අපේ රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නෙමෙයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රජය ආර්ථික කළමනාකරණය කරන්නේ සියලු ජනතාවට ප්‍රයෝජනවත් වන විදිහටයි
රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නොවන බවත්, ජනතාවට ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කිරීමට හැකි පරිදි රජය ආර්ථික කළමනාකරණය සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2024 වසරේ අපොස උසස් පෙළ විශිෂ්ඨයින් ඇගයීම වෙනුවෙන් දෙසැම්බර්21 දින කිලනොච්චිය, ඉරණමඩු යුද හමුදා කඳවුරේ නෙළුම් පියස ශාලාවේ පැවති උතුරු පළාතේ දූදරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.
උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික් නියෝජනය කරමින් 2024 වසරේ උසස්පෙළ විශිෂ්ඨ ලෙස සමත් දරුවන් 300 දෙනෙක් වෙත මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.
අපේ රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නෙමෙයි. අපි ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජනතාවට ප්‍රයෝජනවත් වන විදිහට භාවිත කරන්නයි.
දිට්වා සුලි කුණාටුව නිසා රටේ සෑම දිස්ත්‍රික්කයකම හානි සිදු වුණා. අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, පාසල්, රෝහල්, මාර්ග රැසකට හානි සිදු වුණා අදටත් පනස් දහසක් පමණ ජනතාවට තමන්ගේ නිවාස වලට යන්න බැහැ.
උතුරු ප්‍රදේශයේ වැඩිහිටි ජනතාවට කඳවුර ජීවිතේ ගැන අත්දැකීම් ඇති එහි දුෂ්කර බව අපි ඔබට කිවයුතු නැහැ, යුද්ධය නිසා වසර ගණනාවක් අවතැන් කඳවුරු වල හිටියා. නමුත් අපේ රජය මේ සුළිකුණාටුවෙන් පසු එහෙම කඳවුරු වල තියාගන්න අදහසක් නැහැ.
සුළිකුණාටුවෙන් හානියට, අපදාවට පත් සියලු දේ යථාතත්වයට පත්කරමින් යනවා. පසුගියදා රුපියල් බිලියන 500ක් අපි සම්මත කර ගත්තා. ඒ සඳහා ණය ගන්නවත්, වෙනත් ප්‍රතිලාභ කපන්න වත් අවශ්‍ය වුණේ නැහැ. ජනාධිපතිතුමා ඇතුළු රජයේ ආර්ථික කළමනා කරණය නිසා ඒ මුදල් වෙන්කර ගැනීම පහසු වුණා.
භාණ්ඩාගාරය ශක්තිමත් කරමින් මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්න රජය කටයුතු කරනවා.
නිවාස පිරිසිදු කර ගැනීමේ සිට නිවාස ඉදිකරන්න, යටිතල පහසුකම් සංවර්ධනයට වගේම ජීවනෝපාය සංවර්ධනය කරන්නටත් රජය වැඩ කරමින් යනවා. අපි විශේෂයෙන් අවධානය යොමු කළා අධ්‍යාපන වෙනුවෙන්. දරුවන්ගේ දෛනික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වය ගේන්න අවශ්‍යයි ඒ වෙනුවෙන් අපි පාසල් ආරම්භ කළා. පාසල ඉගෙන ගන්න ස්ථානයක් පමණක් නෙමෙයි, ආරක්ෂිත, සතුට පිරුණු තැනක් කළ යුතුයි.
උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අපි ආපදා තත්වයට මුහුණ දුන්නේ, එහිදී දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත්, විභාග ප්‍රශ්ණ පත්‍ර, පිලිතුරු පත්‍ර ආරක්ෂා කරමින් ලබා දුන් සහයෝගයට සියළු දෙනාට ස්තුතිවන්ත වෙනවා.
අපි 2025 සිට අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරමින් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කරමින් සිටිනවා. වව්නියාව සහ කිළිනොච්චියේ ව්ශ්වවිද්‍යාලවල පැවති නේවාසික ගැටළුව විසදන්න 2026 අයවැය තුළින් අපි මුදල් වෙන් කළා. උතුරු පළාතේ මෙන්ම සමස්ත රටේම පාසල් පද්ධතිය සංවර්ධනය කිරීමටත්, ඩිජිටල් තාක්ෂණය සංවර්ධනය කරන්නත් අපි මුදල් වෙන් කරමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා.
අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා 2025 වසරේ ප්‍රගති සමාලෝචනය සිදු කළා. උතුරු ප්‍රදේශයේ ප්‍රගතිය ගැන අපිට සතුටු වෙන්න බැහැ. අපි වෙන් කළ මුදල් නිසියාකාරව යොදවා නැහැ. මීට වඩා ප්‍රගතියක් අපි උතුරු පළාතෙන් බලාපොරොත්තු වෙනවා. ඉතා ඕනෑකමින් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු කටයුතු කළ යුතු බව මම සිහිපත් කරනවා.
2026 ගුරු පුරප්පාඩු පුරවන්න අපි කටයුතු කරනවා. නිලධාරී පුරප්පාඩුත් සම්පූර්ණ කරන්න අපි කටයුතු කරනවා. අමාත්‍යංශයෙන් වගේම පළාතෙන් හොද සහයෝගයක් රජයේ නව වැඩපිළිවෙල සඳහා අවශ්‍යයි.
යාපනය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බව අපි පිළි ගන්නවා. ඒවගේම උතුරු පළාතට අයත් වව්නියාව,මන්නාරම කිළිනොච්චි දිස්ත්‍රික්ක තුලත් අධ්‍යාපනය සංවර්ධනය කළ යුතුයි, සෑම පාසලක්ම අපේ පාසල්, ඒ පාසල් තුළ සිටින්නේ අපේ දරුවන්, ඒ නිසා සියළු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍යයි. ගුරුවරු ස්ථාන මාරු කරද්දි සියළු දිස්ත්‍රික්වලට සමානව ලබා දීමට කටයුතු කරන ලෙසත්, පෞද්ගලික දියුණුව මෙන්ම සාමූහික දියුණුවද අවශ්‍ය බව අවබෝධයෙන් කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය
මෙහිදී අදහස් දැක් වූ කථානායක ජගත් වික්‍රමරත්න,
ජනාධිපති අරමුදල ජනතාවගේ එදිනෙදා භාවිතයට ගැනෙන වචනයක් වූණේ මෙි වසරේ සිටයි. වසර 44ක කාලයක් ලංකාවෙි ක්‍රියාත්මක වුණත් එහි සැබෑ කාර්යය ඉටුවෙමින් තිබෙන්නේ 2025 ජනවාරි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමෙන් අනතුරුවයි. එහිදී තීරණය කළා ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කරන්න එය අපි 2025 පෙබරවාරි වනවිට ක්‍රියාත්මක කළා.
පසුගිය මාස 11 තුල ප්‍රාදේශිය ලේකම් කාර්යල හරහා අයදුම්පත් 4200ක් ලැබුණා. උතුරු පළාතෙන් පමණක් අයදුම්පත් 200ක් ලැබුණා. ඉස්සර ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ඉල්ලුවේ ලංකාවෙන්ම පනහක් හෝ හැටක් පමණයි.
මිලියන 4899ක් මෙවර ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා, බිලියන 6112ක් රටේ ජනතාව වෙනුවෙන් මේ වසරේ වෙන් කළා.
උතුරු පළාත් ආණ්ඩුකාර රාමලිංගම් වේදනායගම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ශ්‍රි භවනේනද්‍ර රාජා, ඉලන් කුමාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අත්රේක ලේකම් රෝෂන් ගමගේ, පළාත් සභා ලේකම්තුමන්, දිස්ත්‍රික් ලේකම් තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ශිෂ්‍යත්වලාභින්, දෙමාව්පියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය





