ඉන්දීය සාගර සාමය සහ සමුද්‍රීය ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම ජපාන අමාත්‍ය Takei Shunsuke මහතාගේ පැසසුමට ලක්ව තිබේ.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Takei Shunsuke මහතා 2023/02/03 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී දෙරට අතර සහයෝගීතාවය සහ අනාගත සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළේය.

75 වැනි නිදහස් දින සැමරුම් උළෙලට සහභාගි වීම සඳහා කොළඹට පැමිණ සිටින ෂුන්සුකේ මහතා මෙම වැදගත් සන්ධිස්ථානය පිළිබඳව ශ්‍රී ලංකාවට උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

ජපානය දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජපාන රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පුද කළේය. යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන හරහා අත්‍යාවශ්‍ය ඖෂධ සහ ආහාර සපයා ගැනීම සඳහා ජපානය පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 3 ක මානුෂීය ආධාර ලබා දී ඇත.

ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ගෙන ඇති ප්‍රයත්නයන් පිළිබඳව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා ජපාන අමාත්‍යවරයා දැනුවත් කළ අතර, එම ක්‍රියාවලිය සඳහා ජපානයට තවදුරටත් සහය විය හැකි ආකාරය පිළිබඳව ඔවුන් විමසා බැලූහ. පිළිගත හැකි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සූත්‍රයක් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රධාන ණය දෙන්නන් සමඟ සම්බන්ධ වීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජපානයට ස්තූතිය පළ කළේය.

වැඩි වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවයන් පමණක් නොව යටිතල පහසුකම්, ප්‍රවාහන, ඉලෙක්ට්‍රොනික, ධීවර, කෘෂිකර්ම සහ පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්‍රවල ද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට සහ පුළුල් කිරීමට ඇති අවස්ථා ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව විවෘතව සිටින බව ඔහු පැවසීය. දෙරට අතර අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

ඉන්දියන් සාගර කලාපීය සාමය සහ සමුද්‍රීය ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම Takei Shunsuke මහතා අගය කළේය. න්‍යෂ්ටික ප්‍රහාරවලට ගොදුරු වූ ජපානය, න්‍යෂ්ටික ව්‍යසනයකට තුඩු දිය හැකි ඕනෑම ජාතියකගේ ප්‍රකෝපකාරී ක්‍රියා හෙළා දකින බව ඔහු පැවසීය. ජාතීන් අතර ඕනෑම ගැටුමකට සාමකාමී විසඳුමක් සඳහා ශ්‍රී ලංකාව පෙනී සිටින බවත් න්‍යෂ්ටික අවි භාවිතයට දැඩි ලෙස විරුද්ධ බවත් අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර සහ අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ජපාන තානාපති මිසුකෝෂි හිඩේකි, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, ජපාන රාජ්‍ය අමාත්‍යවරයාගේ විධායක සහකාර Ando Toshiaki සහ ජපානයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂවරුන් වන Tsutsumi Taro සහ Tokita Yuji ද මෙම හමුවට එක්ව සිටියහ.