ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය 2024 නොවැම්බර් 18 වන දින දිවුරුම් දෙන ලදී. 2024 නොවැම්බර් මස පැවැති මහා මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායිකාව ලෙස ඉදිරිපත් වී මනාප 655,289 ක වාර්තාගත මනාප ප්‍රමාණයක් ලබාගනිමින් ඇය ජයග්‍රහණය කළාය. එසේම අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙසද කටයුතු කරයි.
ආචාර්ය හරිනි අමරසූරිය 1970 මාර්තු 6 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ දී උපත ලැබීය. ඇගේ බහුවිධ වෘත්තිය ක්ෂේත්‍රය තරුණ ගැටළු, මානව හිමිකම් සහ සමාජ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ශාස්ත්‍රීය, සමාජ ක්‍රියාකාරීත්වය සහ කෘතහස්ථ දේශපාලනය දක්වා විහිදේ. වර්තමානයේ ඇය ප්‍රකට ශ්‍රී ලාංකික විද්වතෙකු, සමාජ ක්‍රියාකාරිනියක සහ දේශපාලනඥයෙකු ලෙස රට වෙනුවෙන් තම මෙහෙවර ඉටු කරනු ලබයි.
පසුගිය දශකය පුරා ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළාය. ඇයගේ ඉගැන්වීමේ වගකීම් සහ සමාජ විද්‍යා විෂය මාලා සංශෝධනයට අමතරව, ඇය විශ්වවිද්‍යාලයේ පරිපාලන නායකත්ව භූමිකාවන්හි ක්‍රියාකාරීව සම්බන්ධ වූ අතර 2016 සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාජ සමානාත්මතාවය පිළිබඳ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ථාවර කාරක සභාවේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කළාය. විවෘත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් (2012 සහ 2013) සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් (2014 සහ 2015) සහ ලේකම් (2016) ලෙස කටයුතු කළ ඇය ජාතික අයවැය තුළ අධ්‍යාපනය සඳහා වෙන්කෙරෙන ප්‍රතිපාදන වැඩි කිරීම වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතුවල නිරත වූවාය.
පර්යේෂකයෙකු ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රභූ දේශපාලනය, විසම්මුතිය, සමාජ සාධාරණත්වය, වෙනස් කොට සැලකීම සහ තරුණ තරුණියන්, කාන්තා ප්‍රමුඛ පවුල්, ළමා ශ්‍රමය, ආයතනගත ළමා රැකවරණය, මුල් විවාහ, යහපැවැත්ම, අධ්‍යාපන පර්යේෂණ සහ බුද්ධිමය දේපළ පිළිබඳ නිබන්ධන ප්‍රකාශයට පත් කර ඇත. 2014 දී ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා වූ ජාතික මානව සංවර්ධන වාර්තාවේ ප්‍රධාන කතුවරිය වූ අතර එම වසරේ ශ්‍රී ලංකාවේ ජාතික තරුණ ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීමට ද සහභාගී විය. 2016 දී ඇය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුවේ (PRC) සාමාජිකයෙකු ලෙසද කටයුතු කළාය.
ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා විදෙස් රටවල් කිහිපයක උසස් අධ්‍යාපනය හැදෑරුවාය. ඇය දිල්ලි විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි මැක්වාරි විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික මානව විද්‍යාව හා සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා තිබේ. එම උපාධිය සඳහා ඇය කාන්තා සංක්‍රමණික කම්කරුවන් පිළිබඳව පර්යේෂණ නිබන්ධනයක් සිදුකොට තිබේ. 2011 දී ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව පිළිබඳ ආචාර්ය උපාධි නිබන්ධනය ලියූ ඇය එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් සහ ක්වීන් මාග්‍රට් විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව සහ ජාත්‍යන්තර සෞඛ්‍ය හා සංවර්ධනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තාය.
ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලාංකික ප්‍රජා සෞඛ්‍ය සංවිධානයක් වන NEST ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකාවේ කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව පවතින ගැටළු සම්බන්ධයෙන් පර්යේෂණයන්හි නියැලෙන සංවිධානයක් වන Center for Women's Research (CENWOR) සහ ශ්‍රී ලංකාවේ නීති පර්යේෂණ, උපදේශනය සහ මානව හිමිකම් ලේඛනගත කිරීමෙහි නියැලී සිටින සංවිධානයක් වන නීතිය සහ සමාජ භාරය (Law & Society Trust) යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස වසර ගණනාවක් සේවය කොට තිබේ.
2024 සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ වැඩ භාර ගත් පසු ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වන අග්‍රාමාත්‍යවරිය ලෙස පත්ව කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන, සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යංශවල අමාත්‍යවරිය ලෙසද කටයුතු කළාය. ලෝක ඉතිහාසයේ රාජ්‍යයක් සතු කුඩාම කැබිනෙට්ටුවේ අග්‍රාමත්‍ය වරිය වන්නේද ආචාර්ය හරිනි අමරසූරියයි.