ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 15 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස 2022 වසරේ ජූලි මස හත්වන දින දිවුරුම් දුන්නේය.
ඔහු දැනට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව සිටින මහජන එක්සත් පෙරමුණෙ හි නායකයා ද වේ.
1968 දී තරුණ නායකයෙකු ලෙසත් පසුව 1973 දී මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙසත් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ දා සිට ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රවීණ දේශපාලනඥයෙකු ලෙස, දේශපාලනය සහ පරිපාලනයේ සෑම තරාතිරමකම කටයුතු කර ඇත.
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා 1983 දී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, එතැන් සිට අවස්ථා හතකදී මහජනතාව විසින් නැවත පාර්ලිමේන්තුවට තෝරා පත් කරන ලදී.
ප්‍රවාහන අමාත්‍ය ධූරය (2000), ප්‍රවාහන හා පරිසර අමාත්‍ය ධූරය (2001), නාගරික සංවර්ධන අමාත්‍ය ධූරය (2004-2010), උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධූරය (2004-2007 ජනාධිපති යටතේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය), පූජා භූමි සංවර්ධන අමාත්‍ය ධූරය (2007-2010), ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය ධූරය (2010-2015), මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධූරය (2018), කම්කරු සබඳතා, රැකියා සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ධූරය (2019-2020), විදේශ අමාත්‍ය ධූරය (2019-2021), සහ අධ්‍යාපන අමාත්‍ය ධූරය (2021-2022) වැනි විවිධ අමාත්‍ය ධූර එතුමා විසින් හොබවා ඇත.
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (2008-2015), ඒකාබද්ධ විපක්ෂයේ නායක (2015-2018) සහ සභානායක (2018, සහ 2019-2022) ලෙස ද කටයුතු කර ඇත.
ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 1949 මාර්තු 2 වන දින ශ්‍රී ලංකාවේ උපත ලැබූ අතර, ඔහුගේ පියාණන් දිවංගත ගරු පිලිප් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් සහ නිදහස් සටන්කාමියෙක්, වෘත්තීය සමිති නායකයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, අමාත්‍යවරයෙක්, දේශපාලන පක්ෂ නිර්මාතෘවරයෙක් සහ කතුවරයෙක් මෙන්ම බොරළුගොඩ සිංහයා ලෙස ආදරයෙන් සිහිපත් කරන අතර ඔහුගේ මව දිවංගත කුසුමා ගුණවර්ධන මහත්මිය ද ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර, Nyenrode Business University නම් ව්‍යාපාරකරණය පිළිබඳ නෙදර්ලන්ත පාසලෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් සහ එක්සත් ජනපදයේ ඔරිගන් ඉයුජින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය සහ ජාත්‍යන්තර ප්‍රවාහනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇත.
ගරු අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකාවට සහ ගෝලීය ප්‍රජාවට ඉටු කරන ලද සේවාව අගයමින් සම්මාන රාශියකින් පිදුම් ලබා ඇති අතර ස්පාඤ්ඤයේ රජු විසින් ප්‍රදානය කරන ලද Orden de Isabel (2012) සම්මානයත් Slum Dwellers International (2009) විසින් පිරිනමන ලද ජාත්‍යන්තර Pro-Poor Leader සම්මානය සහ කියුබානු රජය විසින් පිරිනමන ලද Cuba’s Solidarity Order (2006) සම්මානයත් ඒ අතර සුවිශේෂී වේ.
ගරු අග්‍රාමාත්‍යතුමා අන්තර්ජාතික පාර්ලිමේන්තු සංසදය සහ පොදුරදමඩුළු පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකත්වය ඇතුළු වසර 40කට ආසන්න කාලයක පාර්ලිමේන්තු පරිචයක් සහිත වූ අයෙකි. ඔහු නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය නිර්දේශ කිරිම සහ ශ්‍රී ලංකාවේ සියලු ආකාරයේ මැතිවරණ නීති ශක්තිමත් කිරීම සඳහා ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සිදු කළ මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ (2002-2012 සහ 2020-2022) සභාපතිවරයා විය.
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා 2001 වසරේ මොන්ට්‍රියල් ප්‍රොටෝකෝල් සමුළුවේ (ඕසෝන් සමුළුව ලෙසද හැඳින්වේ) උප සභාපතිවරයා විය. දුප්පතුන් සඳහා නිවාස ලබාදීම සඳහා විශේෂ ව්‍යවස්ථාදායක පනතක් සමඟින් 2008 වසරේ ආරම්භ කරන ලද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) නිර්මාතෘවරයා ඔහුය. 2013 දී ඔහු ප්‍රජා ජල භාරය ආරම්භ කළ අතර ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ පුරෝගාමියා වූ අතර ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 18.5% කට නළ ජලය සපයන ප්‍රජා මූල සංවිධාන (CBOs) හරහා ජල යෝජනා ක්‍රම සංවර්ධනය කළේය.
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, අධ්‍යාපන අමාත්‍ය වරයා ව සිටියදී ගුරුවරුන් 250,000 ක ගේ (2021) වසර 24 ක් තිස්සේ නොවිසඳුණු වැටුප් විෂමතා නිවැරදි කර ජාතික පාසල් 1,000 වැඩසටහන (2022) දියත් කිරීමට සමත් විය. ඔහු ජාතික විශ්ව විද්‍යාල දෙකක් දැයේ දරුවන් වෙත දායාද කළ අතර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය (2005) සහ වවුනියාව විශ්වවිද්‍යාලය (2021) ඒ අතර වේ. ඔහු ජාතික විශ්වවිද්‍යාල ප්‍රවේශය සිසුන් 10,000කින් (2021) වැඩි කළේය. ඔහු කම්කරු හා රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලය තුළ හාම්පුතුන්ගේ සම්මේලනය, වෘත්තීය සමිති සහ රජය අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් ගෙන එමින් 2020/21 වසංගතය තුළ රැකියා අහිමිවීම් නොමැතිව පුද්ගලික අංශයේ රැකියා මිලියන 3.5ක් සුරක්ෂිත කිරීමට පියවර ගත්තේය.