අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන අගමැතිනිය හමුවෙයි.

බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ "බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්" පිදුම් ලැබූ ආචාර්‍ය නදීශා චන්ද්‍රසේන ජුලි 21 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය හේතුවෙන් අවහිර වන විවෘත කාණු පද්ධති සඳහා විසඳුමක් ලෙස ආචාර්ය නදීශා විසින් නිමවන ලද ස්මාර්ට් කාණු පද්ධති සංකල්පය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති WIPO සම්මාන උළෙලේ දී රටවල් 95 ක් සහ ආයතන 780 ක් අතරින් ජයග්‍රහණයට පත් විය.

අග්‍රාමාත්‍යවරිය මෙහිදී ආචාර්ය නදීශා චන්ද්‍රසේන වෙත සිය ශුභාශිංසන එක් කළ අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

යුධගනාව රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර අවසන් වෙයි

බුතතල යුධගනාව ⁣රාජ මහා විහාරයේ 2025 වර්ෂයේ ඇසළ මහා පෙරහර ඊයේ (19) අවසන් විය.

අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අරම්භ කෙරිණ. සධාතුක කරඩුව, වාසනා හස්තියා මත තැන්පත් කිරීමෙන් අනතුරුව මොනරාගල දිස්ත්‍රීක් ලේකම් පසන් රතනායක මහතා විසින් යුධගනාව ඇසළ මහා පෙරහර මේ වර්ෂයේත් උත්කර්ෂවත්ව පැවැත් වූ බවට වන සන්නස් පත්‍රය ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, යුධගනාව රාජ මහා විහාරයේ විහාරාධිපති ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේට භාර දුන්නේය.

මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පැවසුවා ය.

යුධගනාව රාජ මහා විහාරය පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනා කමක් තිබෙන පුදබිමක්,

ඌව වෙල්ලස්සේ අතීත ශ්‍රී විභූතිය හා සංස්කෘතික දායාදයන් සුරක්ෂිත කිරීමටත්, ලෝකවාසී ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් ඇති කිරීමටත් වාර්ෂිකව පවතවන මෙම පෙරහැර මංගල්‍ය ඉතාම වැදගත්.

රාජාවලියේ සඳහන් රජවරුන් වන මහානාග, කාවන්තිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු, මහා විජයබාහු, නිස්සංකමල්ල, ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රජවරුන් මෙම පුදබිම සංවර්ධනය කිරීම සඳහා දායකත්වය සැපයු බව ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙනවා.

අතීතයේ රට එක්සේසත් කිරීමේ භාරදුර කාර්යයට යුධගනාව පුදබිමෙන් ලැබූ අතිවිශාල ශක්තිය හා ආශිර්වාදය සුවිශේෂයි. මේ ඓතිහාසික මහා දාගැබ ඒ බව ලොවට කියාපනවා. යුධගනාව වාර්ෂික ඇසළ පෙරහැර බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙන්නේ අන්න ඒ නිසයි.

අවසාන වශයෙන් ඓතිහාසික යුධගනාව රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර උඩරට, පහතරට, සබරගමු නැටුම්වලින් හා අලි ඇතුන් සහිත සංස්කෘතික අංග වලින් සමන්විතව පැවැත්වීම වෙනුවෙන් කැපවී කටයුතු කරන ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, යුධගනාව රාජමහා විහාරයේ විහාරාධිපති ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේටත්, සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටත් ස්තූතිය පුදකරනවා යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.

අස්ගිරි විහාර පාර්ශවයේ රත්නපුර දිසාවේ සංඝනායක අතිපූජ්‍ය, වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ත් 30ත් අතරට ගෙන ඒම අරමුණක් - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වැඩිකරන්න ඉදිරියේදී කටයුතු කරනවා

පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීම අරමුණක් බවත්, පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල දක්ශිණපාය ශ්‍රවණාගාරයේ ජුලි 19 දින පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමේ සිව්වන වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද කීය,

මම ප්‍රථමයෙන් ස්තුතිවනිත වෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඔබ ලබා දෙන සහයෝගයට. ඇත්ත වශයෙන්ම අපේ රජය බලයට පත්වෙන්න කලින් ඉඳන්ම සාකච්ඡා කළ, සැලසුම් කළ දෙයක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම.

රජයේ ප්‍රතිපත්ති අනුව යමින් විශේෂඥයින් සමග සාකච්ඡා කරලා, විවිධ අංශවල අදහස් ලබාගෙන මේ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කළේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂය මාලාව පමණක් නෙමෙයි, ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වැඩිකරන්න, අධ්‍යාපන පරිපාලන ව්‍යුහය නව ප්‍රතිසංස්කරණයට අදාලව ප්‍රතිසංස්කරණය කරන්න, සියලු දරුවන්ට සමාන හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන්න කටයුතු කරනවා.

මේක අපි පෞද්ගලික අවශ්‍යතාවකට කරන දෙයක් නෙමෙයි, ⁣රටේ අවශ්‍යතාව අවබෝධකරගෙන අපි ඉටු කළයතු වගකීමක් කියන හැඟීමෙන් කරන වැඩක්.

අවංක චේතනාවෙන් මේ පිලිබඳ අවබෝධයෙන් සමාජය තුළ යම් සංවාදයක් ඇති කරන පිරිසක් වගේම හරි අවබෝධයක් නැතුව විවේචනකරන පිරිසකුත් සිටිනවා. තවත් සමහර අය දේශපාලනිකව වාසි ගන්නත් විවේචනය කරනවා. අපි දන්නවා මේ ප්‍රතිසංස්කරණය සිදු කිරීම අභියෝගයක්, පහසු නැහැ. නමුත් නොකර ඉන්නත් බැහැ. ජනතාව මේ සියල්ල නිවැරදි කරන්න තමයි අපිට මනාපය පළ කළේ.

⁣නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ගුරු විද්‍යාලවල විෂය නිර්දේශ වසර 16කින් වෙනස් වෙලා නැහැ, ඒ සියල්ල වෙනස් වෙන්න ඕන. ගුරුවරුන්ට, අධ්‍යාපනඥයින්ට අඛණ්ඩ පුහුණුවක් ලබා දෙන්න ඕන. අගෝස්තු මාසේ ඉදලා පුහුණුකරුවන් පුහුණු කරමින් ගුරුපුහුණුව ලබා දෙන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා. යැයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය,

මෙහිදී අදහස් දැක් වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා,

වෘත්තීය අධ්‍යාපන ආයතන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමග ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් තිබෙනවා. මේ තුළින් අසමත් දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙනවා වෙනුවට දක්ෂතාවය, කුසලතාවය මත පදනම්ව පාසල් අධ්‍යාපනය තුලින් ම වෘත්තීය අධ්‍යාපනයට ගෞරවයෙන් යුතුව පිවිසෙන්න අවස්ථාවක් නිර්මාණය වෙනවා යැයි පැවසීය.

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති ඇතුළු මන්ත්‍රිවරුන්,අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ දකුණු පළාත් අධ්‍යාපන බලධාරින් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආර්ථික විද්‍යාව හෝ ව්‍යවසායකත්වය මූල්‍යමය වටිනාකම්වලින් ඔබ්බට ගොස් මනුෂ්‍යත්වය හා බද්ධ වන විෂයන් විය යුතුයි - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සමාජය වටිනාකම් ලබා දෙන්නේ මූල්‍යමය වටිනාකම්වලට පමණක් වුවද ආර්ථික විද්‍යාව හෝ ව්‍යවසායකත්වය මනුෂ්‍යයත්වය හා බද්ධ වන විෂයන් විය යුතු බවත්, සුරැකුම් ආර්ථිකය ඊට නිදසුනක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විෂයක් ලෙස අන්තර්ගත කර ඇති මුල්‍ය සාක්ෂරතාව සහ ව්‍යවසායකත්වය සඳහා මොඩියුල් සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (18) පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය සාක්ෂරතාවය සහ අනාගත ගමන් මඟ පිළිබඳව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්ඩාර අදහස් දැක් වූ අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා ක්‍රියාකාරකම් පිලිබඳව කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුතු අබේසේකර මහතා ද අදහස් දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද කීය.

මේ අපි කරන්න හදන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඔබ සියලු දෙනාගේ සහයෝගය, ආශිර්වාදය තියෙනවා කියන එක අපිට පැහැදිලියි. අධ්‍යාපන අමාත්‍යංශය හැටියට අපිට ඒක විශාල ශක්තියක්, මේ ප්‍රතිසංස්කරණය විෂය මාලාවක් වෙනස් කරනවට එහා ගිය විශාල වැඩක්.

අපිට අවශ්‍ය වෙන්නේ සියලු අංශයන්ගෙන් දියුණු සමාජයක් ගොඩනගන්න. ආර්ථික වශයෙන් පමණක් නෙමෙයි අධ්‍යාත්මික වශයෙනුත්, ගුණධර්මවලිනුත් දියුණුවිය යුතුයි. ධනය කියන්නේ මුදල් විතරක්ම නෙමෙයි.

ඒ අර්ථයෙන් ගත්තම අධ්‍යාපනය තුළ කරන්න හදන පරිවර්තනය අතිශයින්ම වැදගත්.

අද සමාජයේ අපි දකින මේ හොරකම්, දූෂණ, වංචා සිදුකරලා තියෙන්නේ විෂය ගැන දැනුමක් නැති අය නෙමෙයි, හොඳටම දන්න අය තමා මේක කරන්නේ. ඒක නිසා තමයි ඒ ගැන හොයන්න මෙච්චර අමාරු වෙලා තියෙන්නේ. ඒ නිසා මූල්‍ය සාක්ෂරතාව, ව්‍යවසායකත්වයත් මේ සියල්ලම අපි ඉගෙන ගන්න ඕනේ මානුෂීය ගුණධර්ම සමඟ දියුණු ශිෂ්ඨාචාරයක් හැටියටයි. පරිසරයට ආදරය කරන, සමාජයට ආදරය කරන එකිනෙකා ගැන සහ කම්පනයක් තියෙන ව්‍යවසායකයන් අපිට අවශ්‍යයයි.

මූල්‍ය වටිනාකම් සහිත වැඩවල පමණක් කාන්තාවන් යෙදුණහොත් සමාජය මොන තත්වයකට පත්වෙයිද යන්න සිතා බලන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

මූල්‍ය සාක්ෂරතාව පාසල් අධ්‍යාපනයට ඇතුලත් කිරීම ඉතාම වැදගත් ඒ පිලිබඳ නිසි අවබෝධයක් නොමැති කමින් බොහෝ දෙනා පිරමීඩ වැනි මුල්‍ය වංචාවලට හසු වෙනවා. ඒ නිසා මුල්‍ය සාක්ෂරතාව පිලිබඳ හොද අවබෝධයක් ජනතාව තුළ තිබිය යුතුයි. මුල්‍ය වංචා සිදු කරන්නේ මූල්‍ය පිලිබඳ ඉහළ සාක්ෂරතාවයක් තියන පිරිසයි. විෂය පිලිබඳ දැනුම වගේම ගුණධර්ම වලින් සමාජය සන්නද්ධ කිරීමෙන් මේ තත්වය පාලනය කරගන්න පුලුවන්. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව, අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු ආයතන නියෝජනය කරන නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සත්‍ය තොරතුරු සමාජගත කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ සිදුකරන සංවාද, යෝජනා චෝදනා ඉතා වැදගත් - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සත්‍ය තොරතුරු සමාජගත කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සිදුකරන සංවාද, යෝජනා චෝදනා ඉතා වැදගත් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන සියලු දෙනාම විශාල අවධානයකින් ඉන්නවා කියලා සමාජය තුළ ඇතිවෙලා තියෙන සංවාදය තුළින් පැහැදිළි වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශාල පිපාසයක් ජනතාව තුළ තිබිලා තියෙනවා. ඒ නිසා තමයි සියලු දෙනාම විවිධ අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන්නේ. ඒක හොද තත්වයක් ඒ හරහා තමයි අපිට හොඳම තැනට යන්න පුළුවන් වෙන්නේ.

අපි රජයක් හැටියට ප්‍රතිපත්ති හදන තැන ඉඳන්ම අධ්‍යාපනයට විශාල අවධානයක් දෙන පොරොන්දුවත් එක්ක තමයි අපි වැඩ කළේ. ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අපේ දේශපාලන වේදිකාව තුළත් අපි කියලා තිබෙනවා. මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. සියලු දෙනාම පෙනී හිටියේ මේ රටේ සංවර්ධන ඉලක්ක සඳහායි නමුත් සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීම විතරක් නෙමෙයි මේ සමාජය තුළ සිදු විය යුතු වෙන්නේ. අධ්‍යාපනය තුළත් දැවැන්ත පරිවර්තනයක් සිදුවිය යුතුයි. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ පටු දැනුම දෙන පොතකට, එක විෂයකට, විෂය ධාරාවකට සීමා වෙච්ච පුද්ගලික ගමනක් ගැන විතරක් හිතන පුද්ගලයෙක් බිහි කිරීම නෙමෙයි. අපි මේ නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඊට වඩා පුළුල් මනසක් තියෙන නිදහස් චින්තනයක් ඇති, ලෝකය දිහා පුළුල් ලෙස බලන්න පුළුවන් නායකත්වයක දෙන්න පුළුවන මිනිසෙක්.

විෂය නිර්දේශය ගැන විතරක් හිතලා කරන වෙනසක් නෙවෙයි මේ ප්‍රතිසංස්කරණය.ඒක ව්‍යුහාත්මක වෙනස දක්වා කුළුණු පහක් තුළ මේක සකස් කරලා තියෙන්නේ. මූලික ප්‍රශ්න කිසිවක් හඳුනා ගන්නේ නැතුව ජනප්‍රිය තීරණ ගැනීමෙන් අධ්‍යාපනය මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ.

නව ප්‍රතිසංස්කරනයෙන් සිදු වන ප්‍රධානම වෙනස වැඩ ලෝකයට ඇතුල්වෙන්න පුළුවන් විදියට දරුවන් තුළ නිපුණතා සංවර්ධනය කරන එක. අපි දහවෙනි ශ්‍රේණියේ සිටම එය හදුන්වා දෙනවා. සමහරු මේ ප්‍රතිසංස්කරණය වැරදි තැනකින් අල්ලගන විවිධ චෝදනා කරනවා අසත්‍ය ප්‍රචාර කරනවා. හරියට අධ්‍යයනය කරලා මේ ගැන විවේචනය කරන්න යෝජනා ඉදිරිපත් කරන්න සංවාද ගොඩ නගන්න ඒකට අපි එකඟයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු දෙනා නව ප්‍රතිසංස්කරණය අවබෝධ කරගෙන හරි දේ ජනතාව අතරට ගෙනියන්න. දරුවන් වෙනුවෙන් මේ ඓතිහාසික කටයුත්තට සහයෝගය ලබා දෙන්න. බෙදිලා මේක කරන්න බැහැ අපි සියලු දෙනා එකතු වෙන්න ඕන.

දරුවන් වෙනුවෙන් නව ප්‍රතිසංස්කරණය ක්‍රියාවට නැංවිමට සියලු දෙනා තුළ සංවාදයක් ඇති වීම වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසීය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූස්ෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුනආරච්චි, සංජීව රණසිංහ, රුවන් මාපලගම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර යන මහත්වරුන් ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය, සෞන්දර්ය හා වෘත්තීය විෂයන් හැදෑරීම අනිවාර්යයි - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත සමග දේශපාලනය ගාවලා අසත්‍ය ප්‍රචාර කරන්න එපා

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

නව අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩ පිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා. මේ විෂයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගනනාවක් සාකච්ඡා කරලා. සෑම දරුවෙක්ටම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ. අපි දේශපාලනය කරමු නමුත් අධ්‍යාපනය සහ දරුවන් ⁣ඒකට ගාව ගන්න එපා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ එකි විෂයන් හදාරන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ දැනුවත් වන සියලු දෙනා සත්‍ය තත්වය සමාජයට ගෙනියන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූස්ෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුනආරච්චි, සංජීව රණසිංහ, රුවන් මාපලගම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර යන මහත්වරුන් ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය