අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

භූතානය, කසකස්තානය, ජෝර්දානය, උස්බෙකිස්තානය සහ එරිත්‍රියාව යන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර රාජ්‍යතාන්ත්‍රික හමුවක්

ශ්‍රී ලංකාවේ භූතාන තානාපති Dasho Karma Hamu Dorjee (ඩකා), කසකස්තාන් ජනරජයේ තානාපති, Sergey Viktorov (කොළඹ), ජෝර්දානයේ තානාපති Yousef Mustafa Abdelghani (නවදිල්ලිය), ශ්‍රී ලංකාවේ එරිත්‍රියා ප්‍රාන්තයේ තානාපති, Alem Woldemariam (නව දිල්ලිය), සහ ශ්‍රී ලංකාවේ උස්බෙකිස්තාන් තානාපති Alisher Tukhtaev (ඉස්ලාමාබාද්) සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර රාජ්‍ය තාන්ත්‍රික හමුවක් ජූලි 25 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා රජයේ දායකත්වය මෙහිදී පිළිබිඹු කෙරිණි.

අග්‍රාමාත්‍යවරිය විසින් සියලු තානාපතිවරුන් පිළිගත් අතර රටවල් අතර පවතින අන්‍යෝන්‍ය අවශ්‍යතා, පාලනය සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් සඳහා සහය දැක්වීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

රෙදිපිළි නිෂ්පාදනය, අධ්‍යාපනය, සංස්කෘතික හුවමාරුව, අපනයන, සෞඛ්‍ය සේවා සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම යන ක්ෂේත්‍ර කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ අධ්‍යක්ෂ රුවිනි මුණදාස මහත්මිය සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම මූලික කර ගනිමින් "ජාතික කර්මාන්ත සැලසුම් බුද්ධි මණ්ඩලයක්" ස්ථාපිත කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම මූලික කර ගනිමින් "ජාතික කර්මාන්ත සැලසුම් බුද්ධි මණ්ඩලයක්" ස්ථාපිත කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරන බවත් එමගින් ලංකාවේ ව්‍යාපාර නඟා සිටුවන්න අවශ්‍ය තාක්ෂණික, විද්‍යාත්මක සහ අනෙකුත් උපදෙස් ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජුලි 25 දින පැවති ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 40 වන සංවත්සර සැමරුමට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙහිදී සංවත්සර උළෙලට සමගාමීව දින තුනක් පුරා විවෘතව පවතින ව්‍යවසාය නිපැයුම් සහිත වෙළඳ කුටි හා අන්තර්ජාල බැංකු පහසුකම "RDB Quick App" අන්තර්ජාල පරිශීලකයන්ට විවෘත කිරීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය.

සංවත්සරයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන සමරු මුද්දරයක් අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්වීම ද සිදුවිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"ග්‍රාමී ආර්ථිකය නඟා සිටුවන්න කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ලබා දෙන සහයෝගය ඉතා අගය කොට සැලකිය යුතුය. ව්‍යවසායක හැකියාවන් උපතින්ම පිහිටා ඇති නමුත් ඒවා වැඩිදියුණු කර ගැනීමට මූල්‍ය ශක්තියක් නොමැති ග්‍රාමීය ජනතාවට වඩාත් සමීප වෙමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය, තාක්ෂණික උපදෙස් සහ අලෙවිකරන දැනුම නිසි ලෙස ලබාදෙමින් ඔවුන්ව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ඔබ දක්වන සහයෝගය ඉතාම වටිනවා.

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" කියන අපගේ තේමාව යථාර්ථයක් කරමින් ජාතික ආර්ථිකය ගම් මට්ටමින් නඟා සිටුවීමට වැඩි වශයෙන් දායක වන බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියලා හැඳින්වුවොත් මම නිවැරදියි.

මට මෙතනට ආපු වෙලාවේ දැනගන්න ලැබුණා, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වැඩිම ගනුදෙනුකරුවන් වගේම බැංකු කාර්යය මණ්ඩලයත් බොහොමයක් කාන්තාවන් බව. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල යෙදෙන්නේ බොහොමයක් අපේ රටේ කාන්තාවන්. ඔවුන්ට ඔබ ආයතනයෙන් විශාල ශක්තියක් ලබා දෙනවා.

ඒ වගේම මේ ලබා දෙන සහයෝගය ඉදිරියටත් ලබාදෙමින් අපේ රටේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිය නඟා සිටුවන්න අප රජයට සහාය ලබා දෙන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය..

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ඩී.එම්.ටී.එස් කුමාර මහතා ඇතුළු එම බැංකුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

තුර්කි ජනරජයේ ජාතික අධ්‍යාපන අමාත්‍ය H.E. Yusuf TEKIN මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ජූලි 24) පාර්ලිමේන්තුවේදී හමුවිය.

අමාත්‍යවරයා පිළිගත් අග්‍රාමාත්‍යවරිය ආර්ථිකය, ගෝලීය වෙලඳාම සහ අධ්‍යාපන යන අංශ සඳහා ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය සිහිපත් කළා ය. එමෙන්ම තුර්කි රජය විසින් ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන යෝජනා පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.

දෙරටේ අධ්‍යාපනය, ගෝලීය වෙළඳාම, සැපයුම්, බලශක්ති, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

තුර්කි ජාතික අධ්‍යාපන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරිය සමඟ ඵලදායී සංවාදයක නිරත වීමට ලැබීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර, විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට තුර්කියේ කැපවීම නැවත අවධාරණය කළේ ය. සාමය සහ මානව ගුණධර්ම ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ අවශ්‍යතාවය ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

තුර්කි දූත පිරිස නියෝජනය කරමින්, තුර්කි ජනරජයේ තානාපති H.E. Semih Lütfü TURGUT මහතා, ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයේ යුරෝපා සංගම් සහ විදේශ සබඳතා අධ්‍යක්ෂ ජනරාල් nal ERYILMAZ මහතා මෙම හමුවට සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ද මෙම හමුවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මනින්න පුරුදු වෙලා තියෙනවා. ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි අපි මේ මොඩියුල ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ ක්‍රමය තුළින් දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි අපේ අරමුණ. - අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මැනීමට පුරුදු වී ඇති බවත් , ඒ ක්‍රමය වෙනස් කිරීමට මොඩියුල ක්‍රමය හඳුන්වා දී ඇති බවත් , ඒ ක්‍රමය තුළින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තම රජයේ අරමුණ බවත්, අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජුලි 23 දින බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සියලු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් දැනුවත් කිරීම අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අශෝක ද සිල්වා මහතා විසින් සිදු කරන ලදී.

එහිදී, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරිය,

" අපි පුරුදු වෙලා තියෙන්නේ ගුරුවරු දෙමව්පියෝ වගේම ළමයිනුත් විභාගෙකට සූදානම් වෙන අධ්‍යාපන ක්‍රමයකටයි. නමුත් මේ මොඩියුල ක්‍රමයේදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ළමයි ඉගෙන ගැනීමට යොමුවන අතරෙම, ඇගැයීමටත් ලක්වෙනවා.

නව විෂය නිර්දේශය අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක කිරීමට නියමිත 2029 වර්ෂයේ දීය. 2026 සිට මෙය අපි ක්‍රියාත්මක කරන්නේ 1 ශ්‍රේණිය සහ 6 වෙනි ශ්‍රේණියට පමණයි. අපිට මේ ක්‍රමය නිරීක්‍ෂණය කරන්න අවුරුදු 03ක් තියෙනවා. එහිදී මුහුණ දෙන්න වෙන තත්ත්වයන් සහ අවශ්‍යතා එක්ක අපිට පුළුවන් මේ ක්‍රමයේ අවශ්‍ය වෙනස්කම් කරන්න. අපි කොහෙදිවත් කියලා නෑ මේ ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ අවසානාත්මකයි කියලා. අවස්ථානුකූලව එය වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබටත් ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.

පන්ති කාමරය තුළ ළමයින් 25 - 30 දක්වා අඩු කරන්න අවශ්‍යයි. දැනට පන්ති කාමරයක ළමයි 40 ඉක්මවලා ඉන්න පන්ති කාමරත් තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ නියමිත සිසුන් ගණනට වඩා සිසුන් ප්‍රමාණයක් පාසලට ඇතුළත් කරගන්න කියන අධ්‍යාපන ඇමති සහ ලේකම්ගේ නිර්දේශ මත සිදුවන ඇතුළත් කිරීම් නිසා. ඒ ක්‍රමය අපේ රජය යටතේ සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී පාසල්වලට ඇතුළත් වෙන්නේ ඒ අදාළ නියමිත සිසුන් ප්‍රමාණය පමණයි.

ඒ වගේම පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න අපි තාම තීරණයක් අරගෙන නැහැ. එහෙම කරන්න නම් පාසල් අතර තියෙන විෂමතාවය නැති කරන්න ඕනේ. ඒක අපිට එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන්ට ඇති වී තිබෙන, පීඩාකාරී අධ්‍යාපන ක්‍රමයේ බර අඩු කරන්න තමයි අපි මේ ප්‍රතිසංස්කරණ වලදි බලාපොරොත්තු වෙන්නේ.

පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ එම ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳ පූර්ණ නිරීක්ෂණය අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු කිරීමටත් මෙම ප්‍රතිසංස්කරණ යටතේ අපි යෝජනා කරලා තියෙනවා. " යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා,

"ගුරු පුහුණුව පිළිබඳව අපි විශේෂ අවධානයක් මෙහිදී යොමු කරලා තියෙනවා. අපි ඉදිරිපත් කරලා තියෙන කුලුනු පහට ගුරු පුහුණුවත් ඇතුළත් වෙලා තියෙනවා. එළැඹෙන අගෝස්තු මාසයේ ගුරු පුහුණුව ආරම්භ කරන වැඩපිළිවෙළ මේ වන විටත් සකස් කරලා තියෙනවා. " යැයි පැවසීය.

මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් සහ අධ්‍යාපන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමු කිහිපයක්ම ඉදිරියේදී පැවැත්වීමට ද මේ වන විටත් කටයුතු යොදා තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමෙිදී දත්තවල සුරක්ෂිතභාවය, පෞද්ගලිකත්වය සහ සදාචාරාත්මක කරුණු සහතික කිරීමට නියාමන රාමුවක් අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ඩිජිටල තාක්ෂණය භාවිත කිරීමේදී දත්ත වල සුරක්ෂිතභාවය,පෞද්ගලිකත්වය සහ සදාචාරාත්මක කරුණු සහතික කරන නියාමන රාමුවක් අපවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

eMHIC ගෝලීය ඩිජිටල් මානසික සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික සහයෝගිතාව සමඟ පැවත්වූ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් 22දින අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවේදී අග්‍රාමිත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වන අභියෝග විසඳීම සඳහා නව්‍ය, තාක්ෂණික විසඳුම් ගවේෂණය කිරීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවා ය.

පුළුල් ඩිජිටල්කරණ සඳහා වන වැඩසටහනෙහි අංගයක් ලෙස, පවතින මානසික සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය විසඳුම් පිලිබඳ රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම නවෝත්පාදනය දිරිමත් කරමින් ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් කාර්යක්ෂමතාව, ආරක්ෂාව, දත්ත පෞද්ගලිකත්වය, සුරක්ෂිතභාවය සහ අනෙකුත් සදාචාරාත්මක කරුණු සහතික කිරීම සඳහා නියාමන රාමුවක් ඇති කිරීමත් අවශ්‍යයි.

මනා පුහුණුව ලත් මානසික සෞඛ්‍ය ශ්‍රම බලකායක් සහ ප්‍රජා මට්ටමේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන සම්බන්ධීකරණ, බහු ආංශික සහ බහුවිධ ක්‍රියාමාර්ගයත් මෙහිදී ඉතා වැදගත්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක ඩිජිටල්කරණය සම්බන්ධයෙන් දෙමාපියන් සහ දරුවන් අතර වන ඩිජිටල් සෞඛ්‍ය සහ දරුවන්ගේ මානසික යහපැවැත්ම පිළිබඳ අනවබෝධය යන අභියෝග ගණනාවක් පවතිනවා. ඒ පිලිබඳව අවබෝධයෙන් ඉදිරි කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

මෙම අවස්ථාවට කැනඩාවේ සෙනෙට් සභික Kathy Hay මහත්මිය, eMHIC (EEMICK) ජාත්‍යන්තර සහයෝගිතාවේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය Anil Thapliyal ඇතුළු eMHIC ජාත්‍යන්තර සහයෝගිතාවේ නියෝජිතයින්, රජයේ නිලධාරීන්, ශාස්ත්‍රඥයින් සහ වෘත්තීය ආයතනවල නියෝජිතයින්, ඩිජිටල් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණික විශේෂඥයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන අගමැතිනිය හමුවෙයි.

බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ "බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්" පිදුම් ලැබූ ආචාර්‍ය නදීශා චන්ද්‍රසේන ජුලි 21 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය හේතුවෙන් අවහිර වන විවෘත කාණු පද්ධති සඳහා විසඳුමක් ලෙස ආචාර්ය නදීශා විසින් නිමවන ලද ස්මාර්ට් කාණු පද්ධති සංකල්පය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති WIPO සම්මාන උළෙලේ දී රටවල් 95 ක් සහ ආයතන 780 ක් අතරින් ජයග්‍රහණයට පත් විය.

අග්‍රාමාත්‍යවරිය මෙහිදී ආචාර්ය නදීශා චන්ද්‍රසේන වෙත සිය ශුභාශිංසන එක් කළ අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය