"ආහාර අර්බුදයට පිළියම් සොයන්න එකතුවෙලා වැඩකරන්න සුදානම්" -සණස සභාපති, ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය අග්‍රාමාත්‍යවරයාට පවසයි.-

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ සණස ව්‍යාපාරය අතර සාකච්ඡාවක් පසුගියදා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේන් රාගවන්, යදාමිණි ගුණවර්ධන, අනූප පැස්කුවල්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ, සණස සභාපති ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය, මහාචාර්ය හිලරි සිල්වා හා සණස නිලධාරීන් එක්වූ මෙය සංවාදාත්මක සාකච්ඡාවක් විය.
එහිදී අදහස් දැක්වූ සණස නියෝජිතයින් ...
"කඩිනමින් අදාල කණ්ඩායම් වලට ප්‍රතිලාභ ලැබෙන වැඩපිලිවෙලකට අපට යා හැකියි. අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභ ලැබෙන පරිදි එය ක්‍රියාත්මක කල යුතුයි. මිනිසුන් තුළ මාස් කන්නයත් සමග නව බලාපොරොත්තු ඇතිවෙමින් තිබෙනවා. මාස අටක විතර ආහාර සුරක්ෂිතතාව පිලිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම තමයි අපේ අරමුණ. ජනතාව ජව සම්පන්න කිරීමත් ගොඩක් වැදගත්. අපි බලාපොරොත්තු වෙනවා ග්‍රාමීය නායකයින්, ප්‍රාදේශීය ලේකම්වරුන් වැනි පිරිස් හමුවෙලා ග්‍රාමීය ඒකක පුුනර්ජනනීය කරගන්න. ඒ සඳහා මිනිසුන් දැනුවත් කිරීම, විශේෂඥ උපදෙස් ඇතුළු පැති කිහිපයක උදව් අපට අවශ්‍යයි."
අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා...
"සණස සතුව පවතින සම්පත් මේ මොහොතේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉතාම වැදගත්. ග්‍රාමීය ජනතාවත් සමග වැඩි කාලයක් සණස බැදිලා වැඩ කරලා තියනවා ඒකට හොඳ සාමාජික පිරිසකුත් ඉන්නවා ඒ අත්දැකීම් සමඟ මහා පරිමාණයෙන් මැදිහත්වීමක් ඔබෙන් අවශ්‍ය වෙනවා."
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා...
"මම උදාහරණයක් දෙන්නම්. මුලතිව් වල අපේ සමිති 26ක් තිබෙනවා. අපි ඔවුන්ට උපදෙස් දුන්නේ ඩොලර් වගා කරන්න. එවිට ජනතාව ඇහුවේ ඒක කරන්නේ කොහොමද කියලා විදෙස් රටවලින් ගෙන්වන උඳු, මුං ඇට වැනි දෑ වගා කරන්න අපි උපදෙස් දුන්නා. එමගින් පිටරටින් ගෙන්වන එක අවම කරලා දේශීය අස්වැන්න වෙළඳ පොලට නිකුත් කරන්න කටයුතු කලා. ඒ සඳහා සමිති 26 වෙත රුපියල් කෝටියක් අපි ලබා දුන්නා. කන්නයක් ඇතුලත සියළු සල්ලි පොලියත් සමඟ අපිට දුන්නා මෙවර කෝටි දෙකක් ලබා දීලා තිබෙනවා. මුලින්ම කරන්න ඕන ජනතාවගේ ඔළුව හදන එක. ගම සංවර්ධනය කරන එක මිනිස්සුන්ට කරන්න අවස්ථාව දෙන්න කියලා අපි යෝජනා කරනවා. වැඩිහිටි සංවිධාන වල පරිණත මිනිස්සු ඉන්නවා ඒ අයගෙන් කිසිම වැඩක් ගන්නේනෑ. ගමේ නව වැඩසටහන් ක්‍රියාත්මක කරන අයට වටිනාකමක් නෑ.

සංවර්ධන සභා නැවත ඇති කරමු කියලා මම ඉල්ලීමක් කරනවා. නිෂ්පාදන අලෙවි කිරීම සහ සුරක්ෂිත කිරීමේ ක්‍රම හදන්න ඕන. රාජ්‍ය තන්ත්‍රය ශක්තිමත් කළ යුතුයි. රාජ්‍ය නොවන සංවිධානවලට බනිනවා. නමුත් ගම් මට්ටමින් විශාල වැඩ කොටසක් සිදුකරනවා.
සමුපකාරය පලාත් පාලන ආයතන වල විෂයක්. සමූපකාරය ශක්තිමත් කරන්න නම් මේ කාරණා අවබෝධ කරගන්න ඕන. චේන්ජ් චේන්ජ් කියනවා මොකද්ද ඒ චේන්ජ් එක ඒක බත් පිගානේ ඉඳලා අදින ඇඳුමේ ඉඳලා වෙනස් වෙන්න ඕන. ඒ සඳහා අධ්‍යාපනයට විශාල කාර්ය භාරයක් පැවරෙනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා පිටවෙන කොටම පෞද්ගලික අංශ වලට කලමනාකරණ පුහුණුවකට යොමු කරනවා උපාධිය ගත්තත් ඒ පිරිසට පිළිගැනීමක් නැහැ. ඇයි විශ්ව විද්‍යාලයේදීම ඒක කරන්න බැරි. ගොවියෝ කෝටිගානක් එක්ක අපි වැඩකරනවා. ගොවියෝ එක්ක සුහදව වැඩකරන්න ඕන. රෝගය හරියට හඳුනාගෙන කටයුතු කළ යුතුයි. දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සැලසුම් කළ යුතුයි. වගා කිරීම ගෙවත්ත කුඹුර ඉලක්ක කරගෙන වැඩ කරන අතරතුර වෙනම ගම් හඳුනාගෙන වෙළඳ පොල ඉලක්ක කර නිෂ්පාදකයින් අපි නිර්මාණය කරගෙන යනවා. මේ වනවිට ඒ සඳහා ගම් 200ක් තෝරාගෙන තිබෙනවා නිෂ්පාදන මිලදී ගන්න වෙළඳ පොල නියෝජිතයන් ඒ ඒ ගම්මාන වලට හදුන්වා දී තිබෙනවා. අපනයනය කිරීමේදී වැඩි වියදමක් දැරීමට සිදුවන බැවින් ඊට රජයෙන් යම් සහනයක් ලබා දිය යුතුයි."