සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා යෝජනා කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා දැනුවත් කරයි

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චුංගොන්ග් සහ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරි ලෝරන්ස් මාර්සාල් මහත්වරු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිචයන් සම්බන්ධ ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සඳුදා (12) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡා කළහ.
මහජන සහභාගීත්වය සහිත වඩාත් බලවත් සහ ශක්තිමත් ආංශික අධීක්ෂණ කමිටු පිහිටුවීම මගින් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. ප්‍රතිපත්තිමය මග පෙන්වීම සහ ජාතික අභිලාෂය පිළිබඳ කරුණු සඳහා ප්‍රමුඛත්වය දීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් ජාතික සභාව පිහිටුවීම සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාව පිළිබඳවද ඔහු සතුට පළ කළේය.
පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වැදගත් වන බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විවාද රූපවාහිනියෙන් සජීවීව නැරඹීමේ අවස්ථාව ඔවුන්ට හිමිවන බවද ඔහු අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිත පිරිසට පැවසීය.
ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා රජය ගන්නා උත්සාහය අන්තර් පාර්ලිමේන්තු සංගම් මහලේකම්වරයාගේ පැසසුමට ලක්වූ අතර ජාතික මට්ටමේ විවාදවලට තරුණයින් සහභාගීවීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
සියල්ලෝම අන්තර්ගත පාලනයක් සහතික කිරීම සඳහා කාන්තාවන් සහ අනෙකුත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් දේශපාලනමය කටයුතුවලට සහභාගීවීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද චුංගොන්ග් මහතා අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.