අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කිසිවෙකුගේ බලපෑමකට ලක් නොවන ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් ඇතුළු කිසිවකුගේ බලපෑමක් නොමැතිව නිදහස් ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියලු අවකාශ ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (මාර්තු 17 ) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා ය.

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීම සම්බන්ධ අතුරු යෝජනා සම්මතය පිළිබඳ විවාදයේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙහි දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ,

ගරු කතානායක තුමනි, අද ඉදිරිපත් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරිමේ යෝජනාව ඉතාමත්ම වැදගත් සහ ඓතිහාසික යෝජනාවක් ලෙස මම සලකනවා.

2023 වසරේ දූෂණ විරෝධී පනත සම්මත වුණත් ඒ සම්බන්ධ කොමිෂන් සභාවක් තියෙනවා කියලා අපිට දැනෙන්න පටන්ගත්තේ 2025 වසරේ සිට.

එතැන් පටන් මේ කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමේ දි ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට අපට සිදුවුණා. විශේෂයෙන් ම නිලධාරීන් බඳවා ගැනීමට තිබුණු සීමාවන් වැනි කාරණා නිසා කොමිෂන් සභාවට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වීමේ බාධක අභියෝග ගණනාවක් තිබුණා. ඔවුන්ට ක්‍රියාත්මක වීමේ දී තමන්ගේ කාර්‍ය මණ්ඩලයේ දීමනා තීරණය කර ගැනීමේ නිදහස , ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීති හා රෙගුලාසි නිර්ණය කිරීමේ නිදහස, නිලධාරීන් බදවා ගැනීමේ නිදහස, ඔවුන්ගේ වාර්ශික සැලැස්මට අදාළ ප්‍රතිපාදන ඇස්තමේන්තු ඉදිරිපත් කිරිම, මෙවැනි ප්‍රායෝගික තත්ත්වයන් සහ කොන්දේසි ගණනාවක් ඇති කළ යුතුව තිබුණා. කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් තුමා පත්වෙනවිට කොමිෂන් සභාව තුළ විමර්ශන අවසන් කර නඩු නොපැවරුණු ලිපි ගොනු 4000කට අධික ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම නීති නිලධාරීන් සිටියේ 31ක් පමණයි.

මේ යෝජනාව සම්මත වීමත් සමඟ ම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඔවුන්ගේ නිලධාරීන් තෝරාපත්කර ගැනීම, ඔවුන්ට අවශ්‍ය දීමනා තීරණය කරගැනීම වගේම මූල්‍ය කටයුතු පිළිබඳ ඔවුන්ට තීන්දු තීරණ ගැනීමේ නිදහස මේ සියල්ල හිමිවෙනවා. ඒ හරහා අල්ලස් හා දූෂණ කොමිසමෙන් බලාපොරොත්තු වෙන සැබෑ කාර්‍යභාරය ඉෂ්ට කර ගැනීමට හැකිවෙනවා. අපේ රට තුළ නව දේශපාලන සංස්කෘතියක් තුළ, දූෂණ විරෝධී, අල්ලසට එරෙහි පිරිසිඳු රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් වූ ඉතාමත්ම වැදගත්‍ යෝජනාවක් තමයි මේ ඉදිරිපත් වෙන්නෙ. යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මේ වන විට ලොව පුරා පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙරට ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අදහස් ප්‍රකාශ කළා ය.

මේ.මොහොතේ ලෝකය තුළ පවතින තත්වය හමුවේ අපේ ආර්ථිකයටත්, බලශක්ති ක්ෂේත්‍රයටත් අර්බුද ගණනාවකට මුහුණ දිමට සිදුවී තිබෙනවා. මේ නිරන්තර වෙනස්වන තත්වයන් ගැන පෙර පුරෝකථන කරන්න අපට බැහැ. මේක නිරන්තරවම බලපෑම් වෙනස්වන මොහොතක්. නමුත් රජය ලෙස එම වෙනස්කම් හඳුනාගනිමින් ඒ හරහා අපේ ආර්ථිකයට සිදුවන බලපෑම කලමණාකරණය කිරීම තමයි අපේ වගකීම. ඒ වෙනුවෙන් ඊයෙ දිනයේ කැබිනට් මණ්ඩලය විශේෂ කමිටු හතරක් පත් කිරීමට තීරණය කළා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවාවන් නොකඩවා ජනතාවට ලබා දීම වෙනුවෙන් තත්වයන් කලමණාකරණය සඳහා කමිටුවක් ද රාජ්‍ය සේවය තුළ බලශක්ති කලමණාකරණය සිදු කරමින් සේවාවන් පවත්වාගෙන යාම පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා කමිටුවක් ද ප්‍රසම්පාදන කොමිෂන් සභාව හා සාකච්ඡා කරමින් බලශක්ති ලබා ගැනීමේ දී පවතින ක්‍රමවේදයන්ට අමතරව නව ක්‍රමවේදයන් හඳුනාගනිමින් කටයුතු කිරීමට කමිටුවක් ද ඒ වගේම මේ තත්වය තුළ ඇතිවිය හැකි සමාජ බලපෑම, සමාජයේ විශේෂ කොටස් වෙත ඇති විය හැකි බලපෑම සඳහා සාධාරණ විසඳුම්, සහන සේවා සුබසාධන කටයුතු සොයා බැලීම සඳහා කමිටුවක් ද පත්කිරීම සිදු කරනු ලැබුවා.

මේ අපි සාමුහිකව රටක් හැටියට මුහුණදිය යුතු තත්වයක්. ඒ සඳහා අපේ රාජ්‍යසේවයත් ,පුද්ගලික ක්ෂේත්‍රයත්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලන අධිකාරියත්, අපේ රටේ ජනතාවත් එකතුවෙලා අපි මින් පෙර අභියෝගවලට මුහුණ දුන් ලෙසටම සාමුහිකව එක්ව මුහුණ දිය යුතුයි. ඒ වගේම නිවැරදි නායකත්වයත් කලමණාකරණයත් හරහා අවශ්‍ය මොහොතේ තීන්දු තීරණ ගනිමින් මේ තත්වයට මුහුණ දිය හැකියි යන විශ්වාසය අපට තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සමාජයේ එක පිරිසකට නොව සමස්ත ජනතාවට නිදහස බුක්තිවිඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නිදහස බුක්තිවිඳීම සමාජයේ එක පිරිසකට පමණක් සීමා වී තිබුණ බවත්, සමස්ත ජනතාවට නිදහස බුක්තිවිඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ පොහොසත් ගමක් ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කළ අඟුණුකොළපැලැස්ස වැව ආශ්‍රිතව බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරමින් මාර්තු 15 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

අඟුණුකොළපැලැස්ස “leisure Island” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව බෝට්ටු අංගනය සහ “leisure Island” ආපන ශාලාව විවෘත කිරීමද සිදු කෙරිණ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය⁣ මෙසේද පැවසීය.

අගුණුකොළපැලැස්ස වැව ආශ්‍රිතව බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දින හත්සීයයකටත් වැඩි කාලයක් ස්වෙච්ඡාවෙන් ජනතාව සහයෝගය දක්වා තිබෙනවා. ඒක ඉතාම වැදගත්. අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාව විසින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ප්‍රතිපාදන ලබාගෙන මේ ප්‍රදේශයේ කොට්ඨාස සභා, මහජන ආරක්ෂක කමිටු, යෞවන සමාජ, වෙළෙඳ සංගම් ඇතුළු සියලුදෙනාගේ එකමුතුවෙන් ඉතා කෙටි කාලයක් තුළ මේ ස්ථානය දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස ගොඩනගලා තියෙනවා.

යහපත් අරමුණක් වෙනුවෙන් සාමුහිකත්වයෙන් එකතුවුණාම අපට කළ නොහැකි දෙයක් නැති බව පෙන්වන හොඳම උදාහරණයක් මේ ව්‍යාපෘතිය. රටක් දියුණු කිරීම ආණ්ඩුවට පමණක් කළ හැකි තනි කාර්යයක් නොවෙයි.

රටේ බුද්ධිමතුන්, ආගමික නායකයින්, තරුණ තරුණියන්, ව්‍යාපාරිකයන් ඇතුළු පොදු ජනතාව, ශක්තිමත්ව නිවැරදි නායකත්වයක් සමඟ එකතු වූ විට අපට කිසිදු සතුරු බලවේගයකට බිඳ දැමිය නොහැකි ලෙස ශක්තිමත් රටක් ගොඩනගන්න පුළුවන්.

අව්වේකී ජීවිතයක ගත කරන ගමේ ජනතාවටත් නිදහසක් අවශ්‍යයි. නිදහස බුක්තිවිදින එක සමාජයේ එක පිරිසකට විතරක් සීමා වී තිබුණා. ජනතාවට උදාර සංස්කෘතික ජීවිතයක් ලබා දීම වෙනුවෙන් කැපවෙන රජයක් විදිහට ජනතාවට විනෝදවෙන්න, ඇවිදින්න, නිදහස් මනසින් කාලය ගෙවන්න මෙවැනි ස්ථාන වැඩිවශයෙන් ගොඩනැගීම ඉතා වැදගත් යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය

මහා සංඝරත්නය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාසල් තුළ පවත්වන උත්සව දෙමව්පියන්ට බරක් නොවන විදිහට සංවිධානය කර ගන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පත්වීම් හෝ ස්ථාන මාරු ලබා දුන්නම ලැබෙන පත්වීම් භාර ගෙන අදාල ස්ථානවල වැඩ භාර ගන්න.

2026 වසරේ වෙන් කළ මුදල් නිසි පරිදි පාසලේ සංවර්ධන කටයුතු වලට යොදා ගන්න.

පාසල් තුළ පවත්වන උත්සව දෙමව්පියන්ට බරක් නොවන විදිහට සංවිධානය කර ගන්නා ලෙසත්, පත්වීම් හෝ ස්ථාන මාරු ලබා දීමේදී ලැබෙන පත්වීම් භාර ගෙන අදාල ස්ථානවල වැඩ භාර ගතයුතු බවත්, 2026 වසරේ වෙන් කළ මුදල් නිසි පරිදි පාසලේ සංවර්ධන කටයුතුවලට යොදා ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කොටිඨාසවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (15) පැවති සාකච්ඡාවල අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුර⁣ටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,

2027 වසරේ අපි 6 ශ්‍රේණියටත්, 2 ශ්‍රේණියටත් නව අධ්‍යාපන ප්‍රතිසංසකරණ සිදු කරනවා. මේ වසරේ 6 ශ්‍රේණියේ සිටින දරුවන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළට ඇතුළත් කර ගැනීම සඳහා කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව අනුව අපි ඉදිරියේදී කටයුතු කරනවා.

පාසල් යටිතල පහසුකම්, පන්ති කාමර සංවර්ධනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල කටයුතු අපි සිදු කරමින් යනවා. පන්ති තුළ ළමුන් ප්‍රමාණය ප්‍රාථමික අංශයේ 25ත් 30ත් අතරත් ද්විතීයික පාසල් තළ ළමුන් 35 දක්වාත් පවත්වා ගන්න අපි සැලසුම් කරාගන යනවා. කිසිම හේතුවක් මත චක්‍රලේඛවලට පිටින් දරුවන් පාසලට ඇතලත් කරන්න බැහැ.

පන්ති කාමර සංවර්ධනය කරද්දි ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ගැලපෙන පරිදි සකස් කරන්න අවශ්‍ය සැළසුම් ඉංජිනේරු අංශය විසින් සකස් කරමින් තිබෙනවා.

පාසල්වල සමහර ගැටලු පළාත් සභා සහ ප්‍රාදේශිය සභා මට්ටමින් විසඳිය හැකියි. සනීපාරක්ෂක පහසුකම් සකස් කිරීමේ සිට සියළු ප්‍රතිසංස්කරණ ගුණාත්මකව සිදු කරන්න කියලා අපි යෝජනා කර තිබෙනවා. 2025 වසරේත් 2026 වසරේත් අපි පාසල් සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් කළා. ව්‍යුහ කමිටු හරහා ක්‍රමවත් සැලසුම් සකස් කර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ඇතිව ඉදිරිපත් කරන්න. වෙන් කළ මුදල් නිසි පරිදි පාසලේ සංවර්ධන කටයුතු වලට යොදා ගන්න.

2026 වන විට සෑම පාසලකටම smart board සහ අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. කිසිම හේතුවක් මත ඒ වෙනුවෙන් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න එපා. සෑම පාසලකටම වාර්ෂික සැළසුම් තියනවා ඒ සඳහා අනුමත මුදල් ප්‍රමාණයක් තිබෙනවා. ඊට එහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න එපා. වි⁣ශේෂයෙන් පාසල් තුළ පවත්වන උත්සව දෙමව්පියන්ට බරක් නොවන විදිහට සංවිධානය කර ගන්න.

වසර ගණනාවක් පුරා ගුරු විදුහල්පති පුරප්පාඩු පුරවලා නැහැ. ඒ නිසා ගැටලු රාශියක් ඇත් වෙලා තිබෙනවා පැවති නඩු කටයුතුවලින් පසුව දැන් අපි ගුරු සේවයට 23000කට අධික පිරිසක් විධිමත්ව බඳවා ගන්න කටයුතු කරනවා. අප්‍රේල් මාසේ අග හෝ මැයි මාසේ මුල ඒ සඳහා වන විභාග පැවැත්වීමට නියමිතයි.

විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා පුරප්පාඩු ගැසට් කළා. නමුත් ඉල්ලුම් කිරීම් සිදු වුණේ ඉතාමත් සීමිතව, අපි දන්නවා වැටුප් ප්‍රශ්නයක් තියනවා විදුහල්පති සේවයේ වගේම සමස්ත වැටුප් විෂමතාව වෙනුවෙන් වැටුප් කොමිසමට අපි යෝජනා ඉදිරිපත් කරන්න කටයුතු කරමින් යනවා. ඒ වගේම ගුරුපත්වීම් ඉල්ලලා උද්ඝෝෂණ කරන අය පත්වීම් දුන්නම නැත්නම් ස්ථාන මාරු දුන්නම ඒක භාරගන්න සුදානම් නැහැ. අපි දන්නවා පෞද්ගලික ගැටලු තිබෙනවා නමුත් පළමුව තමන්ට ලැබෙන පත්වීම් භාර ගෙන වැඩ භාර ගන්න. දේශපාලන මැදිහත් වීම් මත කැමති ස්ථානයකට යන්න පුලුවන් කියලා මතයක් තියනවා. ඒ නිසා අධ්‍යාපන ක්⁣ෂේත්‍රයේ අර්බුධ නිර්මාණය වෙලා තිබනවා.

සමහර පිරිස් විදුහල්පති සේවයේ පුරප්පාඩු සඳහා ඉල්ලුම් කරන්නේ නැතුව නියෝජ්‍ය විදුහල්පති ලෙස එකම පාසලක ඉන්නවා. එහෙම කරන්න බැහැ. මේක ගෞරවාන්විත සේවාවක්. ඒ වෙනුවෙන් වෘත්තීය ගෞරවය ලබා දෙන්න පාර්ලිමේන්තුවේ අධ්‍යාපන කවුන්සිලය හරහා වාර්තාවක් සකස් කරලා අමාත්‍ය මණ්ඩලයට යොමු කරන්‍න සූදානම් කර තිබෙනවා.

යටිතල පහසුකම් සංවර්ධනයේදී අපි යෝජනා කරලා තිබෙනවා. ඒ ඒ කොට්ඨාසවල පවතින තත්වයන් පුරෝකථනය කරලා ව්‍යුහ කමිටු හරහා සැලසුම් ඉදිරිපත් කරන්න කියලා.

දරුවන්ගේ ගැටලුවලදි රාජ්‍ය ප්‍රතිපත්ති හෝ තීරණ ලබා දෙන තුරු බලා නොසිටින ලෙසත් කොටිඨාස මට්ටමින් පළාත් මට්ටමින් කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, අතුල වෙළඳගොඩ යන මහත්වරුන්, පළාත් හා කළාප අධ්‍යාපන බලධාරීන් විදහල්පතිවරුන් ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කරන්නත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (15) පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් පෙර පාසැල් ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙම්න් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී පෙර පාසල් ගුරුවරුන් තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළ අතර අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය.

පෙර පාසල් පද්ධතියේ පවතින ගැටළු සමස්ත සමාජයේ සහ අධ්‍යාපනයේ තියෙන අර්බුධයෙන් වෙන් කරලා කතා කරන්න බැහැ. 2024 මේ රට භාර ගන්නකොට අපිට ප්‍රධාන අභියෝගය වුණේ රට ණයගැතිභාවයෙන් මුදා ගනිමින් නිවැරදි ආර්ථික නිර්ණායක නිවැරදිව සකස් කිරීමටයි.

ඒ අනුව 2025 දී අපිට අභියෝගාත්මක වසරක් වුණත් අපේ රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගන්නත්, ඒ මගින් රටේ අයවැය තුලනය කර ගන්නත් හැකි වුණා.

රටේ ආර්ථිකය සංවර්ධනය කරමින් යන අතරතුර තමයි මැදපෙරදිග යුද්ධය ආරමිභ වුණේ. එහි යම් බලපෑමක් අපේ රටටත් එල්ල වෙලා තියෙනවා. අපේ රටේ වැඩි විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ආවේ මැදපෙරදිග සේවය කළ අපේ රටෙි සහෝදර සහෝදරියන්ගෙන්. අද ඒ අයගේ ජීවිත වලට වගේම රැකියාවලටත් තර්ජනයක් එල්ල වී තිබෙනවා. අපේ රටට විදේශ සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ආවේ මැදපෙරදිග ගුවන් කලාපය හරහා ඒ ගුවන් මාර්ග සහ ගුවන්තොටුපොළ වසා දැමීම නිසා සංචාරක පැමිණිමත් අඩු වෙලා තිබෙනවා. අ⁣නිත් ප්‍රශ්නය ඉන්ධන ප්‍රවාහනය පිලිබඳ ගැටළුව මෙි ගැටළුව අපේ රටට වගේම බොහෝ රටවලට බලපෑම් එල්ල කර තිබෙනවා. යුද්ධය දිගින් දිගටම පැවතුනොත් අපිට විශාල බළපෑමක් එල්ල වෙනවා. ඒ නිසා අපි ඒ වෙනුවෙන් සූදානම් විය යුතුයි. ආර්ථිකය කළමනාකරණය කර ගන්න වියදම් යම් ප්‍රමාණයකින් අවම කරගත යුතුයි.

අපිට ණය ගන්න පුළුවන් නමුත් රටේ ආර්ථිකය ණය අරගෙන කඩාවට්ටන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.

ඔබ දන්නවා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළා. ඒ ප්‍රතිපත්තියේම තියනවා පෙර පාසල් අධ්‍යාපනයත් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා කියලා. මේ දක්වා පෙර පාසල් ආරමිභ කිරීම සහ මුල් ළමා විය සංවර්ධනය කිරීම විධිමත්ව සිදු වෙලා නෑ. සියලු පෙර පාසල් නියාමනය කරන්නත්, ප්‍රමිතිගත කරන්නත් අපිට සිදු වෙලා තිබෙනවා ඒක පහසු කාර්යයක් නෙමෙයි. මුළින්ම සියළු පෙර පාසල් විධිමත් ලෙස ලියාපදිංචි කළ යුතුයි. අපි මේ වන විට ගුරුවරුන්ගේ පුහුණුව වෙනුවෙන් විෂය මාලාවක් සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම 2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කරන්නත් කටයුතු කරනවා. පෙර පාසල් ඩිප්ලෝමාව සඳහා පිළිගත් විෂය මාලිවක් සකස් කර තිබෙනවා. ඉදිරියේදී අපි පෙර පාසල් ගුරුවරුන්ට ප්‍රමුඛතාව දෙන්නේ ඒ අනුවයි. පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරන්නත්, වැටුප් තලයක පිහිටුවන්නත් අපි පියවරෙන් පියවර කටයුතු කරනවා.

පෙර පාසල් අයිති පලාත් සභාවට සහ ප්‍රාදේශිය සභාවට බවත් රේඛිය අමාත්‍යංශයට කළහැක්කේ නිර්දේශ ඉදිරිපත් කිරීම වන අතර පෙර පාසල් සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට ව්‍යුහ කමිටු සහ දිස්ත්‍රීක් සංවරිධන කමිටු හරහා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු මහජන නියෝජිතයින්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සමාජ මාධ්‍ය තුළ තොරතුරු බෙදාගන්න පෙර සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් වෙන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වලවීම සමාජයකට ඉතාමත්ම භයානකයි බවත්, සමාජ මාධ්‍ය තුළ තොරතුරු බෙදාහැරීමට පෙර සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ලාංකීය පාසල් සිසුන් හට සදාචාරය, වගකීම සහ විවේචනාත්මක චින්තනය ප්‍රවර්ධනය කරමින් ජාතික මාධ්‍ය කතිකාවතට සක්‍රීයව දායක වීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් කොළඹ ආනනද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ මාර්තු 14 දින පැවති “සංදේශය” මාධ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

කොළඹ ආනන්ද විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සංවිධානය කළ “සංදේශය” සම්මාන උලෙළේදී මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන යාවජීව සම්මාන පිරිනැමීමත්, පාසල් අංශයේ දක්ෂයින් වෙනුවෙන් මාධ්‍ය සම්මාන පිරිනැමීමත් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය.

අද අපි ජීවත් වෙන්නේ තොරතුරු තාක්ෂණය මාධ්‍ය කියන එක ඉතාමත්ම වේගයෙන් වෙනස් වෙන යුගයක ඒ වෙනස්වීමත් සමඟ අපිට අවස්ථා බොහොමයක් උදාවෙනවා වගේම අභියෝග ගණනාවකටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා

තොරතුරු තාක්ෂණයෙන් සහ මාධ්‍යය විසින් වෙනස් කරන ලද සමාජයක , වෙනස් කරන ලද ලෝකයක ජීවත්වීමට තමයි අපේ දරු පරපුර අපි සූදානම් කළ යුත්තේ.

මාධ්‍ය තුළ අද වෙලා තියෙන ඒ වෙනස්කම් දකිනකොට අපිට කියන්න පුළුවන් දෙයක් තමයි මාධ්‍ය සහ තොරතුරු කියන එක ප්‍රජාතන්ත්‍රීකරණයට ලක්වෙලා තියෙනවා කියලා. අතීතයේ ගත්තොත් දැනුම තොරතුරු කියන එකට ප්‍රවේශ අයිතිය තිබුණේ වරප්‍රසාදිත එහෙම නැත්නම් බලය තියෙන කණ්ඩායම් වලට. තොරතුරු, දත්ත, දැනුම කියන දේ සන්නිවේදනය කළ හැකි විදියත්, ඒක මොකක් විය යුතුද කියලා තීරණ ගැනීමේත් බලය තිබුණේ කුඩා කණ්ඩායමකට. නමුත් අද වෙනකොට මේ තාක්ෂණය වෙනස් වෙලා. ඒ විප්ලවීය වෙනසත් එක්ක අද තොරතුරු දත්ත දැනුම කියන එක අපි හැමෝටම ළං වෙන්න පුළුවන් දෙයක් බවට පත්වෙලා තියෙනවා. එතකොට එක අතකින් ඒක හොඳ දෙයක්.

ඒවගේම අපි මාධ්‍ය නරඹන්නන් විතරක් නෙවෙයි, පාරිභෝගිකයන් විතරක් නෙවෙයි. පුරවැසියන් හැටියටත් අද දවසේ මාධ්‍යකරුවෙක් වෙන්න පුළුවන්. පුරවැසියන්ට මාධ්‍ය හසුරුවන්නත්, තොරතුරු බෙදා ගන්නත් විශාල අවකාශ අද බිහිවෙලා තියෙනවා. ඒක එක අතකින් ඉතාමත්ම හොඳ දෙයක්. නමුත් මේක තුළ භයානකකමකුත් තියෙනවා. ඒ තමයි ඒ තොරතුරු බෙදා දීම ඒ මාධ්‍යකරණය පිළිබඳ වගකීම සහ විශ්වාසනීය බව පිළිබඳ බරපතල ප්‍රශ්න, ගැටලු අභියෝග ගණනාවකට අපි මුහුණ දෙන්න වෙලා තිබෙනවා. අද අපිට ඇත්ත මොකක්ද කියන එක ගැන විශ්වාසනීයත්වයක් නැතිවෙන තරමට තොරතුරු ගලාගෙන එනවා. සමහර වෙලාවට තීරණ ගන්න අතිශයින්ම අමාරු වෙලා තියෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි ගෝලීයව බලනකොට වුණත් සමහර වෙලාවට වැරදි තොරතුරු මත එහෙම නැත්නම් ඕනකමින් විකෘති කරපු තොරතුරු මත සමාජ ගිනි අරගත්ත අවස්ථා තියනවා. මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙච්ච අවස්ථා අපි ඕනතරම් දැකලා තියෙනවා.

අන්තර්ජාලයට අපි දන්නෙත් නැතුව සමහර වෙලාවට අහුවෙනවා. අපි ඕන දේවල් නැති දේවල් සියල්ලම අපි අපේ සමාජ මාධ්‍ය හරහා බෙදා ගන්නවා. නමුත් අපිට අමතක වෙන දෙයක් තමයි මේ තළින් පුද්ගලික තොරතුරු ගණනාවක් අන්තර්ජාළය තුළ එක්රැස්වෙමින් යනවා.

මොනවා හරි වැරදි දෙයක් මේ විදිහට සමාජගත වුණාම ඒක අමතක කරවන්න අමාරුයි.

අසත්‍ය තොරතුරු බෙදා හැරීමෙන් මාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වල වෙනවා කියන එක සමාජයකට ඉතාමත්ම භයානක දෙයක්. සමාජයේ පැවැත්මට පුරවැසියන් අතර විශ්වාසනීයත්වය පුරවැසියන්ගේ ජීවිත වලට බලපෑම් කරන ආයතන විශ්වාසනීයත්වය පවත්වාගෙන යෑම අතිශයින්ම වැදගත්. ඒ හරහා තමා සමාජයක තිරසාර බවත්, සමාජයක පැවැත්මත්, සමාජයක සුරක්ෂිත භාවයත් අපිට රැක ගන්න පුළුවන් වෙන්නේ.

නමුත් වැරදි තොරතුරු ප්‍රචාරය නිසා අද මොනවද සිද්ධ වෙලා තියෙන්නේ? අපේ නායකයන් පිළිබඳ අපිට විශ්වාසයක් නෑ. වැඩිහිටියන් විශ්වාස කරන්නෙත් නෑ. අපිට ලැබෙන ප්‍රවෘත්තිය අපි විශ්වාස කරන්නේ කොහොමද කියන එක ගැන අපිට සැක ඇවිල්ලා තියෙනවා.ඒ විශ්වාසනීයත්වය සමාජයක් තුළ. දුර්වල වෙන එක තුලින් සමාජයක් අර්බුදයකට යන්න පුළුවන්.

ඒ නිසා තමන්ගේ නායකත්වය පිළිබඳ විශ්වාසනීයත්වය වර්ධනය වෙන විදියේ සංස්කෘතියක් ඇති කිරීම, වැඩිහිටියන් පිළිබඳ විශ්වාසනීයත්වයක් ඇති කිරීම, විශ්වාසනීය තොරතුරු ලබා ගත හැකි විධි ක්‍රම ගැන යම්කිසි අවබෝධයක් ඇති කිරීම මේ සියල්ලම සමාජයේ පැවැත්මකට අතිශයින්ම වැදගත්. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඔබට විශාල වගකීමක් තිබෙනවා.

අද අපි අද ගෞරව කරපු ඒ ජ්‍යෙෂ්ඨයන් වගේම කවදා හරි ඔබත් මේ ක්ෂේත්‍රයට එයි. නමුත් ඔවුන් පැමිණි කාලයක් ඔබ එන කාලයත් අතර විශාල වෙනසක් තියෙනවා. ඔබට ඉතාමත් සුවිශේෂි වගකීමක් තියෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා නම් මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසනීයත්වය වැඩි කිරීමටත්, ලබා චෙන තොරතුරු වෙනුවෙන් පෙනී ඉන්නත් ඔබට සිදු වෙනවා.

ඔබ දෙන තොරතුරු වෙනුවෙන් ඔබ පෙනී ඉන්න පුළුවන් වෙන්න ඕන. ඔබ දෙන තොරතුර සත්‍යද කාටද ඒක බලපාන්නේ මේ සියල්ල ගැන හිතන්න ඕන. ලබා දෙන තොරතුරු පිළබඳ විශ්වාසනීයත්වයත් තහවුරු කරන්න ඔබට වගකීමක් තියෙනවා කියලා මම හිතනවා.

ඒ වගේම තමයි කුමන හෝ මාධ්‍යයක් භාවිත කරන අය හැටියට ලැබෙන තොරතුරු ගැන විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත්, සත්‍ය අසත්‍යය කියන එක තෝරා බේරා ගැනීම පිළිබඳ දැනුවත් වීමටත් අපිට විශාල වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ඩිජිටල් සාක්ෂරතාවය සහ මාධ්‍ය සාක්ෂරතාවය කියන එක අත්‍යවශ්‍ය දෙයක් හැටියට අපි දකින්නේ. ඒ නිසාම තමයි අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙන්න මේ වගේ විෂයන්, සංකල්ප ඉගෙන ගන්න අපේ ශිෂ්‍ය පරපුරට අවස්ථාව ලබා දිය යුතුයි කියලා අපි හිතන්නේ.

අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යයයේ තිබෙන තොරතුරු අන් අය අතර බෙදා හැරීමට පෙර සත්‍ය අසත්‍යතාව සොයා බැලීමේ වගකීම පුරවැසියන් සතුව පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්. එල්. පී. දිසානායක යන මහත්වරුන් ඇතුළු මාධ්‍යවේදීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් සිසුන්විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රටේ මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීම තවත් එක් වැඩසටහනකට පමණක් සීමා නොවී ජාතික ප්‍රමුඛතාවක් ලෙස බිම් මට්ටමේ සිට ප්‍රතිඵල ළඟා කර ගැනීමට කටයුතු කළ යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රටේ මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීම තවත් එක් වැඩසටහනකට පමණක් සීමා නොවී ජාතික ප්‍රමුඛතාවක් ලෙස බිම් මට්ටමේ සිට ප්‍රතිඵල ළඟා කර ගැනීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 13 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු 2026–2030 සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් (SUD) කළමනාකරණය , ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීම උදෙසා වන ජාතික උපාය මාර්ගික සැලැස්ම (The National Strategic Plan for the Management, Treatment and Rehabilitation of Persons with Substance Use Disorders) පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් පැන නැගී ඇති සෞඛ්‍ය, සමාජීය සහ ආර්ථික අභියෝගයන්ට විසදුම් සෙවීම සඳහා සංවර්ධනය කරන ලද යෝජිත ජාතික උපාය මාර්ගික සැලසුම කෙරෙහි මෙම සාකච්ඡාව අවධානය යොමු විය. සම්බන්ධීකරණය සහ සාක්ෂි මත පදනම් වූ ජාතික ප්‍රවේශයක් හරහා මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය සහ නැවත ඒකාබද්ධ කිරීමේ සේවාවන් ශක්තිමත් කිරීම මෙම උපායමාර්ගික සැලැස්මේ අරමුණ වී ඇත.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් කල්තියා හඳුනා ගැනීම, ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යාම, ප්‍රජා පාදක පසු විපරම් සහ සාමාන්‍ය ජීවිතයට ඇතුළු වන පුද්ගලයින් සමාජයට නැවත හුරු කිරීම යන අංශවල පවතින හිඩැස් සහ ගැටළු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙම සැලැස්ම මඟින් ඉදිරිපත් කර ඇති පෙර සහ මූලික සෞඛ්‍ය සේවය හරහා රෝගී තත්ත්වය කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම, රෝහල් පාදක ප්‍රතිකාර සහ පසු විපරම් සේවා වැඩිදියුණු කිරීම, නේවාසික පුනරුත්ථාපන පහසුකම් පුළුල් කිරීම සහ ප්‍රජා පාදක පුනරුත්ථාපන සහ නැවත භාවිතය වැළැක්වීමේ වැඩසටහන් වැඩි දියුණු කිරීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්, ගර්භනී කාන්තාවන්, දරුවන් සිටින මව්වරුන් සහ බන්ධනාගාර රැඳවියන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සහාය ලබා දීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු විය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජාතික දායකත්වය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මත්ද්‍රව්‍ය උවදුර පවුල් මට්ටමේ සිට සමස්ත ජාතියේ සමාජ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන බරපතල සමාජ අර්බුදයක් දක්වා පරිණාමය වී ඇති බව අවධාරණය කළා ය. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා සමාන ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.

ජාතික උපාය මාර්ග සලසුමෙහි ප්‍රධාන අංගයක් ලෙස මහජන දැනුවත් කිරීම සහ වගකිවයුතු මාධ්‍ය වාර්තාකරණයේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිස් සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවල නිලධාරීන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය