අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

​දිස්ත්‍රික්ක 25 ක කාර්මික විද්‍යාල නවීකරණයට පියවර

වෘත්තීය අධ්‍යාපනය ඉහළ නංවන්න අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

​ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් දිස්ත්‍රික්ක 25 තුළ පිහිටි කාර්මික විද්‍යාල 25 ක් නවීන ලෝකයට ගැලපෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

​අද (06) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය විය.

​මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

හුදෙක් වෘත්තීය දැනුම ලබා දීමට පමණක් සීමා නොවී, තරුණ ප්‍රජාවගේ මානසික සුවය සහ සුභසාධනය කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කළ යුතුයි.

ඒ යටතේ ​නවීන මට්ටමේ නේවාසිකාගාර, ආපනශාලා සහ සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම විනෝදාත්මක සහ සෞන්දර්යාත්මක අත්දැකීම් ලැබිය හැකි ලෙසත්, මානසික නිදහස ලැබෙන ලෙසත් අභ්‍යන්තර හා බාහිර පරිශ්‍ර අලංකාර කිරීම, සෙසු අධ්‍යාපන ආයතනවලින් වෙන්ව හඳුනාගත හැකි පරිදි සෑම කාර්මික විද්‍යාලයකටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනැගීම කියන අංශ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කිරීම අවශ්‍යයි.

​මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේ රටේ සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත දියුණු කිරීම සඳහා කාර්මික විද්‍යාල 23 ක සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කළ හැකි බවයි. මෙම ඉදිකිරීම් සහ නවීකරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය සහ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

​මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

හදිසි නීතිය භාවිත කර මාධ්‍ය හෝ කිසිඳු පාර්ශවයක් මර්දනය කිරීමට රජය කටයුතු කරන්නේ නෑ... - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැරදි අර්ථකථනයන්ට ලක් කරන්න එපා…

හදිසි නීතිය භාවිත කර මාධ්‍ය හෝ කිසිඳු පාර්ශවයක් මර්දනය කිරීමට රජය කිසි ලෙසකත් කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙබරවාරි 06 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා ය.

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශ කිරීම පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පවසන ලදී.

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මේ රටට වූ හානිය, මේ රටේ ජනතාවට වූ හානිය සියලු දෙනා හොඳින් දන්න කාරණයක්. අපි බලාපොරොත්තු නොවූ අන්දමට අපේ රටේ යටිතල පහසුකම් වන පාරවල්, ඒ වගේම පාලම් වලට කොතරම් හානියක් වුණාද කියන එක පිළිබඳව නැවත නැවත අවධාරණය කළ යුතු නැහැ. පාසල් ගණනාවක් , නිවාස ගණනාවක්. අපිට තියෙනවා නැවත ගොඩනැගීමට සහ තිබෙන ස්ථාන වලින් ඉවත් කිරීමට. ඒ වගේම මෙතෙක් ඉතිහාසයේ නොවූ අපි දැකපු නැති තරමේ නායයෑම් සිදු වෙලා තියෙනවා. මේ වනවිටත් 1300 ක් පමණ නායයෑම් පිළිබඳ NBRO වාර්තා ලැබි තිබෙනවා.

ඉතින් ඒ තත්වයන් තුළ ගරු සභාපතිතුමියනි, අපට සිදු වී තියෙනවා මේ සඳහා ඉක්මන් මැදිහත් වීමක් කරමින් . ඒ මැදිහත්වීම සඳහා සම්පත් බලමුලු ගන්වන්නට. මානව සම්පත වගේම අවශ්‍ය වන ඒ ද්‍රව්‍යමය අවශ්‍යතාවයන්, මේ සියල්ලම අපිට ඉතාමත් ඉක්මනින් බලමුලු ගන්වමින් ක්‍රියාත්මක කරන්නට මෙන්ම යළි යථා තත්ත්වයට ගෙන ඒමට වගේම මේ සිදු වූ හානිය අවම කිරීමට ගතයුතු පියවර ගැනීම සඳහාත් අපිට විශාල වැඩ කොටසක් පැවරිලා තියෙනවා.

මෙම හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඔන්න ඔය තත්වය මත පමණයි. අපට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට හැකි වීමත්, ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමත් තමයි මෙයින් අපි බලාපොරොත්තු වන්නේ. මේ ප්‍රධාන කරුණු දෙක සඳහා තමයි අපි මේ නීතිය පාවිච්චි කරන්නේ. ඇති වී තිබෙන තත්වය තුළ කළ යුතු දේ කාර්යක්ෂමව සහ ඉතාමත්ම වේගයෙන්, ජනතාවගේ ජීවිත යථා තත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය මත තමයි අපි මේ නීතිය තව මාසයක් දීර්ඝ කරන්නට ගරු පාර්ලිමේන්තුවට මෙය ඉදිරිපත් කරලා තියෙන්නේ. යනුවෙන් පැවසී ය.

එමෙන්ම පදනම් විරහිත තොරතුරු ප්‍රකාශ කිරීම පොදු විපක්ෂයේ පුරුද්දක් බවට පත්වී ඇති බවත් විපක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් හරහා ද එවැනි ප්‍රකාශ සිදුවීම කණගාටුවට කාරණයක් බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

මෙහිදී ත්‍රිකුණාමලයේ භික්ෂූන්ගේ සිදුවීම උදාහරණ ලෙස ඉදිරිපත් කරමින් එම සිදුවීමට අදාළව අත් අඩංගුවට ගැනීම් හදිසි නීතිය යටතේ සිදුකළ බවට විපක්ෂය ප්‍රකාශ කළද එම සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය නීතිය යටතේ බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය. හදිසි නීතිය යටතේ සිදු කළ හැකි දේ නොව රජය හදිසි නීතිය කුමක් වෙනුවෙන් පාවිච්චි කළේ ද යන කාරණය මෙම විවාදයේදී සාකච්ඡාවට ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය කියා සිටියා ය.

රජය කිසි ලෙසකත් හදිසි නීතිය අවභාවිතා කරමින් මාධ්‍ය හෝ කිසිදු මහජන විරෝධතාවයක් මර්දනය කිරීමට කටයුතු කොකළ අතර රජය මැදිහත්වීමෙන් එවැනි මර්දනය වීම් සිදු කර ඇත්නම් එම සිදුවීම් නිශ්චිතව ගෙනහැර දක්වන ලෙස අග්‍රාමාත්‍යවරිය පැවසී ය.

එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව විපෂයේ ප්‍රකාශ පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී සහ ඇතිවූ අර්බුද හමුවේ රජය විසින් වගකිව යුතු රජයක් ලෙස මැදිහත්වීම් සිදු කර ඇති අවස්ථාවේ දී විපක්ෂය ඒ පිළිබඳව ව්‍යාකූල තත්වයක් සමාජගත කිරීමට උත්සාහයක යෙදෙමින් ගෙන යන දෙබිඩි ප්‍රතිපත්තිය ප්‍රශ්න කළ යුතු බව කියා සිටියා ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හය ශ්‍රේණිය මොඩියුලවලට එහා ගිය ක්‍රියාවලියක් බැවින් මෙම ප්‍රතිසංස්කරණ කිසි ලෙසකත් වැරදි ලෙස අර්ථකථනයන්ට ලක් නොකරන ලෙස අග්‍රාමාත්‍යවරිය විපක්ෂයට පැවසී ය. ප්‍රතිසංස්කරණ වලට අදාළව කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වැඩකටයුතු එලෙසම ක්‍රියාත්මක බවත් ප්‍රතිසංස්කරණ අත්හිටුවීමක් කිසිසේත්ම සිදු නොවන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීමේ කටයුතුවල මාස දෙකක කාලයක් තුළ ප්‍රගතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

ඒ අනුව පෙබරවාරි 02වැනි දා ට අදාළව දරුවන් වෙනුවෙන් ලබා දුන් දෙන රුපියල් 15,000 දීමනාව මේ වන 72%ක් සඳහා ද, මරණ වන්දි ලබාදීම් 50% ක් සඳහා ද, රුපියල් 50,000 දීමනාව 77% ක් සඳහා සහ රුපියල් 25,000 දීමනාව 98% ක් සඳහා ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

උපරිමාධිකරණයේ තීන්දු තීරණ රටේ යුක්තිය පිළිබිඹු කරන කැඩපතක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​උපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබා දෙන තීන්දු තීරණ, මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මැනවින් පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

​චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධිකරණ සංකීර්ණය අධිකරණ කටයුතු සඳහා යළි ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

​මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය සහ චීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.

එහිදී උපරිමාධිකරණයේ මුල් පෙනුම සහ ව්‍යුහය ආරක්ෂා කරමින්, නවීන තාක්ෂණයෙන් යුතුව නව පුද්ගල, සත් පුද්ගල, පංච පුද්ගල සහ ත්‍රි පුද්ගල විනිශ්චයාසන සහිත නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා 07ක්. විනිසුරුතුමන්ලා සඳහා නව නිල කාමර 20ක් සහ කාර්ය මණ්ඩල පහසුකම්. විදුලි සෝපාන, නවීන පුස්තකාලයක්, නඩු වාර්තා කාමරයක් සහ ශ්‍රවණාගාරයක්,සියලු ස්ථාන ආවරණය වන පරිදි ස්වයංක්‍රීය කැමරා පද්ධතියකින් යුත් අති නවීන පාලක මැදිරියක් ඇතුළු නවීන පහසුකම් සහිතව උපරිමාධිකරණ සංකීරණය ප්‍රතිසංස්කරණය කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

1988 වසරේදී චීන රජයේ සහයෝගයෙන් ඉදිවූ මෙම සංකීර්ණය, දශක තුනකට පසු කාලීන අවශ්‍යතා මත මෙලෙස නවීකරණය කිරීම අතිශය වැදගත් පියවරක්.

​අධිකරණ යටිතල පහසුකම් සඳහා කරන ආයෝජනය යනු සැබවින්ම මහජන විශ්වාසය වෙනුවෙන් කරන ආයෝජනයක්. සුරක්ෂිත සහ කාර්යක්ෂම පරිසරයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය තවදුරටත් ශක්තිමත් වෙනවා,

​චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු චීන රජය ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළ අග්‍රාමිත්‍යතුමිය යුක්තිය සැමට සමානව ඉටුවනු ඇතැයි යන මහජන අපේක්ෂාව ඉටු කිරීමට මෙම නවීන පහසුකම් පිටුවහලක් වනු ඇතැයි ද විශ්වාසය පළ කළාය.

​​මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අගවිනිසුරු පද්මන් සූරසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොං (Qi Zhenhong), නීතිපති පරින්ද රණසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුජරාට් ආණ්ඩුකාරවරයා අගමැතිනිය හමුවෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට ප්‍රදර්ශනය කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර Acharya Devvrat මහතා සහ ගුජරාට් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති Harsh Sanghvi ඇතුළු පිරිසක් පෙබරවාරි 05 දින පාර්ලිමේන්තු සංකීරණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම්වලින් සොයා ගත් බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර, පසුගියදා සිදුවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකරදී තිබේ.

ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව පෙබරවාරි 05 වැනිදා සිට පෙබරවාරි 11 වනදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන අතර එම කටයුතු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණ.

මේ අතර පෙබරවාරි 04 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රථම මල් වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව සර්වඥ ධාතු වන්දනාව නිළ වශයෙන් ආරම්භ කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සර්වඥ ධාතු වන්දනාව සඳහා එක්වූවාය.

මෙම හමුවට ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශයේ සම ලේකම් Samar Nanda, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස් ආචාර්ය Satyanjal Pandey, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් Abhijit Halder, යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ස්මාට් පුවරු සඳහා පාසල් මට්ටමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නවත්වන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 ආරම්භ කරනවා.

නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්න හෝ ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨය වහන්න හෝ තීරණයක් ගෙන නැහැ

කටකතා මත පදනම්ව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්න එපා

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ස්මාට් පුවරු (Smart Board) අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසල් වෙත බෙදා දීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා පාසල් මට්ටමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නවත්වන ලෙසත්, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨය වසා දමන්න කිසිදු තීරණයක් ගෙන නැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

නිදහස් අධ්‍යාපනය විපකෂ නායකතුමාගේ ප්‍රතිපත්තිය නොවුනත් ඒ වෙනුවෙන් මේ අවස්ථාවේ හරි පෙනීසිටීම ගැන මම සතුටු වෙනවා. නමුත් මම ඉල්ලීමක් කරනවා සමාජ මාධ්‍ය හෝ වෙනත් කටකතා මත පාර්ලිමේන්තුවේ ප්‍රශ්න යොමු කරන්න එපා. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට හෝ ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨය වසා දමන්න කිසිදු තීරණයක් අපි අරගෙන නැහැ. වික්‍රමාරච්චි වෛද්‍ය පීඨය කිසිම විධිමත් භාවයකින් තොරව ආරම්බ කරලා විවිධ පාඨමාලා හදුන්වා දී තිබෙනවා. ඒ නිසා ඒ දරුවන් අසරණ තත්ත්වයට පත්වෙලා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු අපි සිදු කරමින් යනවා. ඒක දේශපාලන තීන්දුවක් නෙමෙයි. වික්‍රමාරච්චි වෛද්‍ය පීඨයේ ගැටළුව සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව මගින් ලබා දුන් වාර්තාවක් අනුවයි අපි කටයුතු කරන්නේ.

මේ වසරේ පාසල් පද්ධතියට අවශ්‍ය ස්මාර්ට් පුවරු බෙදා දෙන්න කටයුතු කරමින් යනවා කිසිම අයුරකින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන්න අවශය නැහැ එහෙම එකතු කරනවා නම් ඒක වහාම නවත්වන්න. මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා නියෝගයක් නිකුත් කර තිබෙනවා පාසල්වල මුදල් එකතු කරන්න එපා කියලා.

1-5 වසරට තොරතුරු තාක්ෂණය කියලා වෙනම විෂයක් ඉගැන්වීම සිදු කරන්නේ නැහැ. නමුත් ගෝලීය තාක්ෂණික ලෝකය සමග ඉදිරියට යන්න එක් එක් වයස් කාණ්ඩ වලට ගැලපෙන ලෙස තාක්ෂණික අවබෝධය ලබා දෙන්න විද්වත් උපදෙස් මත සංවාදයක් අපි ආරම්භ කර තිබෙනවා. ළමා ආරක්ෂණයත්, විද්වත් උපදෙස් සළකා බලා තමයි අපි තීරණය කරන්නේ. විෂයමාලා පිලිබඳ දේශපාලන තීන්දු ගන්නේ නැහැ. ඒ තීරණ ගන්නේ ඒ විෂය පිලිබඳ විද්වතුන් විසින්.

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉල්ලීම් සළකා බලා කැබිනට් අනුමැතිය මත අත්‍යවශ්‍ය පුරප්පාඩු වෙනුවෙන් අධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගැනීම අදාළ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මේවන විට කටයුතු කරමින් යනවා. ඒවගේම ගුරු සේවය පිහිටුවා වසර තිහක් ගත වුණත් ගුරු සේවයේ ගුණාත්මකභාවය සංවර්ධනය සඳහා තව දුරටත් ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. ගුරු සේවයේ උසස් වීම් සඳහා පැවති ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රායෝගික ගැටළු සහ බඳවා ගැනීම් සේවා ව්‍යවස්ථාව අනුව සිදු නොවීම යන කරුණු මත පැන නැගී ඇති ගැටළු සහඅනෙකුත් ගැටළු විසඳමින් ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න රජයේ අවධානය මේවන විට යොමු වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා විසින් ඇසූ ප්‍රශනයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය.

පාසල් දරුවන්ගේ මූළික අවශ්‍යතා සපුරාලීම සඳහා රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත විවිධ වැඩසටහන් හදුන්වා දී තියනවා. ඒ වගේම පාසල් පෙළපොත්, නිල ඇදුම් ලබා දීමටත්, සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය ලබා දෙන්නත් කටයුතු කර තිබෙනවා. ඊට අමතරව 6 -13 ශ්‍රේණිවල දැරියන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා මිළදී ගැනීමට අවශ්‍ය වවුචර්පත් ලබා දී තිබෙනවා. එසේම ප්‍රාථමික පාසල්වල දරුවන් සඳහා දිවා ආහාර ලබා දීමට කටයුතු කර තිබෙනවා. ශීෂ්‍යත්වය සමත් අස්වැසුම නොලබන දරුවන් සඳහා මූල්‍යාධාර ලබා දීමට කටයුතු කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය මෙය තවත් පුළුල් කරන්න අවශ්‍ය තොරතුරු රැස් කරමින් අදාළ කටයුතු කරගෙන යනවා.

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි මාසයේ 17 සිට 26 දක්වා පැවැත්මීට සූදානම් කර තිබෙනවා. මේ දින රාමසාන් උත්සවය පැවැත්වෙන දින වුවත් එය විභාගය පැවැත්වීමට බාධාවක් නොවන බව අදාළ අංශ විසින් දැනුම් දී තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස්පෙළ විභාගය සෑම වසරකම අගෝස්තු මාසයට පෙර පැවැත්වීමටත්, අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමටත් තීරණය කර තිබෙනවා. 2026 වසරේ සිටම අදාල විභාග කාල සටහන අනුව විභාග පවත්වන්න උත්සාහ කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතුයි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම අමතමින් අගමැතිනිය කියයි.

වසර සියයකට වඩා පැරණි මානසික සෞඛ්‍ය පනත යාවත්කාලීන කිරීමට පියවර

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි.

මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතු බවත්, මානසික සෞඛ්‍ය සේවාලාභින් දෙස සමාජය බලන ආකල්පය වෙනස් කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIMH) සියවස් සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙබරවාරි 03 දින එම විද්‍යායතන ශ්‍රවණාගාරයේදී මේ බව සඳහන් කළාය.

​උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය විසින් සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ ඡායාරූප ප්‍රදර්ශනය සහ මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය.

​සමරු උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ වසර සියයක් පුරා විද්‍යායතනය සිදු කළ කැපවීම අගය කරන අතරම, ඉදිරියේදී ප්‍රජා මානසික සෞඛ්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කළ යුතු බවයි.

​"මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය යනු හුදෙක් වෛද්‍ය ප්‍රතිකාරවලින් පමණක් සීමා කළ හැක්කක් නොවේ. බාහිර ක්ෂේත්‍ර ගණනාවක් ඒකාබද්ධ කරගනිමින් වඩාත් පුළුල් හා මානුෂීය ප්‍රතිකාර ක්‍රමවේදයක් අප ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය සේවා ලාභීන් දෙස සමාජය බලන වැරදි ආකල්ප වෙනස් කිරීමේ වගකීමක් අප සතුයි."

​රෝහල් කාර්ය මණ්ඩලය සිදු කරන සුවිශේෂී කැපකිරීම් අගය කළ අග්‍රාමාත්‍යවරිය, රෝගීන් කෙරෙහි වඩාත් සංවේදීව කටයුතු කිරීමේ වටිනාකම ද පෙන්වා දුන්නාය.

​මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජීමුණි මහතා සුවිශේෂී කරුණක් අනාවරණය කළේය. එනම්, වසර සියයකට වඩා පැරණි මෙරට මානසික සෞඛ්‍ය පනත වර්තමානයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.

​මූලික කෙටුම්පත දැනටමත් අදාළ ආයතන වෙත සහ කැබිනට් මණ්ඩලයටත්, පාර්ලිමේන්තුවටත් යොමු කර ඇති අතර ඉදිරියේදී මෙම පනත සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට ද නියමිතය.

නව පනත තුළින් නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද නීති පද්ධතියට ඇතුළත් කරමින් රෝගී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

​​මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන්, වෛද්‍යවරුන්, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය