අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

අග්‍රාමාත්‍යවරියගේ නව අවුරුදු සුබ පැතුම

"පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" සඳහා එක්ව කටයුතු කරන අතරතුර, අලුත් බලාපොරොත්තුවකින් සහ නැවුම් ඉදිරි දැක්මකින් යුතුව අපි අලුත් අවුරුද්ද පිළිගනිමු.

එකමුතුකමෙන් සහ ත්‍යාගශීලි බවින් යුතුව අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකික සිංහල සහ දෙමළ ජනතාව වෙත මගේ සුබ පැතුම් පිරිනමමි.

අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත් අවුරුද්ද උදා වෙයි. අපගේ සංස්කෘතිය හා වටිනාකම් තුළ මුල් බැසගත් - ධනාත්මක වෙනසක් ලඟාකර ගැනීමට සහ අරමුණු පෙරදැරිව, එකමුතුකමෙන් ඉදිරියට යායුතු බව මේ සාම්ප්‍රදායික උත්සවය අපට සිහිපත් කරදෙයි.

මෑත ඉතිහාසයේදී ආර්ථික අර්බුදය, බොහෝ දෙනෙකුට අවුරුදු සැමරීමේ සිතුවිල්ල පවා දුෂ්කර කොට තිබිණි. කෙසේ වෙතත්, දූෂණ, වංචා චක්‍රයකින් මිදීමට ජනතාව ගත් නිර්භීත උත්සාහයෙන්, නව ආරම්භයකට මග පෑදී ඇත.

2025 වසර අලුත් අවුරුදු සැමරුම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ එහෙයිනි. එය, උතුර දකුණ නැගෙනහිර සහ බටහිර පුරා සියලුම ප්‍රජාවන් වඩා සුබදායී අනාගතයක් ගොඩනැගීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම යටතේ එක්වූ සහ එක්වෙමින් සිටින වසරකි. එළඹෙන මැයි මාසයේදී ඒ ජනතා පැතුම් යළිත් මල්පල දරනු ඇත.

නව වසරේ නව පරිච්ඡේදය ආරම්භ කරන මොහොතේ, ඔබේම ප්‍රජාවන් තුළ ගෞරවය, සාමය සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කරන ලෙස මම සෑම පුරවසියෙකුගෙන්ම ඉල්ලා සිටිමි. ඉදිරි වසර තුළ සාර්ථකත්වය සහ ප්‍රගතිය අත්කර ගැනීම සඳහා කැපවීම, විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතිව කටයුතු කිරීමට අපි අදිටන් කරගනිමු.

මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත, ශ්‍රී ලාංකීය ජාතියට නැවුම් පරිවර්තනයක් සහ සෞභාග්‍යමත් හෙට දවසක් උදෙසා වන ශක්තිය, එකමුතුකම සහ නව ජවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි...!

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 අප්‍රේල් 14 දින

අපි ගොඩනගා තිබෙන්නේ ජාතිවාදී මනසකින් අර්බුද දෙස නොබලන ආණ්ඩුවක් - ආචාර්ය හරිනි අමරසූරිය

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම ඉදිරියේ දී සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

අප්‍රේල් 12 වැනි දා මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි මැතිවරණ කොට්ඨාසයේ සිලාවතුර බස් නැවතුම්පොළ අසල රැස්වීමකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියා ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කිරීම සම්බන්ධව මේ වන විටත් කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කර ඇති අතර ඒ අනුව ඉදිරියේ දී පනත ඉවත් කිරීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සිදුවනු ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසීය.

ඉදිරියේ දී කිසිම අයුරකින් ආගම, ජාතිය යන කාරණා හේතු කරගනිමින් ජනතාවට කිසිම අයුරකින් පීඩා සිදුවීමට ඉඩ නොදෙන බවත්, ආණ්ඩුවක් ලෙස කිසි විටෙකත් අර්බුද දෙස ජාතිවාදී මනසකින් බැලීම සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රටේ සෑම ප්‍රදේශයකම අලුත් ව්‍යාපෘතිය ආරම්භ කර ජාතික ආර්ථිකයට ග්‍රාමීය ජනතාව මැදිහත් කරගන්න අවශ්‍ය ආයෝජන ගමට ගේන්න රජය කටයුතු කරමින් යනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම අලුත් ව්‍යාපෘතිය ආරම්භ කර ජාතික ආර්ථිකයට ග්‍රාමීය ජනතාව මැදිහත් කරගැනීමට අවශ්‍ය ආයෝජන ගමට ගේන්න රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මන්නාරම නානට්ටම් ප්‍රදේශයේ අද (12) පැවති ජනහමුවක් අමතමින් අගමැතිතුමිය මේ බව සඳහන් ක⁣ළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අපේ රට තීරණත්මක තැනකට ඇවිත් තිබෙනවා. ජාතික ජනබල වේගය ජනතාවගේ අපේක්ෂාවන් තේරුම් ගත්ත ආණ්ඩුවක් මේ රටේ තිබුණු දූෂිත දේශපාලනය ඉවත් කරන්න ජාති, ආගම් භේද ඉක්මවා ගිහිල්ලා දූෂණයට විරුද්ධව ජනතාව ඡන්දය පාවිච්චි කළා ඒ නිසා 2024 දී අනුර කුමර දිසානායක මහතා ජනාධිපති කරන්න පුළුවන් වුණා. ඊට මාසෙකට පස්සේ ඉතිහාසය වෙනස් කරන පාර්ලිමේන්තුවක් අපි නිර්මාණය කළා. ඒ පාර්ලිමේන්තුවේ එකසිය පනස් නව දෙනෙක්ගෙන් යුත් ආණ්ඩුවක් අද තිබෙනවා. දූෂණයට එරෙහි වන විශාල කණ්ඩායමක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. සියලු ජාති, ආගම්, ප්‍රදේශ නියෝජනය කරන ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තිබෙනවා. තනි පක්ෂයක් ආණ්ඩුවක් හදලා සියලු දෙනාම නියෝජනය කරන පළමු අවස්ථාව මෙයයි. මේ සියලුම ජයග්‍රහණ ලබා දුන්නේ. ජනතාවයි එහි ජයග්‍රාහකයන් ජනතාවයි.

ජනතාව රජය මත තබපු විශ්වාසය රැකගෙන ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කරන්න අපි කැපවී සිටිනවා.

අපි රට භාර ගන්නකොට ආර්ථිකය කොච්චර දුර්වලද කියලා ඔබ දන්නවා ලෝකය ඉදිරියේ අපි බංකොලොත් රාජ්‍යයක් කියලා නිල වශයෙන් දැනුම් දී තිබුණා. වසර ගණනාවක් තිස්සේ ලංකාවේ ආර්ථිකය වර්ධනයක් තිබුණේ නැහැ. ඍණ ආර්ථිකයක් තිබුණේ. සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තිබුණා. දේශපාලන අධිකාරියේ තිබුණු දූෂිතභාවය නිසා ආයෝජකයෝ මේ රටට එන්න කැමැති වුණේ නෑ. අද අපි ඒ සියල්ල වෙනස් කරල තිබෙනවා බංකොලොත් කියන ලේබල් එක ගලවගන්න අපි නිල වශයෙන් සමත් වෙලා තිබෙනවා. ආර්ථිකය, වර්ධනය කියන දිශාවට හරවන්න අපිට හැකි වෙලා තිබෙනවා. ආයෝජකයෝ එන්න පටන් අරගෙන තිබෙනවා. ජාත්‍යන්තරය තුළ අපි ගැන විශ්වාසය වැඩිවෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම අලුත් ව්‍යාපෘතිය ආරම්භ කරලා, ජාතික ආර්ථිකයයට ග්‍රාමීය ජනතාව මැදිහත් කරගන්න අවශ්‍ය ආයෝජන ගමට ගේන්න අපි කටයුතු කරමින් යනවා.

ජාතික ජනබල වේගය ආණ්ඩුවේ පළමු අයවැය අපි සම්මත කරගත්තා. ආර්ථිකය තාමත් ශක්තිමත් නැති වුනත් අයවැයෙන් ප්‍රධාන කාරණා දෙකක් ඉෂ්ට කරගන්න අපිට අවශ්‍ය වුණා. එකක් ආර්ථිකය සංවර්ධනය වන දිශාවට යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අනිත් එක තමයි ආර්ථික ප්‍රශ්න නිසා බැටකාපු ජනතාවට සහන වැඩි කරන්න අපිට අවශ්‍ය වුණා. ඒ නිසයි අපි අස්වැසුම දෙන ප්‍රමාණය වැඩි කළේ වගේම ඒ කාලසීමාව දීර්ඝ කළේ. අස්වැසුම තිබුණත් නැතත් තුන්සියට අඩු පාසල්වල දරුවන්ට පොත්පත් ගන්න අපි වවචර් එකක් ලබා දුන්නා, සමාජ ආරක්ෂණ ව්‍යුහය ශක්තිමත් කරන්න අපි මැදිහත් වුණා .

මෙතෙක් පැවති ආණ්ඩු ජනතාවට බරක් වුණා. නමුත් අද අපිට තිබෙන්නේ ඉතා කුඩා අමාත්‍ය මණ්ඩලයක්. අපේ ආණ්ඩුව ඔබට බරක් වෙලා නැහැ. වියදම් අඩු කරලා තිබෙනවා, නාස්ති අඩු කරලා තිබෙනවා. හොරකම් සිදුවෙන්නේ නැහැ.

ජනතාවට බරක් නොවන එහෙම ආණ්ඩුවක් නිසා තමයි අපිට ජනතාවට සහන දෙන්න හැකි වුණේ. මේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩි කළා. අද වෙනකොට රාජ්‍ය සේවකයාට හොඳ වැටුපක් ගන්න පුළුවන් තැනකට පත්වෙලා තිබෙනවා. රාජ්‍ය සේවකයින්ට නිදහසේ වැඩ කරන අවස්ථාව ලබා දීලා තිබෙනවා. දේශපාලන උවමනා මත නෙමෙයි, දත්ත මත පදනම් වෙලා ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න රාජ්‍ය සේවකයින්ට අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නෙත් අන්න ඒ වගේ ස්වාධීන රාජ්‍ය සේවයක්. ජනතාවාදී ආණ්ඩුවක් වගේම ජනතාවාදී රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. නස්තිය හොරකම නැති කාර්යක්ෂම ජනතාසංවේදී රාජ්‍ය සේවකයන් අපිට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරලා තිබෙනවා.

ග්‍රාමී ආර්ථිකය සංවර්ධනය කරන්න අපි මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කළා. ඒ මුදල හරියටම ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්න නම් ප්‍රාදේශීය සභාවත් සුද්ධ කරන්න ඕන. ගමේ ඉන්න නායකයන් හොරු නම් ඒ මුදල් වෙන් කිරීමේ ප්‍රතිඵලයක් නැහැ . ඒ නිසා පළාත් පාලන මැතිවරණය මේ තරම් තීරණාත්මක වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෙගදීෂ්වරන්, සෙල්ලතම්බි තිලකනාදන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ජාතික, ජනබල වේගයේ පලාත්පාලන අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගැටුම් නිසා ජනතාව තවත් දුක් විඳිය යුතු නැහැ, රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටිනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජනතා අවශ්‍යතා ඉටුකරන්න ආණ්ඩුව මෙන් රාජ්‍ය සේවයත් ජනතාව වෙනුවෙන් විය යුතුයි

රටතුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන් ජනතාව තව දුරටත් දුක් විඳිය යුතු නැති බවත්, රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටින බවත්, ජනතා අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව මෙන් රාජ්‍ය සේවයද ජනතාව වෙනුවෙන් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

යාපනය, වේලෙනෙයි, නීර්වේලි, වඩමරාච්චි යන ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනයේ ගැටළු ගණනාවක් තිබෙනවා. මාර්ග, ජලය, කෘෂිකර්මය, විරැකියාව වගේ ම අධ්‍යාපනය, සෙඛ්‍ය ඇතුළු සෑම අංශයකම ගැටළු තිබෙනවා.

මේ අතරින් බොහොමයක් ගැටළු ඔබේ ප්‍රදේශය නියෝජනය කරන ප්‍රාදේශිය සභා, පළාත්සභා විසින් කළ යුුතු සංවර්ධන වැඩ. නමුත් ඒක නිසි ආකාරය සිද්ධ වෙලා නැහැ.

උතුරු නැගෙනහිර ගැටළු ඇති වුණේ යුද්ධය නිසා කියලා කිව්වා. යුද්ධය අවසන් වෙලා මේ වනවිට වසර 16ක් ගත වෙලා ඒත් මොනවද වෙනස් වෙලා තිබෙන්නේ. මේ ප්‍රදේශවල ජන ජීවිතය දියුණු වෙලා ද?

මධ්‍යම රජය විසින් පළාත් පාලන ආයතන වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. නමුත් ඒ මුදල් නිවැරදිව අදාළ ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්න හැකි විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් අවශ්‍යයි.

මැයි 06 වෙනිදා ගම සංවර්ධනය කරන්න. ඔබේ ජීවිතය නගා සිටුවන්න ඔබට කිට්ටුම පුංචි ආණ්ඩුව පත් කර ගැනීමේ තීරණාත්මක අයිතියි ඔබට ලැබෙනවා. වංචා, දූෂණවලින් තොරව ජනතා සේවයට කැපවෙන නියෝජිතයන් තෝරගන්න කටයුතු කරන්න.

රට වැටී තිබුණ තත්වයෙන් ගොඩගන්න, ආර්ථික අභියෝග ජයගන්න රජය මේ වනවිට ක්‍රියා කරමින් යනවා. අපි දන්නවා සියල්ලම තවම හරියට සිද්ධ වෙනනේ නෑ, බඩු මිළ තාම අඩුවෙලා නෑ ⁣ඒ සියල්ල රජය වෙනස් කරමින් යනවා. ජනතාවට ඉදිරියේදී ඒ ප්‍රතිලාභ හිමි වෙයි.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කරන්න රජය කටයුතු කළා. රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතුයි. ජනතාවගේ ආණ්ඩුව වගේම ජනතාවගේ රාජ්‍ය සේවයක් ඇතිවිය යුතුයි.

නිදහසින් පසු මේ රටේ මහා ලේ වැගිරීම් සිදු වුණා. ගැටුම් ඇති වුණා. ඒ මගින් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වුණා. යළි මේ රටේ එහෙම නොවන්න රජය වගබලා ගන්නවා. ඒ සඳහා රට තුළ සංහිදියාව ඇති කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පැවසුවා ය.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය නියෝජිතයන් ඇතුළු උතුරේ විශාල පිරිසක් මෙම හමුවලට පැමීණ සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ අද (11) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

මේ රට පොහොසත් සංස්කෘතීන් සම්ප්‍රදායන් තිබෙන රටක්, අපට පොහොසත් ඉතිහාසයක් තිබෙනවා.

කරෙයිනගර් ගැන මට ලැබුණු තොරතුරුවලින් මම හරි සංවේගයට පත වුණා. 1977 දී කරෙයිනගර්වල මිනිසුන් 80,000 ක් පමණ ජීවත් වූ වෙලා තිබෙනවා. නමුත් අවාසනාවට අද ඉන්නේ 10,500යි. ඉතිරි අයට මොකද වුණේ? ඒ වගේම මම දැනගත්තා උතුරු පළාතේ ධනවත්ම සහ උගත් මිනිසුන් ඉන්නේ කරෙයිනගර්වල කියලා ඒක හරි අපූරුයි. නමුත් ප්‍රශ්නය ඔවුන්ට ඉගෙනීමට, ධනවත් වීමට සහ ඔවුන්ට යමක් කිරීමට කරෙයිනගර් හැර යාමට සිදු වීමයි.

එහෙම යන්න බැරි වුණ ජනතාව ගැන කවුද කතා කරන්නේ ඔවුන් අපේ රටේ පුරවැසියන් ඔවුන්ටත් අන් සියල්ලන්ටම සමාන අයිතිවාසිකම් හිමි විය යුතුයි. මම අධ්‍යාපන අමාත්‍යවරිය නිසා කරෙයිනගර්වල අධ්‍යාපනය ගැන විමසා බැලුවා. එහිදී දැනගත්තේ උසස් පෙළ අධ්‍යාපනය ලබා දෙන පාසල් දෙකක් විතරයි තියෙන්නේ කියලා. ගුරුවරු දෙන්නෙක් විතරයි ඉන්නේ. ඒ වගේම පහේ ශිෂ්‍යත්වය සමත් වන සියලුම දරුවන් කරෙයිනගර් අතහැරලා වැඩිදුර අධ්‍යාපනය සඳහා යාපනයට යනවා.

මේ වෙනකම් මේ රටේ ආණ්ඩු තිබුණා, ජනාධිපතිවරු හිටියා, ජාතික ආණ්ඩු තිබුණා, මේ ප්‍රදේශය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන තිබුණා, පළාත් ආණ්ඩු තිබුණා. නමුත් කරෙයිනගර් වැසියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සම්බන්ධයෙන් ඔවුන් මොනවද කරලා තිබෙන්නේ.

මිනිසුන්ගේ වටිනාකම් වැඩිවෙන්නේ අධ්‍යාපනයෙන්, ජනතාව සමෘද්ධිමත් වෙන්නේ අධ්‍යාපනයෙන්. අධ්‍යාපනය කියන්නේ ඉතා වැදගත් දෙයක්, නමුත් මේ ප්‍රදේශයට ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ඇති අයිතිය දශක ගණනාවක් තිස්සේ අහිමි වෙලා. ඒ වගේම මේ ප්‍රදේශයේ වතුර ප්‍රශ්නයක් තියෙනවා. ජලය මූලික අවශ්‍යතාවයක්, ජනතාවට පිරිසිදු ජලය ලබා ගැනීමට මුදල් ගෙවන්න වෙලා. මේ ප්‍රදේශයට පානීය ජලය ලබාදීමට ආරම්භ කළ විවිධ ව්‍යාපෘති දූෂණය නිසා කවදාවත් අවසන් කරන්න ලැබිලා නැහැ.

ප්‍රාදේශිය මට්ටමින් පාරවල්, ප්‍රවාහනය ඇතුළු බොහෝ දේවල් අතපසු වෙලා තිබෙන්නේ දුෂණය නිසයි. යුද්ධය අවසන් වෙලා වසර 16 ක්, එදා සහ අද අතර සිදුවෙලා තිබෙන වෙනස මොකක්ද? මේ තිබෙන ගැටළු තවමත් විසඳා නැත්තේ ඇයි? මෙන්න මේ නිසයි පළාත් පාලන මැතිවරණය ඉතා තීරණාත්මක වෙන්නේ. ප්‍රාදේශීය මට්ටමින් තිබෙන ප්‍රශ්න පළාත් පාලන ආයතනවලින් විසඳිය යුතු ප්‍රශ්න.

මීට මාසයකට පමණ පෙර අපි පළමු අයවැය සම්මත කළා, එමගින් අධ්‍යාපනයට, සෞඛ්‍යට, ජනතා සුභසාධනයට, යටිතල පහසුකම්වලට, පොදු ප්‍රවාහනයට මේ හැමදේටම සියලුම පළාත් පාලන ගිණුම්වලට විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබෙනවා. නමුත් ඒ මුදල් බුද්ධිමත්ව වියදම් කළ යුතුයි.

ඒ සඳහා දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතනවලටත් අවශ්‍යයි. ඒ නිසා මෙවර මැතිවරණයෙන් දුෂණ වංචා වලින් තොර ජනතාව වෙනුවෙන් කැපවෙන පිරිසක් අපි තෝරාගත යුතුයි. 2024 මේ රටේ ජනතාව රට වෙනුවෙන් තීරණය ගත්තා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. යළිත් වතාවක් ගම වෙනුවෙන් කල්පනාකාරීව තීරණයක් ගන්න අවස්ථාවක් ජනතාවට මැයි 06 වන දින එළඹෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක් වූ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ,

අද අපි ප්‍රාර්ථනා කළ දේශපාලන සදාචාරය මේ රටේ ඇතිවෙලා තිබෙනවා. පැවති රජයන්වල පාලකයන් වගේ තමන් ධනවත් වෙන්න වත්මන් රජයේ නියෝජිතයන් කටයුතු කරන්නේ නැහැ. තමන්ට ලැබෙන වැටුප පවා ආපහු ලබා දෙන මහජන නියෝජිතයන් අද ආණ්ඩුවේ ඉන්නවා.

රාජ්‍ය සේවකයන්ට අද වැඩිපුර වැටුපක් හිමි වෙනවා. රජය ජනතාව වෙනුවෙන් ගත හැකි සියළු ධනාත්මක තීරණ ගන්නවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ශ්‍රී භවන්, ඉලයන්කුමාර් ඇතුළු මහජන නියෝජිතයින් පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වසර 51කට පසු යාපනයේ පැවැත් වූ මහා කුම්භාභිශේක මංගල්‍යයට අගමැතිනිය යයි

ඓතිහාසික මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිලේ වසර 51කට පසුව පැවැතුවුණු මහා කුම්භාභිශේක මංගල්‍යයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) පෙරවරුවේ සහභාගී විය.

ස්කන්ධ කුමාර දෙවියන්ගේ පාද ස්පර්ශය ලැබූවා යැයි සැලකෙන මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිල යාපනය ජනතාවගේ අභිමානය විදහාපාන මනරම් සිද්ධස්ථානයකි.

ආගමික හා සංස්කෘතික විවිධත්වයෙන් යුත් රටක් ලෙස සමෘද්ධිමත් ඒකීය රටක ආගමික හා සංස්කෘතික නිදහස තහවුරු කරමින් කිසිදු පීඩාවකින් තොරව ජනතාවගේ අධ්‍යාත්මික වර්ධනය උදෙසා මෙවන් සුවිශේෂී ස්ථාන රැක ගැනීම අප සැමගේ වගකීමක් බවත්, උතුරේත් දකුණේත් සංස්කෘතික හර පද්ධතීන් එක ලෙස රැකගැනීමේ වගකීම කිසි විටෙක අමතක නොකරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඓතිහාසික මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිලේ රාජ රාජ ශ්‍රී රත්න සභාපති කුරුක්කල්තුමා, මහා රාජ රාජ ශ්‍රී ඤාණ ස්කන්ධ කුරුක්කල්තුමා සහ දර්ශන සිවසුම කලානිදි වෛද්‍යසු කුරුක්කල් ඇතුළුව මහා කුම්භාභිශේක මංගල්‍ය වෙනුවෙන් සම්බන්ධ වූ දෙස් විදෙස් කුරුක්කල්තුමන්ලා විසින් අග්‍රාමාත්‍යතුමියට මෙහිදී ආශිර්වාද සිදු කළේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය