පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා සෞදි අරාබියේ රැකියා අවස්ථා රැසක් ඇති බව නව සෞදි තානාපතිවරයා පවසයි

ආර්ථික සහ ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සෞදි අරාබියේ නව තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
පසුගියදා සිය අක්තපත්‍ර ඉදිරිපත් කළ තානාපති Khalid bin Hamoud Nasser Aldasam Alkahtani මහතා පැවසුවේ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා තම රටේ රැකියා අවස්ථා වැඩි කිරීම තම ප්‍රධාන කාර්යය බව ය. සිකුරාදා (සැප්තැම්බර් 16) අග්‍රාමාත්‍යවරයා හමුවූ තානාපතිවරයා කෙටි කාලයක් තුළ සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකික පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රම බලකාය 180,000 සිට 400,000 දක්වා වැඩි කළ හැකි බව පැවසීය.
"මම ශ්‍රී ලංකාවට ආදරය කරන අතර ඔබගේ රටට සහය දීමට මම උපරිමයෙන් කටයුතු කරමි" යනුවෙන් ඔහු සහතික විය.වත්මන් ආර්ථික ගැටලුවලින් ශ්‍රි ලංකා ව ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු දැකීම සවුදි රජයේ ද අපේක්ෂාවයි.
ආයෝජන මණ්ඩලයේ අලුතින් හඳුන්වා දී ඇති ලිහිල් වීසා රෙගුලාසි සහ ආයෝජන පහසු කිරීමේ යෝජනා ක්‍රම මඟින් සෞදි ආයෝජකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉවහල් වන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
බලශක්ති, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට සෞදි අරාබියට අවස්ථාවන් ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. සෞදි සංවර්ධන අරමුදලේ නව ආධාර වැඩසටහන් යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය සහ සහාය වෙනුවෙන් ස්තුතිය පුද කළේය.
සංචාරක ප්‍රවර්ධනය සහ සෞදි ගුවන් සේවයේ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳව ද ඔව්හු සාකච්ඡා කළහ.
මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ සෞදි ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නකීබ් මවුලානා යන මහත්වරු ද එක්ව සිටියහ.