අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

​අග්‍රාමාත්‍යතුමිය සහ පකිස්ථාන මහ කොමසාරිස්වරයා අතර හමුවක්

​ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා ඊයේ (අප්‍රේල්30 ) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.

’දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය සහ සහාය පිළිබඳව අග්‍රාමිත්‍යතුමිය මෙහිදී කෘතඥතාව පළ කළාය.

​ගෞරවය, මිත්‍රත්වය සහ පොදු අභිලාෂයන් මත පදනම් වූ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින දිගුකාලීන සහ සුහද සබඳතා පිළිබඳව දෙපාර්ශවයම මෙහිදී සිහිපත් කළහ.

එසේම අධ්‍යාපන, සංචාරක සහ ක්‍රීඩා වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළි තහවුරු කිරීමත්, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා වර්ධනය කිරීමත් මෙන්ම සහයෝගීතාව සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම ද මෙහි මූලික අරමුණ විය.

​මෙම අවස්ථාවට පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

ශ්‍රී ලංකාවේ සේවය නිම කර නික්ම යන නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි (H.E. Dr. Purna Bahadur Nepali) මහතා අප්‍රේල් 30 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉටුකළ සේවය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් වූ අතර විශේෂයෙන් දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට ඒ මහතා දැක්වූ දායකත්වය පිළිබඳව සිය ස්තූතිය පළ කළාය.

නේපාලය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රගතිය සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී තහවුරු කළාය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යතුමියගේ මැයි දින පණිවුඩය

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

1893 මුද්‍රණ ශිල්පීන්ගේ වැඩවර්ජනයේ සිට මෙරට වැඩකරන ජනතාව සංවිධානාත්මක බලවේගයක් ලෙස නැගී සිටි අතර, ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් ඇරඹි වෘත්තීය සමිති ව්‍යාපාරය සහ සමසමාජ පක්ෂයේ ආරම්භයත් සමඟ කම්කරු හඬ දේශපාලනමය වශයෙන් සවිමත් විය. 1923 දුම්රිය වැඩවර්ජනය සහ 1947 රාජ්‍ය සේවා වැඩවර්ජනය වැනි තීරණාත්මක සන්ධිස්ථාන මගින් තහවුරු කළේ, මෙරට ආර්ථික හා සමාජීය පෙරළියක “නියමුවා” වැඩකරන ජනතාව බවයි. එදා මෙදා තුර වතු ක්ෂේත්‍රයේ, වරාය, දුම්රිය ඇතුළු සමස්ත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් දැක්වූ දායකත්වය අද අප භුක්ති විඳින බොහෝ වෘත්තීය අයිතිවාසිකම්වල පදනම බව ගෞරවයෙන් සිහිපත් කරමි.

1886 වසරේ චිකාගෝ නුවරදී පැය අටක වැඩ මුරයක් වෙනුවෙන් කළ අරගලයේදී දිවි පිදූ වීරෝදාර කම්කරු ජනතාව ඇතුළු ලොව පුරා විසිරී සිටින සමස්ත වැඩකරන ජනතාවට උපහාර පුද කරමින්, මෙවරත් ජාත්‍යන්තර කම්කරු දිනය අපි අභිමානයෙන් යුතුව සමරන්නෙමු. මෙවර මැයි දිනය සුවිශේෂී වන්නේ එය ශ්‍රී ලාංකේය සමස්ත වැඩකරන ප්‍රජාවට ගෞරවයක් පිණිස මහජන බලයෙන් ගොඩනැගුණු රජයක් යටතේ සැමරීම හේතුවෙනි.

ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබා දීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අප රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමකි. ඒ අනුව, පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.

සියලුම පුරවැසියන් සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයන් තහවුරු කිරීම රජයේ මූලික අරමුණකි. ඒ අනුව, සෑම කෙනෙකුටම ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. වැටුප් රහිත ශ්‍රමය හඳුනාගන්නා ජාතික සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ එවැනි ශ්‍රමිකයින් සඳහා සමාජ ආරක්ෂණය සහතික කිරීම අප රජයේ ප්‍රමුඛතම කාර්යයන් අතර වේ.

සියලු ශ්‍රමයන් අගය කරන, අයිතිවාසිකම් සුරක්ෂිත වූ සහ සමානත්වය රජයන රටක් ගොඩනැගීම සඳහා එකමුතුව පෙරට යාමේ වැදගත්කම මෙම මැයි දිනයේදී අප යළිත් තහවුරු කළ යුතුය. සියලු වැඩකරන ජනතාවගේ ශක්තිය හා කැපවීම තුළින්, අප සැමගේ පොදු දැක්ම වන “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන ඉලක්කය ඉතා ඉක්මනින් සපුරා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනය කරමි.

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වත්මන් ලෝකයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ කෘෂිකර්මාන්තය මත අභියෝගාත්මක තත්වයක් ඇතිව තිබෙන බවත්, රටක ආහාර සුරක්ෂිතතාව රටේ ස්ථාවරත්වය හා ස්වෛරීත්වය මෙන්ම ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන වැදගත් අංශයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කෘෂිකර්ම සංවර්ධනය සදහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ශ්‍රි ලංකා රජය විසින් ප්‍රතිපාදන ලබාදෙන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහනේ ග්‍රාමීය තරුණ තරුණියන් කෘෂි ව්‍යාපාර සදහා සවිබලගැන්වීම අරමුණු කරගනිමින් "සැප්" ජාතික තරුණ කෘෂි - ව්‍යාපාරික ප්‍රදර්ශනය හා B2B සම්බන්ධතා සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යතුමිය බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අද (28) පෙරවරුවේ මේ බව පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

රටේ විවිධ බාධක මධ්‍යයේ වුවද මෙම උත්සවය සංවිධානය කිරීම අගය කරනවා.

ඔබ සියලු දෙනා රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ⁣වගේම රටේ ආර්ථිකයට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.ඔබ වැනි දක්ෂ කෘෂි ව්‍යවසායකයින් දක්නට ලැබීම ආඩම්බරයක්.

රටක ජාතික ආරක්ෂාවටත්, කෘෂිකර්මාන්තය මූලික කරගත් ආහාර සුරක්ෂිතතාව බලපානවා.වගේම “Grow and sell” වැනි සංකල්ප ඔස්සේ නිෂ්පාදන ආර්ථිකය සවිබලගැන්වීම සිදුවෙනවා.

කොවිඩ් අර්බුද සමය තුළ වුවත් වත්මන් මැද පෙරදිග යුධ අර්බුද හමුවේ වුවත් රටවල ආහාර සුරක්ෂිතතාව නොමැති නම් රටේ ආර්ථිකය අභියෝගයට ලක්වනවා. විශේෂයෙන් නායකයින්ගේ සුලු තීරණයක් මගින් වුවද සැපයුම් දාමය අවහිර වීම සිදු විය හැකියි.

ඒ වගේම දේශගුණික විපර්යාස තුලිනුත් කෘෂිකර්මයට බලපෑම් ඇතිවනවා. දේශගුණය හා පාරිසරික තත්ව පුරෝකථනය අපහසු වන විට කෘෂිකර්මය අභියෝගයට ලක්වෙනවා.එවන් පසුබිමක රටේ ආර්ථිකය කෙරෙහි කෘෂි ව්‍යවසායක ඔබගේ කාර්යභාරය හුදු මුදල් ඉපයීමක් නොවන අතරම රටේ ආහාර සුරක්ෂිතතාව ඔස්සේ රටේ ජාතික ආරක්ෂාවටද කරන මැදිහත් වීමක්.ඔබේ දක්ෂතා ප්‍රදර්ශනය හුදෙක් ඔබට පමණක් නොව රටේ ජනතාවට ද ඉතා වැදගත්.

IFAD,SAPP වැනි ආයතන ලබා දුන් මෙම දායකත්වය වෙනුවෙන් ස්තුතිවන්ත වන බවත්, නිර්මාණශීලී තරුණ ප්‍රජාවට සුබ පැතුම් එක් කරන බවත් අග්‍රාමාත්‍ය තුමිය ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය K.D.ලාල් කාන්ත, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ,කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් D.P.වික්‍රමසිංහ, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලතීෂා ප්‍රියන්ති,SAPP(Smallholder Agribusiness Partnership Programme) අධ්‍යක්ෂ සුනිමල් චන්ද්‍රසිරි ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරිය ඓතිහාසික කතරගම පුදබිම වැඳපුදා ගනියි...

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 26 වැනි දා ඓතිහාසික කතරගම පුදබිම වැඳපුදා ගැනීම සඳහා සහභාගි විය.

ප්‍රථමයෙන් අග්‍රාමාත්‍යවරිය ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ මුණගැසී ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව ඓතිහාසික කිරිවෙහෙර අභියස ආගමිකවතාවත්වල නිරත විය.

ඉන් අනතුරුව ඓතිහාසික විෂ්ණු කතරගම මහා දේවාලයේ සන්ධ්‍යා පූජාව සඳහා සහභාගි වූ අග්‍රාමාත්‍යවරිය කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙතින් ආශිර්වාද ලබාගත්තා ය.

මෙම අවස්ථාවට වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන , මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, හොරණ වාසනා බේකර්ස් ව්‍යාපාරයේ අධිපති දයානන්ද බෝඹුවල , කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. එම්. හේරත්, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය කාර්යාලයේ “සුහදත්වයේ අවුරුදු හමුව” අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුභ සාධක සංගමය මගින් සංවිධානය කළ "සුහදත්වයේ අවුරුදු හමුව" අප්‍රේල් 25 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

සියළු දෙනාට අර්බුධ නැති සාමකාමී සභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සේවාවට කැපවෙමින් ලබා දෙන සහය, කැපවීම අගයකරනවා. ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විය යුතු සේවාව තව තවත් සිදු කරන්නට ශක්තිය, ධෙර්යය ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

ජනක්‍රීඩා, සෞන්දර්යය අංග රැසකින් සමන්විත වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුභ සාධක සංගමය මගින් සංවිධානය කළ “සුහදත්වයේ අවුරුදු හමුව” දවස පුරා පැවැත්විණි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරුන්, නිලධාරීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය