ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් ගැන කතා කරන කොට, ගාමණී ජයසූරිය මැතිඳුන් අමතක කළ නොහැකියි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද ( 2024.04.30) හෝමාගම, මීගොඩ මධ්‍ය මහා විද්‍යාලය ගාමණී ජයසූරිය මධ්‍ය මහා විද්‍යාලය නමින් නම් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

ගාමණී ජයසූරිය මැතිතුමාගේ සියවන ජන්ම සංවත්සරය සහ පාසලේ ශතවර්ෂය සම්පූර්ණ වීමේ අවස්ථාව සනිටුහන් කරමින් මෙසේ එතුමාගේ නමින් විදුහල නම් කිරීම සුවිශේෂ අවස්ථාවක්. මේ කටයුත්ත එලෙස සිදු කිරීමෙන් පාසලේ දරුවන්ට සමාජයට කෘතවේදීත්වයේ උපරිම ගෞරවය ලබා දෙන්නට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තා.

ගාමණී ජයසූරිය මැතිතුමා ගැන මුළු මහත් රටවැසියා දන්නවා. එතුමා සලකන්නේ අපේ ගෞරවනීය ජාතික විරුවෙක් බවට පත්විය හැකි ආදර්ශයක් දායාද කළ පුද්ගලයෙකු ලෙසයි. අනගාරික ධර්මපාලතුමා, එතුමාගේ පරම්පරාවේ ජාතික ප්‍රබෝධයේ නායකත්වයේ ශතවර්ෂය ඇති කළා. බොරලුගොඩ රාළහාමි මගේ සීයගෙ ඥාතීන්ගේ පරම්පරාවට ගාමණී ජයසූරිය මැතිතුමාගේ ඥාතීන් එක්ව සිටියා. ඒ නිසාම මේ අය ජාතික වීරවරයන්ගේ ප්‍රධාන අරගලයන් කාලේ එක්ව කටයුතු කළා.

එවැනි පසුබිමක් තිබුණු හේවාගම්කෝරලයට පසු කාලීනව පිලිප් ගුණවර්ධන මැතිතුමා මන්ත්‍රීවරයා හැටියට 1936 දී පත්වුණා. එදා අධ්‍යාපනයට දිය හැකි සෑම ශක්තියක්ම දෙන්න එක් වුණේ මේ ජාතික ව්‍යාපාරය නිසා. බර්නාඩ් ජයසූරිය කියන්නේ ගාමණී ජයසූරිය මැතිතුමන්ගේ ආදරණීය පියා. දීර්ඝකාලීන දේශපාලන උරුමයත්, ජාතික උරුමයත් ගාමිණී ජයසූරිය මැතිදුන්ට තිබුණා.

අපේ රටේ අධ්‍යාපනයට ජාතික වශයෙන් ලබා දුන් සුවිශේෂ දායකත්වයක් ලෙස නව අධ්‍යාපන රටාවක් බිහිකරමින්, අලුත් ක්ෂේත්‍රයන්ගෙන් ශක්තිය ලැබූ අලුත් පරම්පරාවක් උසස් පෙළ දක්වා ගමන් කොට විශ්ව විද්‍යාලයට ගමන් කරමින්, තාක්ෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සුවිශේෂව රටක් වෙනස් වීමේ මගට අවතීර්ණ වූ කාලයක් අපි පසුකර තිබෙනවා.

ඒ කාලේ දේශපාලන ගැටුම් වැඩියි. අධ්‍යාපන ගැටලුවලට වඩා. ඒ වුණත් ඒ අවස්ථාවේදී මේ ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය, දෙමව්පියන්ගේ සහයෝගය ලැබීමෙන් තවදුරටත් පාසලේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට පුළුවන්කම ලැබුණා.

ඒ කාලේ ගාමණී ජයසූරිය මැතිතුමා තරුණයෙක් හැටියට ඒ අධ්‍යාපන පෙරළි වලට දේශපාලනයකින් තොරව දැවැන්ත ආදර්ශයක් දෙන්න ඉදිරිපත් වුණා. ඒ නිසා සුවිශේෂ පරිත්‍යාගයන් කළ ආදර්ශයක් එතුමා වර්තමාන සමාජයට එක්කළා. අධ්‍යාපනයට ගාමණී ජයසූරිය මැතිතුමා අමතක කරන්න බැහැ. ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රය භාරව ප්‍රධාන වගකීම් රාශියක් දැරුවා වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වගකීම් දැරුවා.

අසූවේ මහා වැඩ වර්ජනය ඔබට මතක ඇති. රාජ්‍ය සේවකයෝ සියලු දෙනා වැඩ වර්ජනය කළා. ඒ වෙලාවේ අසූ දාහක් අස් කරලා දැම්මා එකම නිවේදනය වුණේ හෙට සිට රැකියාවට වාර්තා කරන්න එපා යැයි කියන එකයි. නමුත් ගාමණී ජයසූරිය ඇමතිතුමා තමන්ගේ යටතේ තිබුණු අමාත්‍යාංශ හා සංස්ථාවල කිසිවෙකු අස් කළේ නැහැ.

හෙට දිනය ලෝක කම්කරු දිනයයි. හෙට දිනයේ ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් ගැන කතා කරන කොට ගාමණී ජයසූරිය මහජන නියෝජිතයා අමාත්‍යවරයා ලෙස එදා ඔවුන්ගේ අයිතිය සුරැකියා. එහෙමයි ගාමණී ජයසූරිය මැතිතුමා රටේ දේශපාලනය ජාතික කර්තව්‍යයන් ඉටු කිරීමේ ජාතික සේවය සම්බන්ධව දරපු ඉතාම සුවිශේෂී ආදර්ශමත් ප්‍රතිපත්තිය. මාතෘ භූමියේ පැවැත්ම මාතෘ භූමියේ ආරක්ෂාව මාතෘ භූමියේ දියුණුවට සුවිශේෂව අධ්‍යාපන ක්ෂේත්‍රයට ගාමණී ජයසූරිය මැතිතුමා දැවැන්ත ආදර්ශයක් සැපයුවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ආචාර්යවරුන්, පාසල් සිසුන්, දෙමාව්පියන්, මහජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය