අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කැනඩාවේ සංචාරයක.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිළ සංචාරයක් සඳහා කැනඩාව බලා පිටත්ව ගිය අතර 2025 ජුනි 24 වන දින වැන්කුවර් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වූවාය.

බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ රාජ්‍ය නියෝජිතයින්, පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලයේ නිලධාරීන් සහ ඔටාවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඇය උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.

බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සරේ හි පැවති "ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සන්ධ්‍යාවක්" යන විශේෂ හමුවට අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය සහභාගී විය. මෙම අවස්ථාවට කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් ආගමික නායකයින්, සහ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගී වූ අතර අග්‍රාමාත්‍යවරිය සමඟ අදහස් බෙදා ගැනීමට මෙය ඔවුන්ට වැදගත් අවස්ථාවක් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගි⁣යා ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවැත් වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.

එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුනි 23 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පිළිගත් අතර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) සමඟ ඵලදායී ලෙස සහ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට රජයේ කැපවීම පිළිබඳව සිහිපත් කළාය. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පරිවර්ථනය පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ ඇය, සියලු ප්‍රජාවන්ගෙන් ලැබුණු ඓතිහාසික ජනවරම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් පිළිබිඹු කරන බවද සඳහන් කළාය.

ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම සහ අවශ්‍ය සමාජ පරිවර්තනය මෙන්ම ආයතනික වෙනස්කම් සමඟ නීතිමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම යන ප්‍රධාන සාධක තුනක් කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. සමාජයීය, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ ආර්ථික අයිතිවාසිකම් ඇතුළුව මානව හිමිකම්වල සම්පූර්ණ ව්‍යුහමය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා රජය කැපවී ක්‍රියා කරන බව ඇය නැවත අවධාරණය කළාය. අතුරුදහන් වූවන් සඳහා වන කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) වැනි දේශීය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම මගින් මෙම ක්‍රියාවලිය සඳහා සහාය වන බවද ඇය අවධාරණය කළාය.

මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මැදිහත්වීම මහ කොමසාරිස්වරයා අගය කළ අතර මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ජාතික සංහිඳියාව ඉදිරියට ගෙන යාමේදී ද්විපාර්ශවික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද විශේෂයෙන් සඳහන් කලේය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් තවත් නිලධාරීන් පිරිසක්ද සහභාගී විය. ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දකුණු ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාරවරිය සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්.

දකුණු ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර Frances Adamson AC මහත්මිය ජුනි 22 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ආණ්ඩුකාරවරිය පිළිගනිමින්, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර, විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිලිබඳ විශේෂයෙන් සිහිපත් කළාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෘත්තීය පුහුණුව සහ ආයතනික හවුල්කාරිත්වය මෙන්ම ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෑත කාලීන ආර්ථික හා දේශපාලන අභියෝග හමුවේ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලන ක්‍රියාමාර්ග කෙරෙහි රජයේ ප්‍රමුඛතාවය ලබාදී ඇති ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය නියෝජිත පිරිසට පැහැදිලි කළාය. උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීම, වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ඇතුළු අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇය මෙහිදී විස්තර කළාය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ ජ්‍යෙෂ්ඨ ඕස්ට්‍රේලියානු නිලධාරීන් පිරිසක්ද මෙම රැස්වීමට එක්ව සිටියහ. ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අප ක්‍රීඩාව තෝරගතයුත්තේ එහි ගුණාංග ජීවිතයට එකතුකරගැනීමට මිස, ජයග්‍රහණය පමණක්ම ඉලක්ක කරගෙන නොවේ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය

අප ක්‍රීඩාව තෝරගතයුත්තේ එකමුතුකම ඇතුළු ක්‍රිඩාවේ විශිෂ්ට ගුණාංග අප තුළ වර්ධනය කරගැනීමට මිස, ජයග්‍රහණයම පමණක් ඉලක්ක කර නොගෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පැවසුවාය.

සුගතදාස ක්‍රීඩාංගණයේදී ජුනි 22 දින පැවැත්වුණු පාසල් ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ, 50 වන පාසල් වාර්ෂික ජල ක්‍රීඩා තරගාවලියේ සාමාප්ති උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙහි දී අග්‍රාමාත්‍යවරිය කාණ්ඩ කිහිපයක පිහිනුම් සහ කිමිදුම් තරගයන්හි ජය සංකේත පිරිනැමීම සිදුකළ අතර, සමස්ත බාලක පිහිනුම් ශූරතාවය අඛණ්ඩව 20 වසරක් තිස්සේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය ද, සමස්ත බාලිකා ශූරතාවය කොළඹ කාන්තා විද්‍යාලය ද , සමස්ත මිශ්‍ර පාසල් ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් ද දිනා ගන්නා ලදී.

එමෙන්ම කිමිදුම් අංශයේ සමස්ත බාලිකා ශූරතාවය කොළඹ බිෂොප් විද්‍යාලයීය කණ්ඩායම විසින් ද, බාලක ශූරතාවය කොළඹ රාජකීය විද්‍යාලය විසින්ද දිනාගනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරිය,

“අපි ක්‍රීඩාවේදී ජය මෙන්ම පරාජයත් එකසේ විඳ දරාගත යුතු යි. ඒක අපි මුලින්ම අපේ දරුවන්ට පුරුදු කරන්න ඕන.

අධ්‍යාපනය පීඩාවක් වෙලා තියෙන කාලයකත් ක්‍රීඩාව නිසා නායකත්වය, කණ්ඩායම් හැඟීම වගේම දරාගැනීම වැනි ඉතා වැදගත් ගුණාංග වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා.

අද දවසේ මේ දක්ෂතා දැකලා මම පුදුමයට පත්වුණා. ඇත්තටම මට හරිම සතුටුයි අපේ රටේ දරුවන්ගේ දක්ෂතා ඉතා දියුණු මට්ටමක තියෙනවා.

ඉතිහාසයේ සිටම ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වෙලා තියෙනවා. මම ඒ බවත් මේ අවස්ථාවේ ස්තූති පූර්වකව මතක් කරන්න කැමතියි. අද මා ඉදිරියේ මේ ඉන්න ඔබටත් එසේ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා.” යැයි ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, පාසල් ජල ක්‍රීඩා සංගමයේ සාමාජික සාමාජිකාවන්, විදුහල්පතිවරුන් සහ නෙස්ට්ලේ ලංකා පුද්ගලික සමාගමේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සියලු පාසල් ආවරණය වන පරිදි සම්පත් බෙදීයාම සහතික කරන්න ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වාදිය යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හදුන්වා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අමාත්‍ය මණ්ඩල තීරණයකින් පත් කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පරිවර්තනය (6-13 ශ්‍රේණි) සඳහා වන කාර්ය සාධක බලකාය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර ජුනි 20 වන දින පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ජාතික සහ පළාත් පාසල් දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදුකළ යුතුයි.

ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස හය තුළ ඉගෙනුම් පරතරය අවම කර ගැනීම සඳහා පවතින සම්පත් උපයෝගී කර ගනිමින් ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා.

මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධාන අරමුණු අතර ආබාධිත ප්‍රජාව සහ සියලු පාසල් සඳහා සමාන ලෙස පහසුකම් බෙදා හැරීම සහතික කිරීමත් ඇතුලත් වෙනවා. ඒ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බලකායක් අපිට අවශ්‍යයි යනුවෙන් අග්‍රාමාත්‍යවරිය පැවසීය.

කාර්ය සාධක බළකායේ නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි මෙහිදී ප්‍රදානය කළ අතර සභාපති ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද ලේකම් ලෙස අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ.බී.එම්. අෂ්රාෆ් මහතා පත්කර තිබේ.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, නලින් හේවගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙ⁣නෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ධනපාල යන මහත්වරුන් සහ කාර්ය සාධක බළකායේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය