රටේ සිදු වූ යම් සිද්ධියක් අල්ලගෙන  විපක්ෂය දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම හෙළා දකිනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 

ජාතික ආරක්ෂාව ගැන ජනතාව බියක් ඇතිකරගත යුතු නැහැ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට ප්‍රකාශ කරමින් විපක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම හෙළා දකින බවත්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඊයේ (23) අනුරාධපුර සන්නිපාත ශාලාව අභියසදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 
    
ඉදිරි  මාස නමයක් සඳහා  මේ අයවැයෙන් බිලියන 619ක් වෙන් කළා ⁣අධ්‍යාපනයට ඉතිහිසයේ වෙන් කළ වැඩිම මුදල එයයි.  අපි එම මුදල් විශේෂයෙන් යොමු කරන්නේ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අඩිතාලම සකස් කරන්න 

ඒවගේම ජනාධිපතිතුමාගේ කථාවේ සඳහන් කළ පරිදි මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ලබා දීමටත් අපි කටයුතු කරමින් යනවා.  පාසල් පද්ධතිය තුළ ප්‍රශ්න ගණනාවක් තියෙනවා විශේෂයෙන් යටිතල පහසුකම්, නේවාසික පහසුකම් සංවර්ධනය විය යුතුයි.   සියලුම පාසල් එක මට්ටමක තිබිය යුතු බව අපි විශ්වාස කරනවා. ජනප්‍රිය පාසල්, ජනප්‍රිය නොවන පාසල්, හොඳ පාසල්, නරක පාසල්  එහෙම වෙන්න බෑ.  සමාන ගුණාත්මක භාවයක් තියෙන සාධාරණ අධ්‍යාපන අවස්ථා සියලුම දරුවන්ට ලැබිය යුතුයි යන ස්ථාවරයේ රජය ඉන්නවා. ඉගෙන ගන්න අවස්ථා නිර්මාණය කරන්නත් අපි විවිධ යෝජනා ගෙනත් තියෙනවා. 

පාසල්වල අවසන් නොකළ ව්‍යාපෘති ගණනාවක් හදුනාගෙන තිබෙනවා. මේ වෙනුවෙන් මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අයවැයෙන්  මහපොළ  5000 ඉඳන් රුපියල් 7500 දක්වා වැඩි කළා. පහේ ශිෂ්‍යත්වය ලබා දෙන ළමයි ගානත් වැඩි කරලා තියෙනවා. මේ විදිහට දරුවන්ව පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ රඳවා ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් උපරිමය අපි කරනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට පාර්ලිමේන්තුවේදී යම් අපහාසයක් සිදුකළේ යැයි කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න කළ අතර, තමන් පාර්ලිමේන්තුව තුළ නොසිටියද ඒ සම්බන්ධයෙන් සිදුවූ වැරැද්ද නිවැරදි කරන්න නලින්ද ජයතිස්ස අමාත්‍යතුමා  මැදිහත් වූ බවත් ඒ ගැන  සතුටු වන බවත් පැවසීය. වැරැද්දක් සිදු වූ වහාම වත්මන් රජය එය නිවැරදි කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ⁣පැවසුවාය.  

"පාර්ලිමේන්තුව තුළ තියෙන වාද විවාදවල ගුණාත්මක භාවය දියුණු වෙලා තියෙනවා. ඉස්සර පාසල් දරුවන් ගැලරියෙන් ඉවත්කරන්න  අපිට සිද්ධ වෙලා තියෙනවා.  මේක දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් තැනක් බවට අපි පත්කළා.  වැරදි වුනොත් අපි වහගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. 

විපක්ෂයේ ඉන්න බොහෝ දෙනෙක්ට එරෙහි චෝදනා එල්ල වෙලා දැන් ඒ චෝදනා විමර්ශනය වෙමින් ඒවා ඉදිරියට යනවා. ඒ නිසා විපක්ෂය අද වැරදි ප්‍රචාර නිර්මාණය කරනවා. රටේ ජනතාව ජාතික ආරක්ෂාව ගැන කිසිම සැකයක් තියාගන්න එපා.  මේ ජාතිකාරක්ෂාව කියන බිල්ලා මවලා වෙච්ච දේවල් අපිට අමතක වෙලා නෑ.  රටේ සිදුවූ යම් සිද්ධියක් පාවිච්චි කරමින් මේ ලෙස දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂය උත්සාහ කිරීම තමන් හෙළා දකින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසීය. 

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය