සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය යි
ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවාදී අරමුදලක් බවට පත් කරමින්, සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියාය.
“සරසවි දිරියෝ අභිමන් 2026” විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් ඇගයීමේ වැඩසටහනට සහභාගී වෙමින් අද (11) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් විශේෂ අවශ්‍යතා වර්ගීකරණය යටතේ ප්‍රවේශය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 370කට රු.100,000.00 බැගින් මූල්‍යාධාර ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇති අතර එහි පළමු අදියර යටතේ දරුදැරියන් 236ක් වෙත චෙක්පත් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකොට, විශේෂ අවශ්‍යතා සහිත (Neurodivergent, Autism, Dyslexia වැනි) සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම රජයේ ප්රතිපත්තියයි, විශ්වවිද්‍යාල තුළ ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික පහසුකම් (Access) සලසා දීමේ සුවිශේෂී වගකීමක් උපකුලපතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට පැවරෙන වගකීමක්. මීට අමතරව, සහායක තාක්ෂණයන් (Assistive technology) හරහා අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමටත්, පොදු ප්‍රවාහනය හා භෞතික යටිතල පහසුකම් ආබාධිත පුද්ගලයන්ට හිතකාමී ලෙස සංවර්ධනය කිරීමටත් රජය මැදිහත් වෙමින් සිටිනවා. මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් රටට බරක් නොවන, තිරසර සංවර්ධනයට දායක විය හැකි වටිනා මානව සම්පතක් බව අවධාරණය කරන අතර, සියලු දෙනාගේ වටිනාකම් පිළිගන්නා ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීම මෙහි අවසාන අරමුණයි.
මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය