විපක්ෂය මතුකරන 6% කාරණයේ තර්කයක් පේන්න නෑ
අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු අවම මුදල 6%ක් යනු ජාත්‍යන්තර නිර්ණායකයක් බවත්, විපක්ෂය මතුකරන 6% පිළිබඳ කාරණයේ තර්කයක් පේන්න නොමැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
විපක්ෂය මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අද (නොවැම්බර් 26) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය:
6%ක අරගලය වෙනුවෙන් අපි එදත් පෙනී සිටියා, අදත් පෙනී ඉන්නවා. සියයට හය කියන්නේ ජාත්‍යන්තර නිර්ණායකයක්. ඒක යුනෙස්කෝ සංවිධානය විසින් දීලා තියෙන නිර්ණායකයක්.
ඒක මං හිතන්නේ අපි විතරක් නෙවෙයි; විශ්ව විද්‍යාල ආචාර්ය සමිතිය විතරක් නෙවෙයි. සමස්ත රටම සහ ජාත්‍යන්තරයත් පෙනී ඉන්න නිර්ණායකයක්. ඒක වෙනුවෙන් අපේ රටේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තරවත් අරගල තියෙනවා.
ඒ අරගලය අපි ආරම්භ කළේ 2011 වසරේදී. 2011 සිට 2024 දක්වා ආණ්ඩු පාලනය කළේත්, අධ්‍යාපනයට මුදල් වෙන් කළේත් අපේ ආණ්ඩුවක් නෙවෙයි. දැන් මේකට එකඟයි කියන අය පාලනය කළ යුගයක් එදා තිබුණේ. එතකොට ඒ අයට ඔය සියයට හය අරගලයට මැදිහත් වෙන්නත් තිබුණා, නමුත් මැදිහත් වුණේ නැහැනේ. අපි ආණ්ඩුව භාර ගන්නකොට අධ්‍යාපනයට වෙන් වෙලා තිබුණේ සියයට එකයි දශම බිංදුවයි හතරක වගේ අගයක්. අපේ පළවෙනි අයවැයෙනුත් ඒක වැඩි කළා. දෙවැනි අයවැයෙනුත් ඒක වැඩි කරලා තියෙනවා. අපි පෙන්නුම් කරලා තියෙනවා අපි මේ දිශානතිය සියයට හය කියන ඉලක්කය දක්වා යන්න අපි වැඩ කරමින් ඉන්නේ.
2011 සිට 2024 දක්වා පාලනය කරපු අය එතනට යන දිශානතිය නෙවෙයි, ඊටත් වඩා පහතට යන දිශානතියක ඉඳලා, දැන් අපි මේ වැඩි කරන දිශානතියට ආවම 6% දෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා.
විපක්ෂය මතුකරන 6% කාරණයේ තර්කයක් මට පේන්නේ නෑ. ඒ නිසා අපි ඉන්න ස්ථානය ඉතාමත්ම පැහැදිලියි.
අපි වචනවලින් නෙවෙයි, ක්‍රියාවෙන් පෙන්නුම් කරලා තියෙනවා අපි අධ්‍යාපනය ගැන වැඩි අවධානයක් දෙන බව සහ මුදල් ක්‍රමිකව වෙන් කරනවා කියන එක. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් තියෙනවා සියයට හය දක්වා ක්‍රමිකව අපි යන්න සැලසුම් කරගෙන තියෙනවා කියලා. ඒක තමයි අපි කරන්නේ.
ඒ වගේම, ජාතික පාසල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර අතිරික්තයක් නොමැති අතර, කම්කරුවන්ගේ සේවය හැරයාම, ශ්‍රේණි උසස් වීම්, විශ්‍රාමයාම වැනි හේතූන් මත පළාත් පාසල්වල හා ජාතික පාසල්වල කම්කරු පුරප්පාඩු පවතිනවා.
දැනට ජාතික පාසල්වල හා පළාත් පාසල්වල පවතින කණිෂ්ඨ කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදුකළ පසු, ඌනතා ඇති පාසල් සඳහා ස්ථානගත කිරීම සිදු කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය