රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ ව වෘත්තීය අධ්‍යාපන ආයතන ක්‍රමවත්ව හා අඛණ්ඩව පවත්වාගත යුතුයි.
රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් වෙනුවෙන් රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව වෘත්තීය අධ්‍යාපන ආයතන ක්‍රමානුකූලව හා අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන අංශය වෙනුවෙන් සකස් කරන උපායමාර්ගික රාමුව 2026-2035 පිළිබඳ පෞද්ගලික සහ රාජ්‍ය අංශය දැනුවත් කිරීම සඳහා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ අද (නොවැම්බර් 27) පැවති වැඩමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහය ඇතිව වෘත්තීය ආයතන, රාජ්‍ය අංශය, පෞද්ගලික ආයතන සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව 2026 - 2035 වසර ඉලක්ක කර වෘත්තීය අධ්‍යාපන අංශය වෙනුවෙන් සකස් කළ මෙම උපායමාර්ගික රාමුව පිළිබඳ දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීමද මෙහිදී සිදු විය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේද සඳහන් කළාය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඓතිහාසික පරිවර්තනයක් සිදු කරන කාලයක තෘතියික හා වෘත්තීය අධ්‍යාපන අංශයේ උපායමාර්ගික රාමුව 2026-2035 පිළිබඳ මෙම සාකච්ඡාව ඉතා වැදගත්.
නූතන ලෝකය තුළ වේගයෙන් වෙනස් වන ආර්ථික පරිසරයක් නිර්මාණය වී ඇති නිසා, ඊට ගැලපෙන ලෙස ශ්‍රී ලංකාවේ අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ ඉගෙනුම් මාර්ග පෙළගැස්වීමයි රජයේ අරමුණ වන්නේ.
මෙම පරිවර්තනයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික මට්ටමින් වෘත්තීය අධ්‍යාපනය හඳුන්වාදීමයි. ප්‍රථම වතාවට, 10 වැනි ශ්‍රේණියේ සිට සිසුන්ට ඔවුන්ගේ වෘත්තීය අවශ්‍යතා, කුසලතා සහ අභිලාෂයන් අනුව වෘත්තීය අධ්‍යාපනය තෝරා ගත හැකියි.
අපි විභාග කේන්ද්‍රීය අධ්‍යාපන පද්ධතියකින් නම්‍යශීලී, මොඩියුලර් සහ නිපුණතා පාදක ඉගෙනුම් ආකෘතියකට මාරු වන විට, අඛණ්ඩ ඉගෙනුම් අවස්ථා ලබා දීමේදී තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය ඉතා වැදගත් තැනක් ගනී. එහිදී අධ්‍යයන, තාක්ෂණික සහ වෘත්තීය අංශ අතර තෝරාගැනීම් සහතික කිරීමත් අවශ්‍ය වෙනවා.
වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ විරැකියාව ආසන්න වශයෙන් 22% ක් වීම කාලයක් තිස්සේ අපේ රටේ තිබෙන ගැටලුවක්. ඊට හේතුව අපේ අධ්‍යාපනය සහ ශ්‍රම වෙළඳපොළ ඉල්ලීම් අතර පවතින නොගැලපීමයි. ඒ සඳහා, ඊට අදාළව නිපුණතාවලින් අපගේ තරුණයින් සන්නද්ධ කිරීම සඳහා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය යි.
කෙසේ වෙතත්, බොහෝ පුහුණු ආයතන යල් පැන ගිය උපකරණ, සීමිත අවස්ථා සහ ප්‍රමාණයේ සීමාවන් නිසා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය අභියෝගවලට මුහුණ දෙන බව අපි දන්නවා.
අපගේ ඉලක්කය වන්නේ සෑම ආයතනයක්ම ගුණාත්මකභාවයෙන් ක්‍රියාත්මක වන බව සහතික කිරීම, ග්‍රාමීය ප්‍රදේශ, ආන්තික ප්‍රජාවන් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු පුළුල් හා වඩාත් විවිධාකාර ඉගෙනුම් කණ්ඩායම් වෙත වෘත්තීය අධ්‍යාපන අංශය විවෘත කිරීමයි.
ගුණාත්මකභාවය සහ රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගැනීම වෘත්තීය අධ්‍යාපන පරිසර පද්ධතියක පදනම විය යුතුයි. ඒ නිසා මෙම උපායමාර්ගික රාමුව, කර්මාන්ත ප්‍රමිතීන් සපුරාලීම, විෂයමාලා, පහසුකම් සහ ඉගෙනුම් සම්පත් නවීකරණය කිරීමට ඉතා වැදගත්.
භෞතික හා ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත්, වෘත්තීය අංශයේ සක්‍රීය අධ්‍යාපනය පුළුල් කිරීමත් මේ තුළින් ඉලක්ක වී තිබෙනවා.
නවීන ඩිජිටල් වේදිකා, මාර්ගගත ඉගෙනුම් පද්ධති සහ ස්මාර්ට් මෙවලම්වලින් ආයතන සන්නද්ධ කිරීමෙන්, අපි වැඩි වැඩියෙන් තාක්ෂණය මත පදනම් වූ වැඩ ලෝකයක් සඳහා ඉගෙන ගන්නන් සූදානම් කිරීම සිදු කළ යුතුයි.
දක්ෂ හා අභිප්‍රේරිත ගුරුවරුන් සහ පුහුණුකරුවන් නොමැතිව කිසිදු ප්‍රතිසංස්කරණයක් සාර්ථක වන්නේ නැහැ. අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය, කර්මාන්ත නිරාවරණය සහ නැගී එන තාක්ෂණයන්හි පුහුණුව කෙරෙහි දැඩි අවධානයක් මෙම රාමුව තුළින් යොමු කිරීමත් කළ යුතුයි.
එමෙන්ම, ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අනෙකුත් හවුල්කරුවන්ගේ සහාය ඇතිව, අපි නවීන අධ්‍යාපනික ක්‍රියාකාරකම් මත පදනම් වූ ඉගෙනීම සහ තාක්ෂණය මත පදනම් වූ ඉගැන්වීම් සඳහා පුහුණුකරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනවා. එමඟින් වෘත්තීය අංශය පුරා උසස් දැනුමක් සහතික කරමින් තිරසාර වෘත්තීය වගකීමක් සහිත තැනක් බවට වෘත්තීය අංශය පත් කිරීම අවශ්‍යයි.
කර්මාන්ත සමඟ හවුල්කාරිත්වය මෙහිදී තීරණාත්මක සාධකයකි. මෙහිදී පෞද්ගලික අංශයට විශේෂ කාර්යභාරයක් පැවරෙන බව සිහිපත් කරන්න කැමතියි. ද්විත්ව පුහුණු ආකෘති ප්‍රවර්ධනය කිරීම සහ TVET යටිතල පහසුකම් සඳහා සම-ආයෝජන දිරිමත් කිරීම තුළින් කුසලතා නොගැලපීම් අඩු කිරීමට සහ ආර්ථික අංශ හරහා ඵලදායිතාව ඉහළ නැංවීමට පෞද්ගලික අංශයේ දායකත්වය අපට අවශ්‍යයි.
සියලු දෙනා එකඟ වූ ජාතික සුදුසුකම් පද්ධතියක් ස්ථාපිත කිරීමයි අපේ අරමුණ. අධ්‍යයන, වෘත්තීය සහ වෘත්තීය සුදුසුකම් පෙළගැස්වීමෙන් සහ සහතික කිරීමේ සහ ප්‍රතීතන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සුදුසුකම් විශ්වසනීය, සංසන්දනාත්මක සහ දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් බව අපි සහතික විය යුතුය. ශ්‍රී ලාංකික වෘත්තීය ක්ෂේත්‍රයේ සුදුසුකම්වලට අපගේ දේශසීමා තුළත්, ඉන් ඔබ්බටත් දොරටු විවෘත කළ යුතුයි.
ශක්තිමත් පාලනය සහ විනිවිදභාවයෙන් යුතු කළමනාකරණය මෙම පරිවර්තනයට ඉතාම අවශ්‍ය වේ. අපි ආයතනික කළමනාකරණය නවීකරණය කරන්නටත්, ස්වාධීනත්වය ශක්තිමත් කරන්නටත්, දත්ත මත පදනම් වූ අධීක්ෂණ සහ කාර්ය සාධනය පදනම් කරගත් පද්ධති හරහා වගවීමත් පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරන්නෙමු. ඵලදායී නායකත්වය සහ වඩා හොඳ සම්බන්ධීකරණයක් මගින් ඉතා හොඳ මට්ටමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කිරීමටත් හැකි වෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කොතැනක ජීවත් වුවත්, සෑම තරුණයෙකුටම ඉගෙනීමට සහ සාර්ථක වීමට සමාන අවස්ථා ඇති බව සහතික කිරීමයි. සාධාරණ හා සමාන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම සඳහා තොරතුරු, පුහුණුව සහ වෘත්තීය මාර්ගෝපදේශනය සඳහා සමාන ප්‍රවේශයන් අත්‍යවශ්‍යයි.
තිරසාර මූල්‍යකරණය ද ඒ හා සමානව වැදගත්. රජයේ ප්‍රතිපාදන, පෞද්ගලික අංශයේ දායකත්වයන් සහ නවෝත්පාදන මූල්‍යකරණ යාන්ත්‍රණයන් ඒකාබද්ධ කරන ලද මිශ්‍ර ආකෘතියක් මඟින් TVET ආයතන ක්‍රමානුකූලව හා අඛණ්ඩ නවෝත්පාදනයන් සිදුකරන්න හැකියාව ඇති ආයතන බවට සහතික කළ යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
නිපුණතා ආංශික සංවර්ධන අංශයේ අතිරේක ලේකම් නිමාලි ආතාවුදගේ මහත්මිය, අතිරේක ලේකම් සමන්ති මිහිදුකුළ මහත්මිය, තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත යුනිකා ශ්‍රෙස්තා මහත්මිය ඇතුළු වෘත්තීය පුහුණු අංශය නියෝජනය කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය