අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ජීවන තත්ත්වයන් නංවාලීම පිණිසත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විදේශ දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදේශීය සංවර්ධන සහයෝගීතා ආයතන හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍රණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ දූත පිරිස අගෝස්තු 13 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම, ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සඳහා රට තුළ පවතින හිතකර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

තෝරාගත් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීමට ඕමානය සූදානම් බව පන්කාජ් ඛිම්ජි මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ආයෝජන වැඩි වශයෙන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ පවතින විවිධ ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බලන ලෙස අග්‍රාමාත්‍යතුමිය ඕමාන ආයෝජකයින් වෙත ආරාධනා කළාය. දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර වඩාත් සමීප සබඳතා ගොඩනැගීම පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධානය යොමු කළා ය.

වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික සහයෝගිතාව සඳහා නව ක්ෂේත්‍ර හඳුනාගැනීමේ වැදගත්කම මෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

පෞද්ගලික අංශ අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ව්‍යාපාරික සහයෝගිතාව පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා–ඕමාන් ව්‍යාපාරික සභාවක් ස්ථාපිත කිරීම පිළිබඳව යෝජනාවක් ද ඕමාන නියෝජිත පිරිස මෙහිදී යෝජනා කළ අතර වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති අහමඩ් අල්-රෂ්ඩි මහතා, උපදේශක කාර්යාලයේ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ මූසා අල්-ඛරුසි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීහු ද මෙම හමුවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

“ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ඇගයීම් පද්ධති විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබ්බට ගෙන ගොස්, සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය, අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක් සහ පරිපූර්ණ සංවර්ධනය ප්‍රවර්ධනය වන අයුරින් නවීකරණය කළ යුතුයි.” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ඇගයීම් පද්ධති විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබ්බට ගෙන ගොස්, සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය, අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක් සහ පරිපූර්ණ සංවර්ධනය ප්‍රවර්ධනය වන අයුරින් නවීකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අගෝස්තු 12 වැනිදා කොළඹදී පැවති “250 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය: ශ්‍රී ලාංකික ඇමරිකානුවෙකුගෙන් උගත හැකි පාඩම්”( 250 Years of Educational Excellence: Lessons from a Sri Lankan America) මැයෙන් පැවත් වූ මහජන දේශනයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය. 1952 වසරේ සිට අධ්‍යාපනික, සංස්කෘතික සහ වෘත්තීය හුවමාරු වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සාමය ප්‍රවර්ධනය කරන ස්වාධීන ද්විපාර්ශ්වික කොමිසමක් වන එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

දැනට ක්‍රියාත්මක කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපන සහ ඇගයීම් ක්‍රමවේදය තුළ ඇති විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබ්බට ගොස් සිසුන් සඳහා ක්‍රියාකාරකම් පාදක කරගත්, අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම ඉගැන්වීම් ක්‍රමයක් හඳුන්වා දීම බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

දැනට පවතින අධ්‍යාපන පද්ධතියේ ඇති සාර්ථක දේවල් ඉවත් නොකරන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, එම පද්ධතිය තුළින් අධ්‍යාපනික වශයෙන් සාර්ථක වූ පරම්පරා ගණනාවක් බිහිව ඇති බවත්, වර්තමානයේ සහ අනාගතයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එය නවීකරණය කිරීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බවත් සඳහන් කළාය.

ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය. එමෙන්ම අධ්‍යයනමය මෙන්ම වෘත්තීය අධ්‍යාපන මාර්ග සඳහා සමාන පිළිගැනීමක් සහ වලංගුභාවයක් ලබාදීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා මාසයක කාලයක් පුරා ආචාර්ය අබේවික්‍රම මහත්මිය ලබාදුන් දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහ සහයෝගීතාව ද අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා ය.

මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් ෆුල්බ්‍රයිට් කොමිසම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනය, විභාග දෙපාර්තමේන්තුව සහ සියලුම නිලධාරීන් හා හවුල්කරුවන් වෙත ද අග්‍රාමාත්‍යතුමිය සිය ස්තූතිය පළ කළාය.

සියලු දෙනා ඇතුළත්, නවීන සහ අනාගතයට සූදානම් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යතුමිය යළි අවධාරණය කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වෘත්තීය අධ්‍යාපනය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමාන වටිනාකමක් සහිත මාර්ගයක් ලෙස පිළිගත යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සමාන වටිනාකමක් සහ ගෞරවයක් සහිත අධ්‍යාපන මාර්ගයක් ලෙස පිළිගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

ජර්මානු රජයේ BMZ ආයතනය හරහා ලැබුණු සහාය මත GIZ ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද, ස්විට්සර්ලන්ත සංවර්ධන හා සහයෝගිතා ඒජන්සිය (SDC) සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක වූ “ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව (VTSL) – දෙවන අදියර” ව්‍යාපෘතියේ සාර්ථක අවසන් කිරීම සනිටුහන් කරමින් අගෝස්තු 12 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා දිගුකාලීනව ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ රජයන්ටත්, GIZ, BMZ සහ SDC ආයතනවලටත් සිය ස්තූතිය පළ කළාය.

වෘත්තීය අධ්‍යාපනය යනු තරුණ තරුණියන් රැකියා සඳහා සූදානම් කිරීම පමණක් නොවන බවත්, එය සමාන අවස්ථා නිර්මාණය කිරීම, ජීවනෝපායන් ශක්තිමත් කිරීම, අසමානතා අවම කිරීම සහ තරුණ පරපුරට අර්ථවත් හා ඵලදායී ජීවිත ගොඩනගා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව ද වන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

වේගයෙන් වෙනස් වන තාක්ෂණික ක්ෂේත්‍රයන්ට සහ ශ්‍රම වෙළෙඳපොළේ වෙනස්වන අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්විය හැකි දක්ෂ, අනුවර්තනය විය හැකි සහ නවෝත්පාදන හැකියාවන්ගෙන් යුත් ශ්‍රම බලකායක් සංවර්ධනය කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

TVET ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා මෙම ව්‍යාපෘතිය ලබාදුන් දායකත්වය ද ඇය අගය කළාය. ඒ අතර TVET ඩිජිටල් මාර්ග සිතියම, ඩිජිටල් විෂයමාලා, තොරතුරු කළමනාකරණ පද්ධති සහ වෘත්තීය පුහුණු අවස්ථා පිළිබඳ තොරතුරු ලබාදෙන “GuideMe” යෙදුම හඳුන්වාදීම ද ඇතුළත් වේ.

උපදේශකවරුන් 60 දෙනෙකු පුහුණු කළ Master Trainer Development Programme පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කළ අතර, අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පුහුණුකරුවන් සහ මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නාය.

වෘත්තීය අධ්‍යාපනය රජයේ පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ අත්‍යවශ්‍ය කොටසක් විය යුතු බවත්, එමඟින් රැකියා සඳහා පමණක් නොව උසස් අධ්‍යාපනය, වෘත්තීය දියුණුව සහ ජීවිත කාලය පුරා ඉගෙනීම සඳහා ද මාර්ග විවෘත කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා ද කුසලතා සංවර්ධනය තුළින් අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම රජය, පුහුණු ආයතන සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළාය.

හරිත කුසලතා සහ පාරිසරික තිරසරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතිය ලබාදුන් දායකත්වය ද අග්‍රාමාත්‍යවරිය අගය කළාය. ඒ යටතේ Green Campus වැඩසටහන්, Mobile Green Lab සහ සූර්ය බලශක්ති තාක්ෂණ ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ අවසන් වීම, නවීන, සියලු දෙනා ඇතුළත් කරගත්, ඩිජිටල් හැකියාවන්ගෙන් සන්නද්ධ සහ අනාගතයට සූදානම් TVET පද්ධතියක් ගොඩනැගීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක ආරම්භය විය යුතු බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයේ ප්‍රධාන කුළුණක් ලෙස කුසලතා සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද ඇය අවධාරණය කළාය.

උත්සවයේදී “Footprints of Change” ප්‍රකාශනය එළිදැක්වීම, Virtual TVET Training Kit භාරදීම සහ GuideMe App යෙදුම එළිදැක්වීම සිදු කෙරිණි.

එමෙන්ම VTSL ව්‍යාපෘතිය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය කරන ලද අතර, අනතුරුව ස්විට්සර්ලන්තයේ නම් කරන ලද තානාපති ඔලිවියර් ප්‍රාස් මහතා, ජර්මනියේ වැඩබලන තානාපති සාරා හැසල්බාර්ත් මහත්මිය සහ GIZ ශ්‍රී ලංකා නියෝජිත පෝලිනා කැම්පෝස් මහත්මිය විසින් අදහස් දැක්වීම් සිදු කරන ලදී.

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සාරා කර්ස්ටින් හැසල්බාර්ත් මහත්මිය, ඔලිවියර් ප්‍රාස් මහතා, පෝලිනා කැම්පෝස් මහත්මිය, GIZ සහ VTSL ව්‍යාපෘතියේ නියෝජිතයන්, TVET ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන්, ප්‍රධාන පුහුණුකරුවන්, පුහුණුකරුවන්, ව්‍යාපෘති හවුල්කරුවන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ දොරටු සෑම විටම විවෘතයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මානව හිමිකම් සහ පරිසරය රකින වගකීම් සහගත ආයෝජන සඳහා රජය උපරිම සහයෝගය ලබා දෙනවා.

විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ දොරටු සෑම විටම විවෘත බවත්, මානව හිමිකම් සහ පරිසරය රකින වගකීම් සහගත ආයෝජන සඳහා රජය උපරිම සහයෝගය ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදය, සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව සංවිධානය කළ ආසියා-පැසිෆික් කලාපයේ තිරසර සංවර්ධන අරමුණු ඇතුළත් ආයෝජන සංසදයට සහභාගී වෙමින් අද (අගෝස්තු 12) කොළඹදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

“Forward Faster Now” යන තේමාවෙන් පැවති මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගන්න රජයට විතරක් තනියම කටයුතු කරන්න බැහැ. ඒකට රාජ්‍ය, පෞද්ගලික වගේම සිවිල් සමාජයත් එකතු වෙන්නම ඕනේ. අද වෙනකොට සංවර්ධනය වෙමින් පවතින රටවල වාර්ෂික මූල්‍ය හිඟය ඩොලර් ට්‍රිලියන 2.5 ත් 4 ත් අතර ප්‍රමාණයක් වෙනවා. ආසියා-පැසිෆික් කලාපයේ විතරක් ඒ හිඟය ඩොලර් ට්‍රිලියන 1.5 ක්. ඒ විතරක් නෙමෙයි, 2030 වෙනකොට මේ කලාපයේ මැනිය හැකි තිරසාර සංවර්ධන ඉලක්කවලින් සියයට 88 ක්ම අපිට මගහැරෙන්න ලොකු අවදානමක් තියෙනවා. අන්න ඒ නිසයි අපි මේ අරමුදල් ආයෝජනය කරන එක ඉක්මන් කරන්න ඕනේ.

අභියෝගාත්මක කාලෙකට පස්සේ, ශ්‍රී ලංකාව මේ වෙනකොට ආර්ථිකය ස්ථාවර කරගෙන ආයෙත් නැගී සිටින්න පටන් අරන් තියෙනවා. 2025 අවුරුද්දේදී අපේ ආර්ථිකය සියයට 5 ක වර්ධනයක් ලබාගත්තා. දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 108.8 දක්වා ඉහළ ගිය අතර, ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 පහු කළා. හැබැයි අපේ ඉලක්කය නිකම්ම ඉලක්කම්වලින් විතරක් පෙනෙන වර්ධනයක් නෙමෙයි. හොඳ රැකියා උත්පාදනය වෙන, හැමෝටම සාධාරණව ප්‍රතිලාභ බෙදිලා යන සැබෑ ආර්ථික පරිවර්තනයක්.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දියුණුවට රජයක් විදිහට අපි උපරිම සහයෝගය දෙනවා. හැබැයි අපි බලපොරොත්තු වෙන්නේ ලාභය විතරක්ම අරමුණු කරගත්ත ආයෝජන නෙමෙයි. මානව හිමිකම් සහ පරිසරය රකින වගකීම්සහගත ආයෝජනයි. සේවකයන්ට ප්‍රමාණවත් වැටුපක් ගෙවන එක, වෘත්තීය පුහුණුව දෙන එක, හරියට බදු ගෙවන එක වගේම පරිසරය ආරක්ෂා කරන්න කැපවෙන එකත් හැම ව්‍යාපාරයකම මූලික වගකීමක්. විශේෂයෙන්ම, කාන්තාවන්ට සහ මෙතෙක් සමාජයේ කොන්වෙලා හිටපු අයට ආර්ථිකයට එකතු වෙන්න තියෙන බාධා ඉවත් කරන එක අපේ ප්‍රධානම ප්‍රමුඛතාවයක්.

දේශගුණික වෙනස්වීම් නිසා වෙන ස්වාභාවික ආපදාවලින් මුළු කලාපයේම කෘෂිකර්මාන්තයටයි බලශක්ති ආරක්ෂාවටයි ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන්න ’තිරසාර මූල්‍ය මාර්ග සිතියම’ සහ ’හරිත බැඳුම්කර රාමුව’ හරහා මේ කාලගුණික අභියෝගවලට මුහුණ දෙන්නත්, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය පහසුකම් දෙන්නත් අපි පියවර අරන් තියෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ පරිසරයට ගරු කරන, සාධාරණ වර්ධනයක් අගය කරන රටක්. ඒ නිසා විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා අපේ දොරටු සෑම විටම විවෘත බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදයේ ප්‍රධාන විධායක නිලධාරිනී, සැන්ඩා ඔජියාම්බෝ මෙනෙවිය,

ලෝකය පුරාම රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම බලපාන ලොකු අර්බුද තුනක් තියෙනවා කියලා UN මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මහතා පෙන්වලා දීලා තියෙනවා. ඒ තමයි දේශගුණික අර්බුදය, බලශක්ති අර්බුදය සහ මූල්‍ය පහසුකම් පිළිබඳ අර්බුදය. මෙතන සල්ලි නැතිකම කියන්නේ ලෝකයේ ප්‍රාග්ධනය නැති නිසා නෙවෙයි, තියෙන සල්ලි හරියට යොදවන්නේ නැති නිසයි. දැනට තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) ලබාගන්න ඩොලර් ට්‍රිලියන 4 ක අඩුවක් තිබුණත්, පෞද්ගලික අංශය ලඟ ඩොලර් ට්‍රිලියන 22 ක් තියෙනවා. දැන් තියෙන ප්‍රධානම අභියෝගය තමයි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන ගමන් හොඳ ප්‍රතිලාභ ගන්න පුළුවන් තැන්වලට මේ සල්ලි යොමුකරවන එක.

කොවිඩ්, යුද්ධ, දේශගුණික ප්‍රශ්න සහ අධික වියදම් හමුවේ වුණත් අපිට මේකට විසඳුම් තියෙනවා. ජනතාවට අවශ්‍ය ස්ථිර ගෙවල්, සාධාරණ පඩිපතක්, සමානාත්මතාවය සහ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන එක ගැන අවධානය යොමුකරන්න ඕනේ. ඒ වගේම පිරිසිදු බලශක්තියට ආයෝජනය කිරීමෙන් වේගවත් ප්‍රතිලාභ ගන්න පුළුවන්. පොසිල ඉන්ධනවලට වැඩි සහන ලැබෙන නිසා ආයෝජන නිවැරදි පැත්තට යොමුකරන එකත් අත්‍යවශ්‍යයි.

සංවර්ධනය වන රටවලට ආයෝජන ගේන එක මූල්‍යමය ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒ සඳහා විශ්වාසය, විනිවිදභාවය සහ රාජ්‍ය-පෞද්ගලික අංශ අතර හොඳ සහයෝගයක් තියෙන්න ඕනේ. ආසියා පැසිෆික් කලාපයේ සල්ලි හිඟය පියවන්න ව්‍යාපාරිකයින්, බැංකු, ආයෝජකයින් සහ ප්‍රතිපත්ති හදන අය එකතු වෙන්න ඕනේ. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම නිරන්තරයෙන් සහාය දක්වන්න ලෑස්තියි.

UN Global Compact එක හරහා 2030 වෙනකොට ඩොලර් ට්‍රිලියන 10 ක මූල්‍ය වෙළඳපොළක් හදන්න CFO එකමුතුවක් හදලා තියෙනවා. ඒ වගේම රජය, සංවර්ධන ආයතන සහ පෞද්ගලික අංශය එකතු වෙලා සාර්ථක, සමාජයට වැඩදායී ආයෝජන හදන්න ’මිශ්‍ර මූල්‍යකරණ’ (Blended Finance) ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. නැගී එන ආර්ථිකය තුළ තියෙන විශාල ආයෝජන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ප්‍රායෝගික විසඳුම් හොයාගන්න මේ සාකච්ඡාව හොඳ වේදිකාවක් සපයනු ඇතැයි සහකාර ලේකම්වරිය පැවසුවාය.

මෙම අවස්ථාවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදයේ නියෝජිතයින්, ආසියා-පැසිෆික් කලාපයේ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ විධායකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, තිරසාර සංවර්ධන විශේෂඥයින් සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රධානීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

JICA නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ඇතුළු නියෝජිත පිරිසක් අගෝස්තු 11 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා JICA ආයතනය දිගු කාලයක් පුරා ලබාදෙන සහයෝගය මෙන්ම ඩිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයෙන් පසු සිදුකළ සහන සේවා කටයුතු සඳහා ජපන් රජය ලබාදුන් සහයෝගය ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැසසුමට ලක් කළාය.

ශ්‍රී ලංකාව තුළ ඇති වූ ආපදා තත්ත්වයෙන් පසු අවශ්‍ය සහන සේවා මෙන්ම මහා මාර්ග, දුම්රිය මාර්ග සහ අනෙකුත් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා JICA ඒජන්සිය විසින් ලබා දෙන සහයෝගය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර අනාගතයේ ඇතිවිය හැකි ස්වාභාවික ආපදා තත්ත්වයන්ට සූදානම් වීම, අවදානම අවම කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාව ගෙන යන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සහ රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට ගෙන යන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර සාකච්ඡා කෙරිණි. සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගත් තිරසාර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී යළි අවධාරණය කළාය.

ණය සහන ඇතුළු වෙනත් සහයෝගයන් හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දීමට JICA ආයතනය සූදානම් බව මෙම සාකච්ඡාවට එක් වූ නියෝජිත පිරිස විසින් සඳහන් කළ අතර, දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති හරහා ප්‍රතිඵල අත්කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළහ. සියලු දරුවන්ට සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දීම සඳහා ද JICA ආයතනය සූදානම් බව ඔවුන් තවදුරටත් අවධාරණය කළහ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වැඩිදියුණු කිරීමේ කටයුතු, ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ඩිජිටල් භූමිෂ්ඨ රූපවාහිනී ජාල ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. අපද්‍රව්‍ය කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනයට සහාය වන පරිදි මෙම ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ JICA කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ෂිගේඔ හොන්සු මහතා, ශ්‍රී ලංකාවේ JICA කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත මිනෝරු මත්සුනොෂිතා මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදයේ ප්‍රධාන විධායක නිලධාරි Sanda Ojiambo මහත්මිය සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදයේ (UN Global Compact) ප්‍රධාන විධායක නිලධාරි Sanda Ojiambo මහත්මිය ඇතුළු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අගෝස්තු 11 දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.

ආසියා පැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදය විසින් සංවිධාන කරන “Forward Faster Now 2026” වැඩසටහන යටතේ, වගකීම් සහගත ආයෝජන මූලධර්ම (PRI), එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ මූල්‍ය වැඩසටහන (UNEP FI) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව සංවිධානය කළ SDG ආයෝජන සමුළුවට සමගාමීව මෙම හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකාව වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇති අවස්ථාවක එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන අග්‍රාමාත්‍යතුමියගේ පැසසුමට ලක් වූවාය. වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය පසුගිය වසර දෙකක කාලය තුළ රජයේ විසින් රටේ ස්ථාවරත්වය යළි ගොඩනැගීම සහ ජනතා විශ්වාසය ගොඩ නැගීම කෙරෙහි රජය මූලික ලෙස අවධානය යොමු කර ඇති බවත්, ඉදිරි අදියර ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනා ඇතුළත් කරගත්, තිරසාර සහ හරිත ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරන බවත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

එවනි ඉදිරි ගමන් මාර්ගයක්දි ආයෝජන ආකර්ෂණය කර ගැනීම වැදගත් අංගයක් විය යුතු බව ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළ අතර එහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ලෙස ලබාදිය හැකි සේවා සහ සන්නාමයන් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නාය.

එහිදී වගකීම් සහගත පෞද්ගලික අංශයක සහභාගීත්වයේ වැදගත්කම ද අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, පෞද්ගලික අංශය සිය සේවා ලබා දීමේදී හා ආයෝජන කටයුතු තුළ දී සදාචාරාත්මක ලෙස, සියලු දෙනා ඇතුළත් කරගනිමින් සහ තිරසාර භාවිතයන් ද අනුගමනය කරමින් රජයේ පුළුල් සංවර්ධන මූලධර්ම සමඟ කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා ය.

එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදය මඟින් රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සිදුකරන කාර්යයභාරය පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළ Sanda Ojiambo මහත්මිය, පෞද්ගලික අංශයේ ආයෝජන සක්‍රීය කිරීම මෙන්ම, ජාතික සංවර්ධන ප්‍රමුඛතා සහ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සඳහා සහාය වෙමින් ව්‍යාපාරික ආයතන තිරසාර භාවිතයන් අනුගමනය කිරීමට දිරිගැන්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සඳහන් කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ UN Global Compact හි විධායක අධ්‍යක්ෂ රතික ද සිල්වා මහතා, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහකාර මහලේකම් කාර්යාලයේ විශේෂ සහකාර Carolina Fowler මහත්මිය, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදයේ ආසියා සහ ඕෂනියා කලාප ප්‍රධානී Neha Das මහත්මිය ඇතුළු නියෝජිතයන් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය