ උත්තරීතර ගෞරවයෙන් පිදුම් ලැබූ මහා සංඝරත්නය වෙත ගෞරව දැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.03 දින අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණී.

අභිධජ මහා රට්ඨගුරු පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය කඹුරුගමුවේ වජිර නායක හිමියන්ට, අග්ග මහා පණ්ඩිත පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන්ට, අග්ග මහා පණ්ඩිත පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද නායක හිමියන්ට, අග්ග මහා පණ්ඩිත පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය මුවඇටගම ඤානානන්ද නායක හිමියන්ට, සද්ධම්ම ජාතික ධජ පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ගැටබේරී කන්දේ රත්නසිරි නායක හිමියන්ට ගෞරව දැක්වීම මෙහිදී සිදු කරනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

සුවිශේෂ වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළ ජාතික, ආගමික මෙහෙවර වෙනුවෙන් දියහැකි හොඳම දායාදය අපේ නායක ස්වාමීන් වහන්සේලාට මියන්මාර් රජය විසින් ලබා දී තිබෙනවා.

අප රට පමණක් නොව ජාත්‍යන්තරව බුදුරජාණන් වහන්සේගේ ධර්මය යළි යළිත් ලොව පුරා ධර්ම ප්‍රචාරය කිරිම වෙනුවෙන් වූ සුවිශේෂ පිළිගැනීමක් සහ ගැඹුරු පණිවිඩයක් ද මෙමගින් එක් කරන බව සදහන් කරන්නට කැමතියි. පුරා වසර අසූවකට කිට්ටු වෙන්නට ශාසනික මෙහෙවරෙහි නියැලී සිටින අති පූජ්‍ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන් වහන්සේගේ මෙහෙවර මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා. විද්‍යාලංකාර පිරිවෙන, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය, විද්‍යාලංකාර ධර්ම විද්‍යාලය වැනි විද්‍යාලංකාරයෙන් බිහි වුණු විවිධ දිශාවන්ට මග පෙන්වූ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කටයුතු කළ මහා යතිවරයාණන් වහන්සේලාට ඔබ වහන්සේ මහත් වූ ආඩම්බරයක් ගෙන එනවාට කිසිදු සැකයක් නැහැ.

සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් වෙසක් මහෝත්සවය රට පුරා මේ කාලයේ සෑම බෞද්ධයෙක්ම පමණක් නොව හැම රටවැසියෙක් ම සමරනු ලබනවා. අපේ රටටත් සම්බුද්ධ ශාසනයටත් අප රට වැසි ජනතාවටත් නායක ස්වාමීන් වහන්සේලා ලබා දුන් මේ මහඟු උතුම් ගෞරවය සම්බුද්ධ ශාසනයට පමණක් නොව මෙම වෙසක් මහෝත්සවයට ද සුවිශේෂ අවස්ථාවක් බවට පත්වෙනවා.
බුදුරජාණන් වහන්සේ දායාද කළ ධර්මතාවය අදත් ලොව වසර 2600 ක් ගතවී ද සඟරුවන ව්‍යාප්ත කළ ඒ දායාදය අප රටට පමණක් නොව මුළු ලොවටම දායාද වුණා. මියන්මාර් රජයේ සහ මෙරට සම්බන්ධතාවය පසු කලෙක රාජතාන්ත්‍රික පමණක් නොව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ද වූවා. එදා පටන් අඛණ්ඩව ශ්‍රී ලංකා සහ මියන්මාරයේ ඇතිවුණු ඒ සම්බන්ධතාව සම්බුද්ධ ශාසනය හා සබැඳියාවෙන් ඔපවත් වී, ශක්තිමත් වී, අර්ථවත් වී තිබෙනවා.

පසු කාලයක දී යළිත් අපේ සංඝ සභාවේ වර්ධනය පිණිස ගෙනගිය වැඩපිළිවෙළේදී අමරපුර දේශය , රාමඤ්ඤ දේශය ගැන සඳහන් වෙනවා. සියම් දේශයට අතිරේකව මෙම ප්‍රාදේශික පුරවරයන් දෙකම පිහිටා තිබෙන්නේ මියන්මාර් දේශයේ. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, විද්‍යාලංකාර පිරිවෙන පාලි බස සංස්කෘතික වශයෙන් ජීවමානව කතා කළ කේන්ද්‍රස්ථානයක්. විද්‍යාලංකාරය මෙයට ශත වර්ෂ එකහමාරකට පමණ කලින් සිට සංස්කෘතික බසින් පාලි බසින් කතාබස් කරන්නට පුළුවන් සමාජයක් බිහිකිරීමට මුල් වුණා.

භාරත මහා දේශයේ පසුකාලයක ජනාධිපති බවට පත්වූ රාධක්‍රිශ්නා මැතිතුමා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තුමා හැටියට විශේෂ ආරාධිතයා හැටියට පැමිණි වෙලාවේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කුලපති අපේ නායක යක්කඩුවේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ එතුමා ඇමතුවේ සිංහල බසින් නොවේ. ඉංග්‍රීසි බසින් ද නොවේ. එතුමා ඇමතුවෙ සංස්කෘතික හා පාලි භාෂා දෙකෙන්.

රාධක්‍රිෂ්ණා ජනාධිපතිතුමා පිළිතුරු දුන්නේ ද ඒ භාෂාවෙන්මයි. එය ඉතිහාසයේ සටහන් වුණ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සංස්කෘතිමය බැඳියාව සුවිශේෂ අවස්ථාවක්. අතිපූජනීය සංඝරත්නය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු රජයේ කෘතඥතාවය මේ අවස්ථාවේ පුද කරනවා."

මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා සඟරුවන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, විධුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, රංජිත් බණ්ඩාර, ජගත් කුමාර, මියන්මාර තානාපති හැන් තූ, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, ආරාධිතයින්, දායක දායිකාවන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය