ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම මූලික කර ගනිමින් "ජාතික කර්මාන්ත සැලසුම් බුද්ධි මණ්ඩලයක්" ස්ථාපිත කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම මූලික කර ගනිමින් "ජාතික කර්මාන්ත සැලසුම් බුද්ධි මණ්ඩලයක්" ස්ථාපිත කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරන බවත් එමගින් ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවන්න අවශ්‍ය තාක්ෂණික, විද්‍යාත්මක සහ අනෙකුත් උපදෙස් ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජුලි 25 දින පැවති ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 40 වන සංවත්සර සැමරුමට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මෙහිදී සංවත්සර උළෙලට සමගාමීව දින තුනක් පුරා විවෘතව පවතින ව්‍යවසාය නිපැයුම් සහිත වෙළඳ කුටි හා අන්තර්ජාල බැංකු පහසුකම "RDB Quick App" අන්තර්ජාල පරිශීලකයන්ට විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය.
සංවත්සරයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන සමරු මුද්දරයක් අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්වීම ද සිදුවිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
"ග්‍රාමී ආර්ථිකය නඟා සිටුවන්න කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ලබා දෙන සහයෝගය ඉතා අගය කොට සැලකිය යුතුය. ව්‍යවසායක හැකියාවන් උපතින්ම පිහිටා ඇති නමුත් ඒවා වැඩිදියුණු කර ගැනීමට මූල්‍ය ශක්තියක් නොමැති ග්‍රාමීය ජනතාවට වඩාත් සමීප වෙමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය, තාක්ෂණික උපදෙස් සහ අලෙවිකරන දැනුම නිසි ලෙස ලබාදෙමින් ඔවුන්ව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ඔබ දක්වන සහයෝගය ඉතාම වටිනවා.
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" කියන අපගේ තේමාව යථාර්ථයක් කරමින් ජාතික ආර්ථිකය ගම් මට්ටමින් නඟා සිටුවීමට වැඩි වශයෙන් දායක වන බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියලා හැඳින්වුවොත් මම නිවැරදියි.
මට මෙතනට ආපු වෙලාවේ දැනගන්න ලැබුණා, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වැඩිම ගනුදෙනුකරුවන් වගේම බැංකු කාර්යය මණ්ඩලයත් බොහොමයක් කාන්තාවන් බව. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල යෙදෙන්නේ බොහොමයක් අපේ රටේ කාන්තාවන්. ඔවුන්ට ඔබ ආයතනයෙන් විශාල ශක්තියක් ලබා දෙනවා.
ඒ වගේම මේ ලබා දෙන සහයෝගය ඉදිරියටත් ලබාදෙමින් අපේ රටේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිය නඟා සිටුවන්න අප රජයට සහාය ලබා දෙන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය..
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ඩී.එම්.ටී.එස් කුමාර මහතා ඇතුළු එම බැංකුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය