රටට සාපයක් වී ඇති දූෂණය,නාස්තිය වැළැක්වීමට සහ බාල නිෂ්පාදන පිටුදැකීමට පරිපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

පරිපාලන ප්‍රතිසංස්කරණ වැදගත් වන්නේ ඵලදායිතාව ප්‍රවර්ධනයට හෝ දූෂණයට එරෙහිවීමට පමණක් නොව, අපේ රටට සාපයක් වී ඇති නාස්තිය, උදාසීනත්වය සහ ගුණාත්මක අතින් බාල නිෂ්පාදන පිටුදැකීම සඳහා බව 2023.02. 24 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ශ්‍රී ලංකා නවෝත්පාදකයින්ගේ සංසදයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා නවෝත්පාදකයින්ගේ සංසදයේ මෙම සමාරම්භක උත්සවය සංවිධානය කරන ලද්දේ ගාමිණී කොරයා මහතාගේ පුද්ගලික ධනය උපයෝගී කරගනිමින් පර්යේෂණ සහ ධාරිතා සංවර්ධනය තුළින් රටේ ප්‍රතිපත්ති සම්පාදනය සහ කළමනාකරණ පද්ධතියට සහාය වීම සඳහා පිහිටුවන ලද ගාමිණී කොරියා පදනම (GCF) විසිනි.

අග‍්‍රාමාත්‍යවරයා සිය දේශනයේදී ගාමිණී කොරයා පිළිබඳ මතකය ආවර්ජනය කරමින් ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලනය අවසානයේ එතුමා දරිද්‍රතාවයෙන් පෙළුණු ගමින් ගමට යමින් ජාතිය ගොඩනැගීමේ මෙහෙවරෙහි යෙදුණු ආකාරය විස්තර කළේය.

ශ්‍රී ලංකාව පුරා සංචාරයේ යෙදුණු ඔහු “තරුණ වයසේදීම සැලසුම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වෙමින්, එම යුගයේ රජයන් සමග දිළිඳුකම පිටුදැකීම සහ ආර්ථික සංවර්ධන වැඩසටහන් දියත් කිරීම සඳහා කැපවී කටයුතු කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අද රටේ සංවර්ධනය සම්බන්ධයෙන් අප මුහුණ දී සිටින පෙර නොවූ විරූ අභියෝගය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය නිසා සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ලෙස භාණ්ඩවල මිල ඉහළයාම පිළිබඳව අගමැතිවරයා වැඩිදුරටත් විස්තර කළේය. “මෙම තත්වයට හේතු රාශියක් බලපා තිබෙනවා. මූලික හේතුව ආනයන ධාරිතාව නොමැතිකමයි. ණය ලබාගෙන දීර්ඝ කාලයක් මේ තත්ත්වය කළමනාකරණය කළත් අවසානයේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට සිදු වුණා. පසුගිය මාස නවය තුළ අපි ණය දෙන්නන්ගේ විශ්වාසය නැවත ලබාගෙන තිබෙනවා. ඒ විශ්වාසය තහවුරු කර ගැනීමට නම්, ණයට ගත් මුදල් හොඳින් ආයෝජනය කළබව අපි ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුයි. එය කළ හැක්කේ තාවකාලික පියවර ලැයිස්තුවක් විස්තර කිරීමෙන් නොව කෙටි, මධ්‍ය කාලීන සහ දිගු කාලීන, ස්ථාවර සහ විස්තීර්ණ සැලැස්මක් ඉදිරිපත් කිරීමෙන් පමණයි.

වෙළෙඳපොළ බලවේග ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගෙන ඇති නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. “මේ සම්බන්ධයෙන් ප්‍රධාන පියවර වන්නේ විනිමය අනුපාතිකය නිවැරදි කිරීම සහ වෙළෙඳපොළ යාන්ත්‍රණයේ කාර්යක‍්ෂමතාව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා බදු ගැලපීම් කිහිපයක් සිදු කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල අවසාන ප්‍රතිඵලය ලෙස වෙළඳපොළ කාර්යක‍්ෂමතාව සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඉදිරි මාවත පෙන්නුම් කරනවා“.

අග‍්‍රාමාත්‍යවරයා දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහනට සහය වීම සඳහා අර්ථාන්විත ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණවල වැදගත්කම ප‍හදා දුන් අතර එම වැඩසටහන්වල ප්‍රතිලාභීන්ට වාසිසහගත වන අයුරින් ඒවා ප්‍රමාණාත්මකව හා ප්‍රතිපාදන ලබාදීම අතින් වැඩිදියුණුකිරීම සිදුවිය යුතු බව අවධාරණය කළේය.

දිළිඳුකම පිටුදැකීමේ අර්ථවත් වැඩසටහනක් සකස් කිරීමට ගාමිණී කොරයා පදනම ගෙන ඇති උත්සාහය අගය කළ එතුමා එහි ප්‍රතිලාභ සමාජයට ලබා ගැනීම සඳහා එම වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය. සමස්ත පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලද අතර, නිෂ්පාදනයේ දී සිදුවන නාස්තිය, උදාසීනබව සහ බාල නිෂ්පාදන පිටුදැකීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. “සමස්ත පාලනයට අදාළ ගැටළු විසඳීමෙන් තොරව පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ නොහැක. යහපාලනයේ මූලික මූලධර්මවලට අදාළ ගැටළු - සාධාරණත්වය, විනිවිදභාවය, වගවීම සහ නීතියේ ආධිපත්‍යය අර්ථවත් වැඩසටහනකට මඟ පෙන්විය යුතු වෙනවා. ඒවා වැදගත් වන්නේ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීමට හෝ දූෂණයට එරෙහිව සටන් කිරීමට පමණක් නොව, අපේ රටට සාපයක් වී ඇති නාස්තිය, උදාසීනබව සහ බාල නිෂ්පාදන පිටුදැකීම සඳහායි.

දේශගුණික විපර්යාස, බලශක්ති අර්බුදය සහ රාජ්‍ය ඩිජිටල්කරණය යන ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් රජයට මගපෙන්වීම සඳහා නායකත්වය ගන්නාලෙස ද ගාමිණී කොරයා පදනම වෙත අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආරාධනා කළේය.
ආචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය හොවාර්ඩ් නිකලස් සහ වෛද්‍ය මුර්ටාසා ජැෆර්ජි රැස්ව සිටි පිරිස ඇමතූ අතර අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස විතාරණ, එරාන් වික්‍රමරත්න, චරිත හේරත්, යදාමිණි ගුණවර්ධන, හිටපු මන්ත්‍රී ඩිව් ගුණසේකර, තානාපතිවරුන්, විද්වතුන්, ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින්, පර්යේෂණ ආයතන ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.