අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ජාතික ප්‍රගතිය අත්කර ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයන් සහ කැපවීම හරහායි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

දැනුමෙන්, කුසලතාවයෙන් සහ හැකියාවෙන් පිරිපුන් සමාජයක් ගොඩනැඟීම සඳහා උසස් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතුයි.

ජාතික ප්‍රගතිය අත්කර ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයන් සහ කැපවීම තුළින් බවත් දැනුමෙන්, කුසලතාවයෙන් සහ හැකියාවෙන් පිරිපුන් සමාජයක් ගොඩනැඟීම සඳහා උසස් අධ්‍යාපනය දියුණු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය.

ජුනි 27 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ (Institution of Incorporated Engineers, Sri Lanka - IIESL) 48 වැනි වාර්ෂික සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.

ලොව පුරා විහිදෙන ඉංජිනේරු වෘත්තිකයන් වන Chartered Engineers, Incorporated Engineers සහ Engineering Technicians යන වෘත්තිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තීය ප්‍රගතිය ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනය ස්ථාපිත කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ නව සාමාජිකයින් වෙත සාමාජිකත්ව සහතික ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු කෙරිණි.

අනතුරුව සභාව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය, ඉංජිනේරු වෘත්තිකයන් ජාතික සංවර්ධනය සඳහා ඉටු කරන මෙහෙවර අගය කළ යුතු බවත්, ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනය ක්‍රියාත්මක කරන වැඩසටහන් සහ මුලපිරීම් එහි සාමාජිකයින්ගේ වෘත්තීය දියුණුවට ශක්තියක් වෙමින්, රටේ ඉදිරි ගමනට අර්ථවත් දායකත්වයක් ලබා දෙන බවත් සඳහන් කළා ය.

තවද, කුසලතා මෙන්ම වෘත්තීය හැකියාවන් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් සමඟ සැසදෙන නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය ආර්ථික පරිසරයක් තුළ ඇතැම් සුදුසුකම් සඳහා පවතින සීමිත පිළිගැනීම හේතුවෙන් බොහෝ දක්ෂ වෘත්තිකයන්ගේ රැකියා සහ වෘත්තීය ප්‍රගති අවස්ථා සීමා වී ඇති බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළ අතර එම අභියෝගවලට විසඳුම් ලබාදීම පුද්ගලික වෘත්තීය දියුණුවට පමණක් නොව, ශ්‍රී ලංකාව තුළ ඉංජිනේරු ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර තරගකාරිත්වය වැඩි කිරීම සඳහා ද අත්‍යවශ්‍ය බව ද අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් සඳහන් කළාය.

එම ඉලක්කයන් සපුරා ගැනීමේදී අධ්‍යාපනය සඳහා රජයේ කැපවීම අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ජාතික ප්‍රමුඛතාවක් බවත්, සිසුන්ට දැනුම පුළුල් කර ගැනීමටත්, කුසලතා වර්ධනය කර ගැනීමටත්, රටේ අනාගත සංවර්ධනයට ඵලදායී ලෙස දායක වීමටත් අවස්ථාව සලසන අධ්‍යාපනික පද්ධතියක් ගොඩනැඟීමට රජය කැපවී සිටින බවත් ප්‍රකාශ කළාය.

ඒ සඳහා රජය සහ අධ්‍යාපනික ආයතන, වෘත්තීය ආයතන, කර්මාන්ත ක්ෂේත්‍රය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර සංවාද සහ සහයෝගීතාවයන් ශක්තිමත් කරගත යුතු බවත්, ජාතික ප්‍රගතිය කරා යන ගමන සාමූහික උත්සාහයකින් සහ පොදු කැපවීමක් හරහා කළ හැක්කක් වන බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ සභාපති ඉංජිනේරු එම්. පී. ආනන්ද ගුණවර්ධන මහතා, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. එම්. ජී. ප්‍රසන්න ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති ඉංජිනේරු ආචාර්ය තිලක් ද සිල්වා මහතා, ආයතනයේ සභිකයින්, හිටපු සභාපතිවරුන්, නව සාමාජිකයින් සහ විශේෂ ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය ජූනි 26 දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සැසි හරහා ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක අත්හදාබැලීම්, රෝග වැළැක්වීම සහ සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරීම පිලිබඳ අවධානය යොමු විය.

මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් රන් පදක්කම්ලාභී වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පර්යේෂකයන් සහ ශිෂ්‍යත්වලාභීන් ඇගයීමටලක් වූ අතර එම ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ නවෝත්පාදන මූලික කරගත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බිහිකිරීම සඳහා අධ්‍යාපනය ආයතනවල කැපවීම පිළිබිඹු කරන බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

දශක නවයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ කාර්යභාරය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, දැනුම ප්‍රවර්ධනය කිරීම සහ වෘත්තීය ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ දීර්ඝකාලීන මෙහෙවර පැසසුමට ලක් කළාය.

මහජන සෞඛ්‍යය යනු රෝහල්වලට පමණක් සීමා වූවක් නොවන බවත්, යහපත් සෞඛ්‍යයක් ආරම්භ වන්නේ රෝග වළක්වා ගැනීමට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකින් බවත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.

“මුඛ සෞඛ්‍යය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක අත්‍යවශ්‍ය අංගයක්. නිරෝගී සිනහවක් යනු ශක්තිමත් දත් තිබීම පමණක් නොවේ. එය යහපත් පෝෂණය, දරුවෙකුගේ ඉගෙනීමේ හැකියාව, වැඩිහිටියෙකුගේ වැඩ කිරීමේ හැකියාව මෙන්ම සෑම පුද්ගලයෙකුගේම සමස්ත යහපැවැත්ම සහ ගෞරවය සමඟ සෘජුවම සම්බන්ධ වනවා,” යනුවෙන් ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

දැනට බිලියන 3.5කට ආසන්න පිරිසක් මුඛ රෝගවලින් පීඩා විඳිනවා. ශ්‍රී ලංකාව තුළ ද දරුවන් අතර දන්ත රෝග, වැඩිහිටියන් අතර විදුරුමස් ආශ්‍රිත රෝග මෙන්ම දුම්කොළ භාවිතය, මුඛ පිළිකා අභියෝග බවට පත් වෙලා තිබෙනවා.

බෝ නොවන රෝග ව්‍යාප්තිය අවම කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතියක් ශක්තිමත් කිරීම සඳහා රජය දැඩි ලෙස කැපවී සිටින බව අග්‍රාමාත්‍යතුමිය යළි අවධාරණය කළාය. පාසල් දන්ත සෞඛ්‍ය සේවා සහ ප්‍රජා මූලික සෞඛ්‍ය වැඩසටහන් ඇතුළු සාර්ථක වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බව ද අග්‍රාමාත්‍යතුමිය තවදුරටත් සඳහන් කළාය.

එමෙන්ම, නවීන තාක්ෂණය යොදා ගැනීම, දේශීය පර්යේෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර භාවිතයන් මෙරට අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස යොදා ගනිමින් රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වන ලෙස අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.

දන්ත වෛද්‍ය වෘත්තිය තුළ ලැබෙන කාන්තා දායකත්වය අගයකළ අග්‍රාමාත්‍යතුමිය, විශේෂඥ පුහුණුව, පර්යේෂණ, නායකත්වය සහ තීරණ ගැනීමේ ක්ෂේත්‍රවල සමාන අවස්ථා ද සහතික විය යුතු බවද පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා ඇතුළු දන්ත වෛද්‍යවරුන්, පර්යේෂකයන් සහ විද්වතුන් රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සමාජයට නිවැරදි මඟ පෙන්වන, ජාතික සමගිය ඇතිකරන ස්ථාන බවට ආගමික ස්ථාන පත් කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන්න රජයක් ලෙස අප සූදානම් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විහාරස්ථාන ඇතුළු සියලු ආගමික ස්ථාන ආගමික කටයුතු පමණක් නොව, සාරධර්ම වර්ධනය කරන, සමාජයට නිවැරදි මඟ පෙන්වන, ජාතික සමගිය ඇතිකරන ස්ථාන බවට පත්කිරීමට අවශ්‍යකරන ඕනෑම සහයෝගයක් ලබාදීම සදහා රජය සූදානම් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

වාද්දුව පොහොද්දරමුල්ල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික මහිගර්ජනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය සහ නව සංඝාවාසය විවෘත කිරීමේ මහෝත්සවට සහභාගී වෙමින් අද (26) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශකර සිටියාය.

කොත නිරාවරණයට පෙර වැඩමවා සිටි ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක සිංගප්පූරුව මැලේසියාව බෝධිරාජ මධ්‍යස්ථානයන්හි අධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු නායක හිමිපානන් වහන්සේලා බැහැ දුටු අග්‍රාමාත්‍යතුමිය, පාරිසරික පාරිශුද්ධත්වය සහ දරුවන්ගේ සදාචාරාත්මකභාවය වර්ධනය ඇතුළු පාසල් තුළ සිදුකරන ඩෙංගු මර්දන වැඩසටහන් පිළිබඳව නායක ස්වාමීන් වහන්සේලා සමඟ අදහස් හුවමාරු කරගත්තාය.

අනතුරුව එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ කාර්යයට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය, චෛත්‍යරාජයානන් වෙත ප්‍රථම පුෂ්පෝපහාරය ද සිදු කළාය.

අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පවසා සිටියාය

මෙම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත පළඳවන්නටත්, අලුත් සංඝාවාසය මහා සංඝරත්නය වෙත පූජා කරන්නටත් සංවිධානය කර තිබෙන මේ උතුම් පින්කමට එකතු වෙන්න ලැබීම මම ලැබූ ලොකු භාග්‍යයක් ලෙස සලකනවා. මෙය විහාරස්ථානයේ ඉදිරි ගමනට අලුත් පියවරක් තැබීමක්.

අතීතයේ වටිනාකම් ආරක්ෂා කරගෙන, අනාගත පරපුරට ශක්තිමත් උරුමයක් බාරදෙන වැදගත් අවස්ථාවක්.

ආගමික ස්ථාන දියුණු කරනවා කියන්නේ ගඩොලින් වැලිවලින් ගොඩනැගිලි හදන එක විතරක් නෙවෙයි. ඒක මිනිසුන්ගේ හදවත් එකට යා කරන, හොඳ සාරධර්ම ආයෙමත් පණගන්වන පරිසරයක් නිර්මාණය කිරීමක්. ඒ වගකීම අප හැමෝගෙම වගකීමක්.

සමාජය සහ පන්සල අතර විශාල බැඳීමක් තිබෙනවා. ඒක සමාජ පැවැත්ම හා සදාචාරය සමඟ එකට බැඳුණු දෙයක්.

අද තාක්ෂණයේ දියුණුවත්, මිනිසුන්ගේ කාර්යබහුල ජීවිතයත් සමඟ ඒ බැඳීම අඩුවෙලා කියලා දැන් අපට දැනෙන්න පුළුවන්. නමුත් අපට දුකක් දැනුනු විට, ප්‍රශ්නයක් ආවම අපට මුලින්ම මතක් වෙන්නේ අපේ ආගම. ඒක අපේ ආධ්‍යාත්මය තුළ තිබෙන දෙයක්.රටක් දියුණු වෙන්නේ ආර්ථිකයෙන් විතරක් නෙවෙයි.

මිනිසුන්ගේ සිතිවිලි යහපත් වෙලා, සදාචාරය ශක්තිමත් වුණු දවසටයි රටක සැබෑ පුනරුදයක් ඇතිවෙන්නේ. ඒ ගමනට අපේ ගරුතර මහා සංඝරත්නයත්, මේ වගේ විහාරස්ථානත් ලබාදෙන පූර්ණ දායකත්වය මම මේ වෙලාවේ ගෞරවයෙන් අගය කරනවා.

එමෙන්ම, මෙරට පැවති පැරණි බෞද්ධ දැනුම් පද්ධතිය හා බැඳුණු සංස්කෘතිය සම්බන්ධව සොයාබැලීම සඳහා අනුරාධපුර, තිස්සමහාරාමය සහ යාපහුව වැනි ප්‍රදේශවල කැනීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද ඇය පවසා සිටියාය

මෙම අවස්ථාව සඳහා මල්වතු මහා විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොරොස්දූව වජ්‍රකෝත් මහා විහාරාධිපති සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, යටවර ධර්ම වර්ධනාරාමාධිපති මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පයාගල ප්‍රාදේශීය සංඝ සභාවේ උපාධ්‍යාය පරිත්ත භාණක පූජ්‍ය යටවර ඤාණසිරි ස්වාමීන් වහන්සේ, නෑහින්න ශ්‍රී විශුද්ධාරාමාධිපති විනය විශාරද පරිත්ත භාණක පූජ්‍ය බටදූවේ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ සහ වාද්දුව පොහොද්දරමුල්ල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික මහිගර්ජනාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිවෙන් අධිපති ස්වාමීන් වහන්සේලා සහ මහා සංඝරත්නය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, දායක දායිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

UNICEF නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

ළමුන්ට එරෙහි හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත ආචාර්ය Najat Maalla M’jid මහත්මිය ඇතුළු UNICEF නියෝජිත පිරිස 2026 ජූනි 25 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම, මෙන්ම දරුවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු කෙරිණි.

මෙහිදී අග්‍රාමාත්‍යතුමිය UNICEF සංවිධානය විසින් ඩිට්වා සුළි කුණාටු ආපදා තත්වය හමුවේ ලබාදුන් සහාය මෙන්ම අධ්‍යාපන හා පූර්ව ළමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දරුවන්ට එරෙහිව සිදුවන හිංසනය වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම අරමුණු කරගත් වැඩසටහන් සඳහා ලබාදෙන සහයෝගය පැසසුමට ලක් කළාය.

ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබුණද, එම ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අභියෝගයක් බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළාය.

ළමා ආරක්ෂණ සම්බන්ධයෙන් මෙම ක්ෂේත්‍රයේ ආයතනික ධාරිතාව සහ මානව සම්පත් සම්බන්ධ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ළමා ආරක්ෂණය සම්බන්ධ වගකීම් දරන ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.

ළමා ආරක්ෂණ සේවා සැපයීමේදී අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර හරහා ඉටු කරන කාර්යභාරය පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය විශේෂයෙන් අවධාරණය කළාය.

ළමා ආරක්ෂණ පද්ධතිවල පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීම සඳහා අදාළ සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව UNICEF නියෝජිත පිරිස අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු කළ අතර විශේෂයෙන්ම, දරුවන්ට සිදුවන හිංසන සහ අපයෝජන වාර්තා කිරීමටත් අවශ්‍ය සහාය ලබාගැනීමටත් පැහැදිලි හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි යාන්ත්‍රණයක් ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ළමා ආරක්ෂණය තහවුරු කිරීමේදී උපදේශන සේවා, අවදානම් තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම, අපයෝජන හෝ හිංසනයට ලක් වූ බවට ලක්ෂණ හඳුනාගැනීම, සවන් දීම සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම Dr. Najat Maalla M’jid මහත්මිය මෙහිදී පෙන්වා දුන් අතර දරුවන්ට එරෙහිව අන්තර්ජාලය හරහා සිදුවන හිංසනය සහ අපයෝජන වැළැක්වීමේ අවශ්‍යතාව මෙන්ම ඩිජිටල් පරිසරයන් තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ළමුන්ට එරෙහි හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත ආචාර්ය Najat Maalla M’jid, UNICEF ශ්‍රී ලංකා නියෝජිත Emma Brigham , ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche යන මහත්ම මහතමීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් හා නිලධාරීන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ලංකා වාණිජ මණ්ඩල නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි.

ලංකා වාණිජ මණ්ඩලයේ (The Ceylon Chamber of Commerce) නියෝජිත පිරිසක් සහ  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (ජුනි 24) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. 

​2026 ඔක්තෝබර් මස 12 සහ 13 දෙදින  පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව (SLEIS 2026)” සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර ඩිජිටල්කරණය සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් සඳහා ඩිජිටල් තාක්ෂණය හදුන්වා දීම සහ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සහ කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සිදුවන පරිවර්තනීය කාර්යභාරය පිලිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 

දේශීය හා විදේශීය ආයෝජන දිරිගැන්වීම මෙන්ම රටේ ඉදිරි ආර්ථික ප්‍රතිපත්ති හැඩගැස්වීම සඳහා මෙම සමුළුව ඉතා වැදගත් වනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් මෙහිදී ⁣පැවසීය. 

මෙම අවස්ථාවට ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති විනෝද් හිරදරාමානි, මහලේකම් සහ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු, නියෝජ්‍ය මහලේකම් / ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඇලිකි පෙරේරා  සහ ආර්ථික බුද්ධි අංශයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අනගි රොද්‍රිගූ-වීරසේකර යන මහත්ම මහතමීන් ඇතුළුපිරිසක්  සහභාගී වූහ. 

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ළමයින්ගේ ආරක්ෂාව යනු එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොවේ, සියලු සංවර්ධන, පාලන සහ සමාජ රාමු තුළ ඇතුළත් ජාතික ප්‍රමුඛතාවයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සෑම දරුවෙකුටම ආරක්ෂිත වටපිටාවක අධ්‍යාපනය ලබමින්, තම හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමක්

දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුවේ (South Asia Ministerial Conference on Ending Violence against Children (EVAC) සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජුනි 23 දින කොළඹදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම අදහස් පළ කළා ය.

ජුනි 23 සහ 24 දෙදින පුරා පැවැත්වෙන මෙම කලාපීය සමුළුව හරහා දකුණු ආසියාව තුළ ළමුන්ට එරෙහිව සිදුවන හිංසනය තුරන් කිරීම සඳහා දේශපාලනික පසුබිම ශක්තිමත් කිරීම, මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය (SAARC) විසින්, දකුණු ආසියාව සඳහා වන යුනිසෙෆ් කලාපීය කාර්යාලය (UNICEF ROSA), ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු සහ නැගෙනහිර මධ්‍යධරණී කලාපීය කාර්යාලය (WHO SEARO/EMRO), සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් විශේෂ නියෝජිත කාර්යාලය (OSRSG-VAC) සමඟ එක්ව සංවිධානය කරන මෙම සමුළුව කලාපයේ අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ සංවර්ධන හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන් සිදු වන අතර වැරදි සමාජ සම්මත, ළමා විවාහ, ළමා ශ්‍රමය සූරාකෑම, දත්ත විෂමතා, සම්පත් සීමා සහ සමාජ මාධ්‍ය ඇතුළු නව තාක්ෂණික මෙවලම් හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය, අපයෝජනය සහ සූරාකෑම වැනි නැගී එන අභියෝගවලට විසඳුම් සෙවීම කෙරෙහි ද අවධානය යොමු කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය රටින් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ව්‍යුහාත්මක ප්‍රවේශයකට පිවිස ඇති බවත් ළමා ආරක්ෂාව හුදෙක් එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොව, රටේ පුළුල් සංවර්ධන, යහපාලන සහ සමාජ සාධාරණතා න්‍යාය පත්‍රය තුළ අන්තර්ගත ජාතික ප්‍රමුඛතාවයක් වන බවත් අවධාරණය කළාය.

රටේ අධ්‍යාපන පද්ධතිය දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දෙනා ස්ථානයකට පමණක් සීමා නොවී ළමායාගේ ආරක්ෂාව සහතික කරන සුවිශේෂී ස්ථානයක් වන බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

අධ්‍යාපන පද්ධතිය ළමුන් බලගන්වන සුවිශේෂී පරිසරයක් නිර්මාණය කරනවා. පාසල් යනු ඉගෙනුම් ඉගැන්වීම් සඳහා සීමා වූ ස්ථාන පමණක් නොවේ, හානිකර තත්ත්වයන් කල්තියා හඳුනා ගනිමින්, මනෝසමාජීය සහාය ලබාදෙමින් දරුවන්ගේ ආරක්ෂාව සඳහා කැපවෙන වැදගත් ස්ථාන වනවා. උපදේශන සේවා සහ ආරක්ෂණ ක්‍රියාමාර්ග ඇතුළු පාසල් මට්ටමේ ළමා ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට අපි කැපවී සිටිනවා.

ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේදී කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ළමා ආරක්ෂාව සම්බන්ධ අභියෝග ජාතික සීමාවන් ඉක්මවා යන බැවින් ඒවාට විසඳුම් සෙවීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ කලාපීය රටවල් අතර අඛණ්ඩ සහයෝගීතාව අත්‍යවශ්‍ය වන බව සඳහන් කළාය.

මෙම අවස්ථාවට සාක් සංවිධානයේ මහලේකම් Md. Golam Sarwar, ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත Emma Brigham, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ විශේෂ නියෝජිත Najat Maalla M’jid, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නාමල් සුදර්ශන (පා.ම.) යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ දේශීය හා ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය