ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය සහයෝගය අඛණ්ඩව ලබා දෙන බවට දකුණු ආසියාව සඳහා වන බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සහතික වෙයි

ශ්‍රී ලංකාව මුහුණදෙන සමාජ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය ගුණවර්ධන ප්‍රමුඛ රජය අනුගමනය කරන වැඩපිළිවෙළට සහයෝගය ලබා දීමට එක්සත් රාජධානි ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව දකුණු ආසියාව, එක්සත් ජාතීන් හා පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා වන බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය සාමි මන්ත්‍රී මණ්ඩල සභික තරික් අහමඩ් මහතා තහවුරු කරයි.

අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා සමග අද 16 පවත්වන ලද දුරකථන සංවාදයේ දී එතුමා ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන ගැටලු පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගත්තේය.

රට මුහුණ දෙන ආර්ථික, සමාජයීය සහ දේශපාලනික අභියෝග මෙන්ම ඒවා විසඳීමටත් ජනතාවට සහන සැලසීමටත් රජය ගන්නා කෙටි මැදි සහ දිගු කාලීන ක්‍රියාමාර්ගයන් පිළිබඳව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා එතුමාට කරුණු පැහැදිලි කළ අතර එම ක්‍රියාමාර්ග ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව සාමි මන්ත්‍රී මණ්ඩල සභික තරීක් අහමඩ් මහතා තහවුරු කළේය.