අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමේ හැකියාව ඇත්තේ අධ්‍යාපනයටයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය යනු සාමුහික ව දැනුම බෙදා ගැනීමේ ක්‍රියාවලියක් බවත්, මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමට හැකියාව ඇත්තේ අධ්‍යාපනයට බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ ගාලුමුවදොර හෝටලයේ අද 18) පැවති හරිත සංක්‍රාන්තිය තුළ අධ්‍යාපනයේ කාර්යභාරය සම්බන්ධව ආසියා, මැදපෙරදිග, පැසිෆික් කලාපයේ රටවල් අතර සහයෝගීතාවය ඇති කර ගැනීමේ සම්මන්ත්‍රණය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

යුරෝපීය සංගමය විසින් අරමුදල් සපයනු ලබන Erasmus+ වැඩසටහන, අධ්‍යාපනය, පුහුණුව, තරුණයින් සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ලොව ප්‍රමුඛතම වැඩසටහනකි. රටවල් අතර සංචලතාව, අන්තර් සංස්කෘතික හුවමාරුව, ධාරිතා සංවර්ධනය සහ ප්‍රතිපත්ති සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණුයි.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, තරුණ සංවර්ධනය සහ ආයතනික හවුල්කාරිත්වයන් සඳහා සහයෝගීතාව සහ අරමුදල් සැපයීම සඳහා අවස්ථා නිර්මාණය කරන අතර මෙම සම්මන්ත්‍රණය මේ මස 18 සිට 20 දක්වා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පශ්චාත් යටත් විජිතවාදයේ උරුමයක් ලෙස අපට ලැබුණු අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස අපේ රට ඉහළ සාක්ෂරතා අනුපාත ඇති රටක් බවට පත්වෙලා තිබෙනවා.

නමුත් වර්තමානය වන විට අධ්‍යාපනය පුද්ගල සාර්ථකත්වය සහ ජයග්‍රහණය පමණක් ඉලක්ක කරගත් දෙයක් බවට පත් වී තිබෙනවා. මේ නිසා, අධ්‍යාපනයේ සැලසුම් සහ මූලධර්ම තරඟකාරිත්වය මත පදනම් වෙලා තිබෙනවා.

එහි ප්‍රතිපලයක් ලෙස අපේ අධ්‍යාපන රටාව අතිශයින්ම තරඟකාරී සහ විභාග කේන්ද්‍ර කරගත් එකක් වෙලා, අධ්‍යාපනය යනු තනි පුද්ගල ජයග්‍රහණය පමණක්ම ඉලක්ක කරගත් ක්‍රියාවලියක් නෙමෙයි.

අප දැන් උත්සාහ කරන්නේ මෙම ක්‍රමයෙන් ඈත් වෙලා අධ්‍යාපනය හුදෙක් උසස් ලකුණු ලබා ගැනීමක් පමණක් නොවී, සාමූහික දැනුම බෙදාගැනීම සහ පරිවර්තනීය අධ්‍යාපනයේ සැබෑ අරමුණ යථා තත්ත්වයට පත් කිරීමටයි.

අධ්‍යාපනයට ඇති පරිවර්තනීය බලය බොහෝ විට අපට අමතක වෙනවා. එය පුද්ගල ජයග්‍රහණයට එහා ගිය දෙයක්. මිනිසුන් දේශපාලන, සමාජ -ආර්ථික වශයෙන් එක් කිරීමට අධ්‍යාපනයට හැකියාව තිබෙනවා. ඒ නිසා අන්‍යෝන්‍ය බලාපොරොත්තුවක් සහ අන්‍යෝන්‍ය සාර්ථකත්වයක් ඇති ක්ෂේත්‍රයක් බවට අධ්‍යාපනය පත් කිරීම ඉතා වැදගත්

අපේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් සහයෝගී ඉගෙනීම, එකිනෙකා කෙරෙහි වගකීම පිළිබඳ හැඟීමක් ඇති කිරීම, ලෝකය කෙරෙහි වගකීමසහගත හැඟීමක් ඇති කිරීම වගේම විශේෂයෙන්ම පරිසරය සම්බන්ධයෙන් අද අප මුහුණ දෙන ගෝලීය අරගල හමුවේ මෙය ඉතා වැදගත්. ඒවගේම වර්තමාන ලෝකයේ වර්ධනය වන ආකාරයේ විද්‍යාත්මක නොවන ක්‍රම සහ වැරදි තොරතුරු ව්‍යාප්තිය හමුවේ, අධ්‍යාපනයේ අත්‍යවශ්‍යතාවය වඩාත් ඉස්මතු වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින පීඩනයන් ද මෙම පරිවර්තනයෙන් ජයගත හැකියි.

මෙවැනි සංවාදවල, බෙදාගැනීම්වල, සහ සාකච්ඡාවල වැදගත්කම අපට තවත් පෙන්වා දෙන්නේ, අදහස් බෙදා ගන්නා සහ එකට වැඩ කරන පරිවර්තනීය අධ්‍යාපනයක අවශ්‍යතාවයි.

අපගේ අධ්‍යාපන ක්‍රමය තරඟකාරීත්වයේ සිරගෙයින් මුදා ගෙන, සහයෝගීතාවයේ සහ වගකීම් සහගත බෙදාගැනීමේ නිදහස් අවකාශයක් බවට පත් කිරීම, ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් රට මුහුණ දෙන මූලික අභියෝගය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

යුරෝපා සංගමයේ මෙරට තානාපති කාමෙන් මෙරීනෝ, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, ඇතුළු කලාපීය නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම 2025.

සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 16 දින, කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටුවා ඇති පළමු සහ දෙවන ලෝක යුධ සටන්වලදී දිවි පිදූ හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ස්මාරකය අභියස දී ගෞරවාන්විතව පවත්වන ලදී.

මෙම ස්මාරකය කොළඹ Cenotaph War Memorial ලෙස හැඳින්වේ.

​එය ශ්‍රී ලංකාවේ (එවකට ලංකාවේ) හමුදා නිලධාරීන් ලෝක යුද්ධ දෙකේදී (පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය) සටන්වලදී මියගිය අය වෙනුවෙන් පිහිටුවා ඇති ස්මාරකයකි.

මෙය ශ්‍රීමත් එඩ්වින් ලෑන්ඩ්සීර් ලුටෙන්ස් (Sir Edwin Landseer Lutyens) ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයකි.

​මෙම ස්මාරකය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රධානතම යුද ස්මාරකවලින් එකක් වන අතර, වාර්ෂිකව Remembrance Day (නොවැම්බර් 11 ට ආසන්නතම ඉරිදා) දින මෙහිදී ජාතික සැමරුම් උත්සවයක් පවත්වනු ලැබේ.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය ස්මාරකය වෙත පොපි මල් කළඹ තැන්පත් කර දිවි පිදූ හමුදා සාමාජිකයින් සිහි කරමින් පුෂ්පෝපහාර දැක්වීය.

මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද්ධ සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයින් අනුස්මරණය කිරීම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම මෙම වාර්ෂික සැමරුමේ ප්‍රධාන අරමුණ විය.

පළමු ලෝක යුද්ධයෙන් දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයින් සිහිකිරීම සඳහා පොපි මල් දිනය මහා බ්‍රිතාන්‍යය විසින් 1919 සිට සමරනු ලබන අතර, මෙහිදී පොපි මල (Poppy) ප්‍රධාන සංකේතය බවට පත්ව ඇත.

බෙල්ජියමේ යුධ පිටියකදී, මිතුරෙකුගේ මරණයෙන් කම්පාවට පත් වූ ලුතිනන් කර්නල් ජෝන් මැක්ක්‍රේ විසින් සොහොන් මත වැඩුණු පොපි මල් දකිමින් රචනා කරන ලද "In Flanders Fields" කවිය, මෙම මල සදාකාලික සිහිවටනයක් බවට පත් කිරීමට මූලික විය.

පසුකාලීනව, ඇමරිකානු තරුණ සංගමයේ ලේකම්වරිය වූ මොයිනා මයිකල් මහත්මිය පොපි මල් විකුණා ලබාගත් මුදල් මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සුබසාධනය සඳහා යොදා ගැනීමත් සමඟ, මෙම පොපි මලෙහි වැදගත්කම ලොව පුරා තහවුරු විය.

පොපි මල් සැමරුම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය හා සන්නද්ධ සේවාවන් සමඟ එක්ව සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයා වයිෂ් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරු, විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදේශීය තානාපතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පුහුණු විදේශ ශ්‍රමිකයින් නිර්මාණය කිරීම අපේ වගකීමක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අපේ මානව සම්පත ඇගයීමට ලක් වන ඉල්ලුමක් ඇති මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය 2025.11.15 දින අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය " දේශ සීමා ඉක්මවා - ශ්‍රි ලාංකිකයින් බලගැන්වීම " යන තේමාව යටතේ පැවැත්විණි.

මෙම අවස්ථාවට සමගාමීව විගමණික ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් විගමණික ප්‍රජාව වෙත පහසුකම් සැපයීමේ යෙදවුම (Mobile app) හඳුන්වාදීම, ශ්‍රමිකයෙකුගේ මරණයකදී පවුලේ ඥාතීන් වෙත ගෙවන දීමනාව රු 40000 සිට රු.100000 දක්වා ඉහල නැංවීම, නව්‍යකරණය කරන ලද කාර්යාංශයේ 24/7 පැය ඇමතුම් මධ්‍යස්ථානයේ සේවා ආරම්භ කිරීම, සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන විගමනික ශ්‍රමිකයින් ඇගයීම, දීර්ඝ කාලයක් පවත්වාගෙන යන විදේශ රැකියා නියෝජිතායතන ඇගයීම, විගමනික දුදරුවන් සඳහා මුල්‍යමය සහයෝගය ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම, ශ්‍රමිකයෙකුගේ මරණයකදී ලබාදෙන රක්ෂණ වන්දි මුදල ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල් කරණ වැඩසටහන ආරම්භ කිරීම, විගමනික ශ්‍රමිකයින් සඳහා නිවාස ණය මිලියන 10ක් දක්වා ඉහළ නැංවීම, සහ ජනාධිපති අරමුදල මගින් විගමනික පවුල් සඳහා ප්‍රතිලාභ ලබාදීම වැනි පහසුකම් රැසක් ක්‍රියාත්මක කිරීම සිදු විය.

උත්සව අවස්ථාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය, විගමනික ප්‍රජාවගෙන් ආර්ථිකයට ලැබෙන මූල්‍යමය දායකත්වය මෙන්ම තාක්ෂණික හුවමාරුව, ඔවුන්ගෙන් නව ව්‍යවසායකත්ව අවස්ථා ලැබෙන ශ්‍රම දායකත්වය පැසසුමට ලක් කළා ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අවුරුදු 40 ක ඉතිහාසයක් තුළ අපි මේ වන විට මෙම ක්ෂේත්‍රයෙහි නූතන වගේම හොදම කාලයකට ළඟා වෙලා තියෙනවා.

විදේශ කටයුතු ක්‍රියාවලියක් කීවම අර තියෙන පරණ අමිහිරි චිත්‍රය දන් නැගෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් ප්‍රගතාශීලි, සාධාරණ, ස්ථායී, ආර්ථිකයට දායකත්වයක් දක්වන ක්ෂේත්‍රයක් බවට අවතීර්ණය වෙමින් පවතිනවා.

එමෙන්ම පුහුණු, ආරක්ෂිත, සදාචාරාත්මක විගමනික ශ්‍රමිකයින් නිර්මාණය කිරීමේ වැදගත්කම සහ වගකීම පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය. අපේ මානව සම්පත ඇගයීමට ලක් වන ඉල්ලුමක් ඇති මානව සම්පතක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ද අප සතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා ය.

විශේෂයෙන්ම තානාපති කාර්යාලවලින් විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ලබාදෙන සහයෝගය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, විදේශයන්හි සේවයෙහි නිරත ලාංකික විගමණික ප්‍රජාවගේ සුබසාධනය, ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම සහ විදේශයන්හි රැකියා අවස්ථා සහ සේවාවන් ලබා ගැනීමට තවදුරටත් තානාපති කාර්යාලවල සහයෝගය අපේක්ෂා කරන බව ද පවසා සිටියා ය.

මෙම අවස්ථාව ඇමැතූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයා, විදේශගත වන ශ්‍රමිකයින් නිවැරදි ආකාරයෙන් විදේශගත කරවීම, ඔවුන්ගේ ආරක්ෂාව සහ වැටුප් පිළිබඳ සහතික කිරීම, සෞඛ්‍ය ගැටලු තත්ත්වයකදී අවශ්‍ය යාන්ත්‍රණය නියාමනය කිරීම ඇතුළු ඔවුන්ගේ රැකියාවේ සහ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීම සහ වගවීම මෙහිදී පැහැදිලි කළේ ය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණය කිරීම හරහා ලාංකිකයින්ට සමීප, විනිවිදභාවයකින් යුතු සාධාරණීය සේවාවක් ලබා දිය හැකි බව ද පැවසූ අමාත්‍යවරයා,

අපේ උත්සාහය සහ ඉලක්කය වන්නේ පුහුණු 100% පුහුණු ශ්‍රමකයින් විදේශගත කිරීම. ඉහළ මට්ටමේ රැකියාවන්ට වෘත්තිය රැකියාවන්ට ලාංකිකයින් යැවීම අපේ ඉලක්කය වගේම අපේ වගකීම.

ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය ගෙනන වසර හැටියට 2025 වසර අභීමනයෙන් කියන්න පුළුවන්. අපි මේ 40 වන සංවත්සරය සමරන්නේ වැඩි පිරිසක් විදේශගත කරලා වැඩි විදේශ විනිමයක් උපයලා. නමුත් රටේ ඉලක්කය වන්නේ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරලා රට තුළ රැකියා අවස්ථා පුළුල් කරමින් සියලු දෙනාට ජීවත් වෙන්න හිතෙන රටක් ගොඩ නැගීම. ඒ අරමුණ හිතේ තියාගෙන තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන්නේ යැයි පැවසුවේ ය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විගමණික ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කැපවීම අවධාරණය කළ අතර විදේශ ශ්‍රමිකයින් ඡන්ද අයිතිය පිළිබඳ ආණ්ඩුවක් වශයෙන් සිදු කරනු ලබන ක්‍රියාවලිය පැහැදිලි කළේ ය.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ යන මහත්වරුන් තානාපතිවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ විදේශගත ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුලේ පිරිස්, විදේශ සේවා ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගෝලීය ව්‍යවසායකත්ව සතිය 2025 අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ ජාතික කාර්යයට සියලු අංශ එකාබද්ධව කටයුතු කළ යුතුයි.

නව පරිවර්තනයක් තුළින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේදී දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ ජාතික කාර්යය සඳහා සියලු අංශ එකාබද්ධව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සංවිධානය කළ "අපි එක්ව ගොඩනගමු" යන තේමාවෙන් අරලිය ගහ මන්දිරයේ ඊයේ (14) පැවති ගෝලීය ව්‍යවසායකත්ව සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,

2025 වසරේ ගෝලීය ව්‍යවසායකත්ව සතිය අද සිට ආරම්භ වෙනවා. එය මෙරට ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැගීමට සහ ඒ සඳහා අවශය අවස්ථා නිර්මාණය කිරීමට සක්‍රීයව දායකවීමක්. මේ සතිය අපේ ජාතික අරමුණ හා සම්බන්ධයි. නිර්මාණශීලීත්වය, සහයෝගීතාවය සහ නවෝත්පාදනය රටේ ඉදිරි සංවර්ධනයට ඉතා වැදගත්.

අපේ රජයේ දැක්ම අදහස්, අවස්ථා බවට පත්වන, ආයෝජන ආකර්ෂණය කරගන්නා නවෝත්පාදනයන් සහ පුරවැසියන්ට එහි ප්‍රතිලාභ ලබා ගත හැකි රටක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධනය ඉතා වැදගත් ඒ වගේම ආර්ථික විවිධාංගීකරණය, අපනයන වර්ධනය, තරුණ සවිබල ගැන්වීම සහ සමතුලිත සංවර්ධනය සඳහාද ව්‍යවසායකත්වය අත්‍යවශ්‍ය සාධකයක්.

2024 වසරේ පැවති ශ්‍රී ලංකාවේ ගෝලීය ව්‍යවසායකත්ව සතියේදි දිස්ත්‍රික්ක 25ක් පුරා පැවැති වැඩසටහන් 207කට වැඩි ප්‍රමාණයකට 20,000 කට අධික පිරිසක් සම්බන්ධ කර ගන්න හැකි වුණා.

2024 වර්ෂයේ ගෝලීය නවෝත්පාදන දර්ශකය අනුව, ශ්‍රී ලංකාව පසුවන්නේ 89 වැනි ස්ථානයේ, නවෝත්පාදන ප්‍රතිඵල අතින් සාපේක්ෂව හොඳතත්වයක අපි සිටියත්, යටිතල පහසුකම් සහ ආයෝජන වැනි නවෝත්පාදන යෙදවුම් (innovation inputs) තවමත් දුර්වල මට්ටමක පවතින බව දත්ත සහ තොරතුරු අනුව අපිට පැහැදිලියි.

ගෝලීය ව්‍යවසායකත්ව අධීක්ෂණ (GEM) වාර්තාව (2024/25) අනුව, ලොව පුරා වැඩිහිටියන්ගෙන් 49%ක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් වැළකී සිටින්නේ අසාර්ථක වීමේ බිය නිසා කියලා සදහන් වෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ ශක්තිමත් සහයෝගීතා පද්ධතියක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් කියන කාරණය.

2023 දී වයස අවුරුදු 15-29 අතර තරුණ ජනගහනය දළ වශයෙන් මිලියන 5.1ක් (මුළු ජනගහනයෙන් 23.6%ක්) වීම තුලින් ශ්‍රී ලංකාවට වැදගත් ජන විද්‍යාත්මක වාසියක් අත්වී තිබෙනවා. ⁣ මේ තරුණ ප්‍රජාවට ඩිජිටල් සාක්ෂරතාව තිබුණත් ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමේ සීමාවන්, අඩු උපදේශන අවස්ථා සහ අවදානමට ඇති පොදු අකමැත්ත වැනි අභියෝගවලට මුහුණ දීමට සිදුවී ඇති බව අපි අවබෝධ කරගෙන තිබෙනවා.

ඒ නිසා රජය විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 30 දෙනෙකුගෙන් යුත් ඩිජිටල් කාර්ය සාධක බලකායක් පිහිටුවලා සියලුම පාසල් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සහ ස්මාර්ට් පුවරු, පරිගණක සහ ඩිජිටල් මෙවලම් ලබා දීම, දැනුම වර්ධනය කිරීම ඇතුළු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා. ඒවගේම ඩිජිටල් අධ්‍යාපනය සඳහා පූර්ණ ප්‍රතිපත්ති රාමුවක් 2026 මාර්තු වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කරමින් තිබෙනවා.

2026 ජාතික අයවැය මගින් ඩිජිටල් ආර්ථිකය සහ ව්‍යවසායකත්වය ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් තරුණ හා නැගී එන ව්‍යවසායකයින් සඳහා ආරම්භක අරමුදලක් ලෙස රු. බිලියන 1.5ක් වෙන් කර තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය (AI) සහ ක්ලවුඩ් පරිගණකකරණ පර්යේෂණ සඳහා ද, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය (බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්) සහ ආයෝජන දිරිගැන්වීම් සඳහා ද අමතර ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. රජය ඩිජිටල් ආර්ථික පනතක් සහ නව ඩිජිටල් ආර්ථික අධිකාරියක් මෙන්ම, ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත (SL-UDI) සහ ඒකාබද්ධ ඩිජිටල් ගෙවීම් පද්ධති යෝජනා කර තිබෙන බවත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.

රටේ ආර්ථිකය වගේම සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනය වෙනුවෙන් අපි සියලු දෙනා එක්ව ජාතික වැඩපිලිවෙළ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. තනි තනිව ඒ වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට සියලු දෙනා සම්බන්ධීකරණය වූ ජාතික ව්‍යාපාරයක් අපි ආරම්භ කරන්න අවශ්‍යයි.

ඒ වගේම රජය, කර්මාන්ත, ශාස්ත්‍රීය සහ ව්‍යවසායකයින් එක්ව සම්පත් පෙළගැස්වීම, උපදේශන ජාල ගොඩනැගීම, රෙගුලාසි සරල කිරීම සහ ගෝලීය වෙළඳපොළ විවෘත කිරීම සඳහාද එක්ව කටයුතු කළ යුතුයැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, කර්මාන්ත හා ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ධනපාල යන මහත්වරුන් ව්‍යවසායකයින්, ආයෝජකයින්, ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නිවැරදි තොරතුරු සමාජගත කරන වගකීම සහ වගවීම හඳුනාගත් වෘත්තිය මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය තුළ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සමහර පිරිස් වැරදි තොරතුරු සමාජගත කරන බවත් සත්‍ය හා නිවැරදි තොරතුරු සමාජගත කරන වගකීම සහ වගවීම හඳුනාගත් වෘත්තිමය ගුණාංග වලින් යුතු වෘත්තිය මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ පදනම් ආයතනයේ අද (12) දින පැවති ස්වාධින රුපවාහිනී සේවයේ MMC ITN Campus හි පළමු සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

පාඨමාලාව සාර්ථකව අවසන් කර රන් සම්මාන දිනාගත් අභිෂේක දුනේකේවෙල, දිමුතු නිර්මාන් සහ කාවින්ද්‍යා ගිම්හානි යන සිසුසිසුවියන් වෙනුවෙන් රන්සම්මාන ප්‍රදානය කිරීම අගමැතිතුමිය අතින් සිදු කෙරිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,

බහුමාධ්‍ය නැතිනම් Multi-media විෂය ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් ආරම්භ කරන ITN Multi Media Campus (බහුමාධ්‍ය කැමපස්) ආයතනය ඊළඟ පරම්පරාවේ මාධ්‍ය වෘත්තිකයන්, විකාශකසින්, ඩිජිටල් නිර්මාණකරුවන් සහ සන්නිවේදන විශේෂඥයින් හැඩගැස්වීම සඳහා කැප වූ පුරෝගාමි අධ්‍යාපන ආයතනයක්. ලොව පුරාම නිර්මාණාත්මක හා ඩිජිටල් කර්මාන්තය සෑම වසරකම ඩොලර් ස්ට්‍රේලියනයකට වඩා උපයන බව සංඛ්‍යාලේඛන අපට පෙන්වා දෙනවා. මේවා තවදුරටත් අපට දුරස්ථ සංඛ්‍යාලේඛන නෙවෙයි. ශ්‍රී ලාංකික අපේ තරුණයින්ට,

නිර්මාණ ශීලිත්වය උපතින්ම උරුම වූ දෙයක්. එය ජීවනෝපායක් බවට පත් කර ගැනීමට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම මේ තුළින් සිදු වෙනවා. ඒ නිසා නිසි හැදෑරීමකින් යුතුව මේ ක්ෂේත්‍රයට පිටිසීමට මෙය මහඟු අවස්ථාවක්.

Immersive Artificial Intelligence, Big Data, Digital Analyties, Digital Media Technologies වැනි විෂය ක්ෂේත්‍රයන් ගැන වැඩි වශයෙන් කතා කෙරෙන වර්තමාන ලෝකයේ ඩිජිටල් නිර්මාණ අධ්‍යයනය කියන්නේ අලුත් දෙයක් හෝ සුඛෝපභෝගී දෙයක් නොවෙයි. එය සෑම වෘත්තිකයකුම අඩුවැඩි වශයෙන් පරිශීලනය කළ යුතු විෂයයක් විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවකාශයන් ඔස්සේ නිර්මාණ කරණයේ යෙදෙන වර්තමාන පරම්පරාව ගැන සලකා බැලුවොත්, ඔවුන් අතිශය නිර්මාණශීලි සහ තමන් පිළිබඳ විශ්වාසයෙන් යුතුව වැඩ කරන්න දන්න කොටසක් බව දකින්න පුළුවන්. වේගයෙන් වෙනස්වන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දියුණු වීමට අවශ්‍ය අති නවීන ඩිජිටල් තාක්ෂණ කුසළතාවයෙන්ගෙන්, ප්‍රායෝගික අත්දැකීම් සහ තාක්ෂණික විශේෂඥතාවයෙන් සිසුන් සන්නද්ධ කිරීමට මෙම ITN MMC Campus ආයතනය කැපවී සිටිනවා.

සාම්ප්‍රදායික මාධ්‍ය නැත්නම් Traditional media e Mainstream media තරමටම උසස් මට්ටමේ digital සහ Social මිඩියා අද අපට දකින්න ලැබෙනවා. ලෝකයේ වෙනත් රටවල වගේම ලංකාවේත් තත්වය එහෙමයි. ඉස්සර අපි කතා කළ සාම්ප්‍රදායික මාධ්‍ය වෘත්තීන් අතරට දැන් Content creator, YouTuber වගේ වෘත්තීනුත් එකතු වෙලා. මෙතැනදී අපි සලකා බලන්න ඕන වැදගත්ම කාරණයත් මේ මාධ්‍ය වල තියෙන මේ ප්‍රභලත්වයම තමයි. ඕන වෙන්නේ බොහොම සීමිත අවශ්‍යතා ටිකක් විතරයි. නමුත් මේවායේ ප්‍රභලත්වය නිසාම මේවා හොඳ වගේම නරක පැත්තටත් වැඩ කරන්න තියෙන අවස්ථාව වැඩියි. අපිට අපේ දරුවන්ට විධිමත් විෂයානුබද්ධ අධ්‍යාපනයක් ලබා දීම අවශ්‍යය වෙන්නේ අන්න එතනදියි.

වර්තමානයේ අපි විශේෂයෙන්ම කතා කරනවා misinformation, disinformation සහ mal-Information ගැන. මේවායින් සමාජයට වන හානිය අපි නිතර දකිනවා, විවිධ ආකාරයේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් වැරදි තොරතුරු සමාජගත කරන Content creators ලා අපට මේ ඩිජිටල් අවකාශයේදී දකින්න ලැබෙනවා. වගකීම සහ වගවීම හඳුනාගත් වෘත්තිමය ගුණාංග වලින් යුතු වෘත්තිය වේදියෙක් නිර්මාණය කිරීමේ වැදගත්කම එන්නේ අන්න එතනදියි. එවැනි නිර්මාණ ශිල්පියකු බිහි කරන්න මෙවැනි ආයතන වලින් විය යුතු කාර්යය භාරය හා වගකීම අති විශාලයි. මට අසන්නට ලැබුණ විදිහට මෙම සියළුම පාඨමාලා ගොඩනඟා තිබෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ඩිජිටල් ව්‍යවසායකයින් ගොඩනැගීම ඉලක්ක කර ගෙන. ඒ අර්ථයෙන් ITN MMC Campus ආයතනය රට මේ මොහොතේ ඉල්ලා සිටින වගකීම පෙරට ගෙන තිබෙනවා.

අපේ රජය සියලු ක්ෂේත්‍රවල ඩිජිටල් කරණය වෙනුවෙන් ලොකු බරක් අරගෙන තියෙනවා. ඉදිරියේදී රැකියා සොයන්නන් වෙනුවට රැකියා උත්පාදනය කරන්නන් බිහි කිරීම අපේ වැඩපිළිවෙලේ මූලික අරමුණක්. අපි වැඩ කරන්නේ ඒ ඉදිරි ඉලක්ක වෙනුවෙනුයි. අපිට අරමුණක් තියෙනවා. එතැනදී ඔබේ දායකත්වය අපට ඉතාමත් වැදගත්. ඒ නිසා දැනුමින් සන්නද්ධ වුණු විද්‍යාර්ථීන්ගේ ඉදිරිය ඉතාම පැහැදිලි බව කියන්න පුළුවන්. ලෝකයත් සමග තරග කළ හැකි මට්ටමේ නිර්මාණශීලි පුරවැසියකු වුනොත් ඔබට ලැබෙන අවස්ථාවන් අසීමිත වේවි. එවිට ඔබව ඔබේ අනාගතය වගේම රටේ අනාගතයක් ගොඩනගන්නට හැකිවේවි. රටට අවශ්‍ය එවැනි තරුණ පරපුරක් බව අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස,

රූපවාහිනී මහගෙදර ලෙස ස්වාධින රූපවාහිනිය ඩිජිටල් තාක්ෂණය සමග ඉදිරියට යන්නට පුලුවන් පිරිසක් බිහිකිරීමට කටයුතු කිරීම ගැන සතුටු වෙනවා. වසර ගණනක් අපේ රටේ ආර්ථිකය ඇතුළු අංශ ගමන් කළේ ඉතා මන්දගාමීවයි. ඒ නිසා ලෝකය සමග අරමුණු ජය ගන්න අපිට නොහැකි වුණා. රජයේ අරමුණ නව පිම්මක් තුලින් අනාගත අරමුණු ළගා කර ගැනීමයි. ජනමාධ්‍ය තුළත එකී පිම්ම වෙනුවෙන් ඩිජිටල් කරණය වීම ඉතා වැදගත්. අපේ රටෙි පුරවැසියන්ට ලෝකය සමග සම්බන්ධ වෙන්න ඩිජිටල් තාක්ෂණය පිලිබඳ දැනුම ඉතාම වැදගත්.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න,

ඩිජිටල් අළෙවිකරණයේදී යොදාගෙන තිබෙන දැන්වීම් තුළ අපි දකිනවා අසත්‍ය සහ පසුගාමී මතවාද සමාජගත කරනවා. සමානාත්මතාවය, සාධාරණය වගේම ස්ත්‍රී පුරුෂභාවය පිලිබඳව යහපත් මතවාදයක් ඇතිව මෙවැනි නිර්මාණ සිදු කළ යුතුයි. සමාජ මාධ්‍යතුළ සමාජ ගතකරන තොරතුරු වල සත්‍ය හා අසත්‍යතාව අවබෝධයෙන් සමාජගත කිරීම ඉතා වැදගත්, ජංගම දුරකථනයක් හෝ එවැනි උපකරණයත් තිබූ පමණින් මාධ්‍යවේදියෙක් වෙන්න බැහැ. උපකරණය නෙමෙයි වැදගත් එයින් ග්‍රහණය කර ගන්නා සහ සමාජගත කරන අන්තර්ගතයන්ගේ සත්‍ය අසත්‍යතාව තමයි වැදගත් වෙන්නේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජයසිංහ, සවාධින රූපවාහිනි සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, MMC ITN Campus හි අධ්‍යක්ෂක මන්ඩලය, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, සහතිකපත්ලාභින් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

2026 අයවැයෙන්, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,750 දක්වා වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

තේ කර්මාන්තය පවත්වාගෙන යන පිරිසට සාධාරණ වැටුපක් සහ උසස් ජීවන තත්ත්වයන් සහතික කිරීම සඳහා රජය දරන ප්‍රයත්නය මෙයින් සනාථ වෙනවා.

නොවැම්බර් 10 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවති ජාතික තේ සම්මන්ත්‍රණයේ (InTSym100) සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළා ය.

1925 දී එය පිහිටුවා වසර 100 ක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය (TRISL) මේ වසරේදී ජාතියට සිදු කළ සිය විද්‍යාත්මක සේවාවන්හි සියවසක ආවර්ජනය සමරනු ලබන අතර ඊට සමගාමීව "පරිපූර්ණ තේ කෝප්පයක්: නවෝත්පාදනය, තිරසාරභාවය සහ ජීවන රටා එකට මුසු කිරීම" (Perfect Sip: Bridging Innovations, Sustainability and Lifestyles) යන තේමාව යටතේ නොවැම්බර් 10-11 යන දිනවල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අන්තර්ජාතික තේ විද්‍යා සම්මන්ත‍්‍රණය 2025 සංවිධානය කරනු ලබයි.

ගෝලීය වශයෙන් විද්‍යාඥයින්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත නායකයින් එක්රැස් වී දැනුම බෙදා ගැනීම, නවෝත්පාදන ගවේෂණය කිරීම සහ සහයෝගීතා පර්යේෂණ හා සංවර්ධනය තුළින් තේ කර්මාන්තයේ අනාගතය සකස් කිරීම මෙහි අරමුණයි.

මෙම අවස්ථාවේ දී නව තේ ප්‍රභේදයක් වන TRI 5000 අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගන්වන ලදී.

උත්සව අවස්ථාව ඇමැතූ අග්‍රාමාත්‍යවරිය,

" කෘෂිකාර්මික අපනයනවලින් 10% කට ආසන්න ප්‍රමාණයක් සඳහා දායක වෙමින් මිලියන දෙකකට ආසන්න ජනතාවකගේ ජීවනෝපාය සඳහා ද සහාය වෙමින් තේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රීය කොටසක් ලෙස පවතිනවා. එහි ආර්ථික භූමිකාවෙන් ඔබ්බට තේ, දේශීය භූමිය, සංස්කෘතිය සහ ප්‍රජාවන් සමඟ ගැඹුරින් බැඳී පවතිනවා. එය කුඩා තේ වතු හිමියන්ගේ සහ වතු කම්කරුවන්ගේ සිට නිෂ්පාදකයින්, ඇසුරුම්කරුවන් සහ අපනයනකරුවන් දක්වා වූ අංශ පුරා පවුල් පවත්වාගෙන යාම සදහා සහාය දක්වනවා.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් දළ වශයෙන් 90% ක් රටවල් 140 කට වැඩි ගණනකට අපනයනය කරනවා. තේ හඳුන්වා දුන් දා සිට, සිලෝන් තේ (Ceylon Tea) හි පවතින ගුණාත්මකභාවය හේතුවෙන් ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වෙමින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. රජයක් ලෙස, අපි මෙම ප්‍රගතිය තවදුරටත් පුළුල් කරමින්, 2030 වන විට සකස් කළ තේ කිලෝග්‍රෑම් මිලියන 400 ක ඉලක්කයක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක අපනයන ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

ඊට අමතරව, තේ කර්මාන්තයේ මානුෂීය පැතිකඩත් අප විසින් පිළිගත යුතුයි. තේ දළු නෙළීමේ සිට පර්යේෂණ හා පරිපාලනය දක්වා කාන්තාවන් දිගු කලක් තිස්සේ මූලික කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. ශ්‍රම බලකායෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ගෙන් සමන්විතයි. COVID-19 වසංගතය අතරතුර, අන් අය නිරෝධායනයට ලක්ව සිටියදී පවා ඔවුන් අඛණ්ඩව සේවය කරමින් රජයට ආදායම් උත්පාදනය කළා. ඔවුන්ගේ දායකත්වය පිළිගත යුතුයි. ඔවුන් සර්ප දෂ්ට කිරීම්වල සිට තේ දළු නෙළීමේදී සිදුවන තුවාල දක්වා සැලකිය යුතු දුෂ්කරතාවලට මුහුණ දී තියෙනවා. බොහෝ දෙනෙකුට තවමත් නිසි නිවාස පහසුකම් සහ ළමා ආරක්ෂක පහසුකම් සඳහා ප්‍රවේශයක් නැහැ, එය ඔවුන්ගේ අභියෝග තවත් වැඩි කරනවා. මෙම කාන්තාවන්ට අධ්‍යාපනය, පුහුණුව, ආරක්ෂිත සේවා කොන්දේසි, සාධාරණ වැටුප් සහ දියුණුව සඳහා සාධාරණ අවස්ථා ලබා දිය යුතුයි.

වතු ප්‍රජාවේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අපගේ රජය කැපවී සිටිනවා. මෑතකදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිගු කලක් දේපළ හිමිකර ගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කරනු ලැබූ වතු ප්‍රජාවේ සාමාජිකයින්ට වැඩි ආරක්ෂාවක් සහ ස්ථාවරත්වයක් ලබා දෙමින් නිවාස ඔප්පු 2,000 ක් භාර දුන්නා.

නොවැම්බර් 7 වන දින ඉදිරිපත් කරන ලද 2026 ශ්‍රී ලංකා අයවැයෙන්, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,750 දක්වා වැඩි කිරීමට යෝජනා කරලා තියෙනවා. මෙයට මූලික දෛනික වැටුප රුපියල් 1,550 දක්වා වැඩි කිරීම සහ 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත රජය විසින් යෝජනා කරන ලද රුපියල් 200 ක දෛනික පැමිණීමේ දීමනාවක් ඇතුළත් වෙනවා. මෙම කර්මාන්තය පවත්වාගෙන යන්නට කැපවෙන පිරිස සඳහා සාධාරණ වැටුප් සහ උසස් ජීවන තත්ත්වයක් සහතික කිරීමට අප දරණ ප්‍රයත්නය මෙයින් සනාථ වෙනවා.

ඒ වගේම, රජය තේ කර්මාන්තය දියුණු කිරීමට කැපවී සිටිනවා. අපගේ දැක්ම වන්නේ මෙම තේ කර්මාන්තය වඩාත් තිරසාර, තරඟකාරී සහ පුළුල් කර්මාන්තයක් බවට පත් කිරීමයි.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය