අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා පෙබරවාරි 04 සිට 11 දක්වා ගංගාරාමයේදී මහජන වන්දනාවට.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම වන ගුජරාට් ප්‍රදේශයෙන් 60 දශකයේදී සොයා ගන්නා ලද, මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා මෙරට ජනතාවට වැඳපුදා ගැනීම සඳහා වැඩම කරවීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාගේ සභාපතිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනවාරි 31 දින මෙහි ඉදිරි සැලසුම් සම්බන්ධව විශේෂ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සාකච්ඡාවක් පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් වැඩම කරවන මෙම ධාතූන් වහන්සේලා, පෙබරවාරි 04 වනදා සිට 11 වනදා දක්වා පුරා දින හතක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කෙරේ.

බැතිමතුන් විශාල පිරිසකට වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසීම සඳහා දවසේ පැය 24 පුරාම ප්‍රදර්ශනය විවෘතව තැබෙන අතර, විදේශීය සංචාරකයන්, ගැබිණි මව්වරුන් සහ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතා පෝලිම් ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මෙම ආගමික මහෝත්සවයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ප්‍රවාහන, සනීපාරක්ෂක හා ආරක්ෂක පහසුකම් විධිමත් කිරීමට රජයේ සියලු ආයතන එක්ව සැලසුම් සකස් කර තිබේ. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සේවා එක්ව විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් දියත් කරනු ඇත.

ධාතු වන්දනාව සඳහා පෝලිම්වල රැඳී සිටින බැතිමතුන් වෙනුවෙන් දන්සැල් සහ සංග්‍රහ කටයුතු සංවිධානය කිරීමට දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීමට ද පියවර ගෙන ඇත.

කාලගුණික බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කරමින්, බැතිමතුන්ට අපහසුවකින් තොරව මෙම දුර්ලභ ශාරීරික ධාතු වන්දනාව සිදු කිරීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වන විටත් සම්පූර්ණ කර ඇත.

මෙම විශේෂ සාකචිජාවට ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයින්, ප්‍රාදේශීය මහජන නියෝජිතයින්, දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා ඇතළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

​“දුප්පත්කම නිසා කිසිදු දරුවෙකුට වෘත්තීය හෝ උසස් අධ්‍යාපන අයිතිය අහිමි නොවිය යුතුයි” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

​අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළේ 2026 ජනවාරි 29 සහ 30 යන දෙදින තුළ ග්‍රෑන්ඩ් මොනාක් පරිශ්‍රයේදී පැවැති, වෘත්තීය අධ්‍යාපන අංශයට අනුබද්ධ ආයතනවල අයවැය හා උපාය මාර්ගික සැලසුම්කරණය පිළිබඳ වැඩමුළුව අමතමිනි.

වෘත්තීය අධ්‍යාපන අංශයට අනුබද්ධ විශ්වවිද්‍යාල දෙකක් ඇතුළු ආයතන නවයක ප්‍රධානීන් සහ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

​ජාතික ආර්ථික සංවර්ධන සැලැස්මට අනුකූලව ප්‍රධාන ආයතනවල සංවර්ධන සැලසුම් සහ ඒවාට අනුයුක්ත සෙසු ආයතනවල සැලසුම් පෙළගැස්වීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

අධ්‍යාපන ආයතන මඟින් වෘත්තීය දැනුම සහිත පුද්ගලයින් බිහි කරනවා සේම, ඔවුන් තුළ මානව දයාව, සහකම්පනය, අන්‍යයන් කෙරෙහි දක්වන කරුණාව සහ සදාචාරාත්මක වටිනාකම් වර්ධනය කිරීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. මෙහි අරමුණ ​මානව දයාවෙන් පිරිපුන් වෘත්තිකයෙකු නිර්මාණය කිරීම බවත් සඳහන් කළාය.

විශේෂයෙන්ම, ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයට පිවිස තම අනාගතය ජය ගැනීමට ඇති මාවත් තවදුරටත් පුළුල් කිරීම රජයේ වගකීමක් බව ද මෙහිදී සඳහන් කළාය.

​AI විප්ලවය සහ වෘත්තීය අධ්‍යාපනයේ අනාගතය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය. කෘතිම බුද්ධිය (AI) නිසා ලෝකයේ රැකියා වෙළඳපොළ සහ වෘත්තීය ක්ෂේත්‍රයන්හි සිදුවන වෙනස්කම් පිළිබඳව තවමත් ලෝක මට්ටමින් නිසි අවබෝධයක් ගොඩනැගී නොමැති බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වෘත්තීය අධ්‍යාපන ධාරාව සාමාන්‍ය අධ්‍යාපන ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීම මෙකල අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

​"AI තාක්ෂණය හරහා සිදුවන විප්ලවය බොහෝ විට ලාභය මුල් කරගත් එකක්. අතීත කාර්මික විප්ලවයන්හිදී අප සූරාකෑමට ලක් වූවාක් මෙන්, මෙම විප්ලවය තුළ අප අතරමං නොවීමට වගබලා ගත යුතුයි. අප හුදු දත්ත සැපයුම් මධ්‍යස්ථානයක් (Data Center) පමණක් නොවිය යුතුයි," යනුවෙන් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

​කෙසේ වෙතත්, ඉගැන්වීම් කටයුතු මාර්ගගත (Online) ක්‍රමයට සිදු කළ හැකි වුවද, දරුවන් රැකබලා ගැනීම සහ සාත්තු සේවය වැනි මානුෂීය බැඳීම් සහිත වෘත්තීන් සඳහා තාක්ෂණයෙන් එල්ල වන බලපෑම අවම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෘදු කුසලතා (Soft Skills) සංවර්ධනය සහ මානවවාදී ප්‍රවේශයක වැදගත්කම පැහැදිලි කළාය.

​නම්‍යශීලී අධ්‍යාපන අවස්ථා සහ ගුණාත්මකභාවය

සිසුවෙකුට වෘත්තීය අධ්‍යාපනය ඔස්සේ ආචාර්ය උපාධිය දක්වා අඛණ්ඩව ගමන් කිරීමටත්, රැකියාවක නිරත වෙමින් නැවත අධ්‍යාපනයට පිවිසීමටත් (Lateral Entry) හැකි නම්‍යශීලී අවස්ථා නිර්මාණය විය යුතුය. එලෙස පද්ධතිය නම්‍යශීලී වන අතරම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළින්ම පවත්වා ගැනීම විශ්වසනීයත්වය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය බව ද මෙහිදී සාකච්ඡා විය.

​මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස, සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක, NIBM ආයතනයේ සභාපති ආචාර්ය ජී. තන්තිරිගම සහ අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.ඒ. කුලසූරිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රටේ අනාගතය සුරක්ෂිත වීමට ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​අපේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීම සඳහා විශාල කැපවීමකින් සහ උත්සාහයකින් කටයුතු කරමින් සිටින බවත්, එම ගමනේදී කුමන බාධා එල්ල වුවද නිසි ඉලක්කයක් සහ අරමුණක් ඇති බැවින් ඒ සියල්ල ජය ගනිමින් ඉදිරියටම යන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

​අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජික දූ පුතුන් වෙනුවෙන් අද (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වූ "EDCS සිසු නැණ ප්‍රණාම" ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය අමතමිනි.

​මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් සමිතිය (EDCS) මගින් සංවිධානය කරන මෙම වැඩසටහන හුදු ශිෂ්‍යාධාර පිරිනැමීමක් පමණක් නොව, රටේ අනාගතය භාර ගැනීමට සිටින සිසුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ කැපවීම ඇගයීමට ලක් කරන උතුම් අවස්ථාවක් බවයි.

1930 වසරේදී සාමාජිකයන් 58 දෙනෙකුගෙන් සහ රුපියලක සාමාජික ගාස්තුවකින් ආරම්භ වූ මෙම සමිතිය, අද වන විට සාමාජිකයන් දෙලක්ෂ පහළොස් දහසක් පමණ සිටින දකුණු ආසියාවේ විශාලතම සමුපකාරයක් බවට පත්ව තිබීම සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඇය පැවසුවාය.

​ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වන අයුරුත්, ආර්ථික හා පරිසර අර්බුද හමුවේ මානව සම්පත සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. පාසල් අධ්‍යාපනයේ සිටම අද ලෝකයට ගැළපෙන අයුරින් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කළ යුතු බවත්, විශ්වවිද්‍යාලවලට පිවිසෙන සිසුන් මෙම වෙනසේ නියමුවන් හා කොටස්කරුවන් විය යුතු බවත් ප්‍රකාශ කළාය.

වසරකට ප්‍රාථමික අධ්‍යාපනයට එක්වන ලක්ෂ තුනකට ආසන්න පිරිසෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 40,000ක් වැනි පිරිසක් බැවින්, එම සුවිශේෂී අවස්ථාව රටේ දියුණුව වෙනුවෙන් භාවිත කරන ලෙස අග්‍රාමාත්‍යවරිය සිසුන්ගෙන් ඉල්ලා සිටියාය.

​මෙම අවස්ථාවට එක් වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, දූෂණයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් මීට පෙර රුපියල් මිලියන 1200ක්ව තිබූ සමිතියේ මූල්‍ය ස්ථාවරත්වය මාස නවයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 1700 දක්වා වර්ධනය කිරීමට හැකි වූ බවයි.

​මෙවර වැඩසටහන යටතේ රජයේ විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ දරුවන් 2292ක් වෙනුවෙන් රුපියල් මිලියන 13.7කට අධික මුදලක් ශිෂ්‍යාධාර ලෙස පිරිනැමුණි.

1984 වසරේදී සිසුන් 15 දෙනෙකුගෙන් සහ රුපියල් 3500ක මුදලකින් ආරම්භ කළ මෙම වැඩසටහන වසර 41ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන එමින්, වර්තමානය වන විට එක් සිසුවෙකුට රුපියල් 75,000ක උපරිමයක් දක්වා ශිෂ්‍යාධාර පිරිනැමීම ගුරු පරපුරේ සාමූහික ශක්තිය විදහා දක්වන්නකි.

​මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සංකේතාත්මකව සිසුන් සඳහා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට අධ්‍යාපන සමුපකාර සමිතියේ සභාපති ලාල් කුමාර මහතා, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

01 ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹෙයි. - අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය

​“සියලු ගුණධර්මවලින් මෙන්ම සහකම්පනයෙන් ද පිරිපුන් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම අදින් ඇරඹෙනවා.”

​සියලු ගුණධර්මවලින් මෙන්ම සහකම්පනයෙන් ද පිරිපුන් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් සැපයෙන බවත්, සෑම දරුවෙකුටම පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ලබා දීමේ බැරෑරුම් වගකීම රජයක් ලෙස සතුටින් භාරගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​අතුරුගිරිය බප/ජය/ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ අද (29) පැවති, 2026 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ජාතික වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

එහිදී අග්‍රාමාත්‍යතුමිය සිසු සිසුවියන් සමඟ පාසල් භූමියේ මී පැළයක් රෝපණය කළ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නවීකරණය වූ පළමු ශ්‍රේණි පන්ති කාමර නිරීක්ෂණය කරමින් සිසු සිසුවියන් සමඟ සුහද කතාබහක ද නිරත වූවාය.

​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව, දිවයින පුරා පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමිය විසින් අතුරුගිරිය ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය ලේඛනයට සිසුන්ගේ නම් ඇතුළත් කරන ලදී. අනතුරුව එම සිසුන් වෙත පාසල් නිල ඇඳුම් සහ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් පොත් ලබා දීම ද සිදු කෙරිණි.

​මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද සඳහන් කළාය:

​“රටේ දරුවන් සතුටින් පාසල් එනු දැකීම සඳහා පොත් බෑගයේ බර අඩු කර, පීඩනයෙන් තොර ඉගෙනුම් වටපිටාවක් සැකසීම මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සුවිශේෂී ලක්ෂණයක්. ප්‍රියමනාප පාසල් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වූ ‘සිහින පාසල’ සංකල්පය යථාර්ථයක් කිරීමට අප කැපවී සිටිනවා. එසේම, 2026 වසරේ දී හයවන ශ්‍රේණියේ සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේ දී එම දරුවන්ට ලබා දීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා.”

​නව ප්‍රතිසංස්කරණ තුළින් තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය (STEM) යන විෂය ක්ෂේත්‍ර සඳහා පදනම ගොඩනැගීමත්, විද්‍යා මූලධර්ම මුල් කරගනිමින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත වීමත්, ඉංග්‍රීසි හා දෙවන භාෂාව ඉගැන්වීම සංවර්ධනය කිරීමත් ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වී තිබේ. දශක ගණනාවක් පුරා මෙරට පැවතියේ පොතේ පතේ දැනුමට පමණක් සීමා වූ තරගකාරී අධ්‍යාපන රටාවකි. එම ක්‍රමය තුළින් දරුවන් අධ්‍යාපනයෙන් ඈත් වීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, සෑම දරුවෙකුගේම අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමේ වගකීම රජය සතු බව අවධාරණය කළාය.

​ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටී. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදු විෂයමාලා වෙනසක් පමණක් නොව, සමස්ත අධ්‍යාපන පද්ධතියේම සිදුවන ‘පරිවර්තනීය වෙනසක්’ ලෙස හැඳින්විය හැක්කේ එබැවිනි.

​මෙම පරිවර්තනීය ක්‍රියාවලිය තුළ දරුවන්ගේ මානසික නිදහස සුරැකීමට වැඩි අවධානයක් යොමු කර ඇති අතර, සමබර පෞරුෂයකින් යුත් අනාගත පුරවැසියෙකු ලොවට දායාද කිරීම එහි මූලික අරමුණයි. අකුරු පමණක් නොව ජීවිතය පිළිබඳව ද දරුවන්ට කියා දෙන ගුරුවරුන්ගේ වෘත්තීයභාවය රැක ගැනීමටත්, ඔවුන්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීමටත් මෙම ප්‍රතිසංස්කරණ හරහා සැලසුම් සකස් කර ඇත.

​“දෙමාපියන්ගේ මුදල් පසුම්බිය මත දරුවාගේ අධ්‍යාපනය තීරණය වීමට අප කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම රජයක් ලෙස අප භාරගෙන ඇති බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා,” යැයි ද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.

​මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ, කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්, අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, අතුරුගිරිය ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනී නදීකා ධර්මදාස යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සුබ පැතුම් පණිවුඩය

ආදරණීය දුවේ පුතේ, දයාබර දෙමාපියනි,

පාසල් යන මුල් ම දවස ආදරණීය දූ දරුවන්ගේ ජීවිතයේ සුන්දර සිහිවටනයක් ලෙසින් සනිටුහන් වනු දැකීම අප පැතුමයි. ඒ අරමුණ මල්ඵල ගන්වනු වස් සතුටින්, විනෝදයෙන් හා අර්ථවත් ව පාසල් සමය නිදහසේ ගත කිරීමට හැකි වන පරිදි පාසල් පරිශ්‍රය හා ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායි කිරීමට අපි මහත් පරිශ්‍රමයක් දරන්නෙමු.

ඔබ ඔසවාගෙන ආ යුතු පොත් බෑගයේ බර අඩු කරන්නට අප උත්සුක වන්නේ, ඔබට ලබා ගැනීමට සලස්වන දැනුමේ හා ආකල්පවල මෙන් ම කුසලතාවන්ගේ කිසිදු අඩුවකින් තොර ව ඉතා පරිපූර්ණ ව හා ඉදිරි වැඩ ලෝකයට ගැළපෙන අයුරිනි.

දයාබර දෙමාපියනි, ඔබේ දරුවාට පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කර දීම අපේ අරමුණයි. කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් අපගේ විශ්වාසයයි. ඒ අනුව සෑම දරුවෙකුට ම සම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය සියලු කටයුතු රජයක් වශයෙන් ස්ථාපිත කිරීමේ වගකීම අප භාරගෙන තිබේ. අපගේ ඒ අවංක උත්සාහය මුදුන් පමුණුවාගැනීමට සියලු දෙනාගේ ඵලදායි අදහස්-උදහස් ඉතා වැදගත් කොට සලකමු.

නම්‍යශීලි සුහද පිළිවෙතකින් එම සාධනීය මඟ පෙන්වීම හා අදහස භාරගෙන දුවන-පනින හැදෙන- වැඩෙන ඔබේ දූ දරුවන්ගේ අත්දැකීම් වඩාත් ප්‍රායෝගික හා අරුත්බර කර ගනිමින් පන්ති කාමරයේ සතුටින් රඳවා ගැනීමේ වගකීම අප භාරගෙන තිබේ.

ආදරණීය දුවේ පුතේ, මව් ඇකයෙන් මිදී ගුරු දෙමාපියන් වෙත පා තබන ඔබගේ ඉදිරි අනාගතය සර්ව ප්‍රකාරයෙන් ම සාර්ථක වේවා’යි මම ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය හරිනි අමරසූරිය,
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය
2026 ජනවාරි 29

​2026-2030 මිනිස් ජාවාරම මැඩලීමේ සහ වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි.

​2026-2030 කාලසීමාව සඳහා වන මිනිස් ජාවාරම නිරීක්ෂණය කිරීම සහ වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ජනවාරි 28) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී සහභාගී වූවාය.

මෙම උත්සවය ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය (NAHTTF) සහ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) ඒකාබද්ධව සංවිධානය කර තිබිණි.

​ආරක්ෂක අමාත්‍යාංශයේ නායකත්වය සහ IOM හි තාක්ෂණික සහාය ඇතිව සකස් කරන ලද මෙම පස් අවුරුදු සැලැස්මෙහි ප්‍රධාන අරමුණ වන්නේ, ​මිනිස් ජාවාරම වැළැක්වීම, වින්දිතයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහාය වීම, ​නීතිය ක්‍රියාත්මක කිරීම සහ වගවීම සහතික කිරීම සඳහා ඒකාබද්ධ ජාතික රාමුවක් ස්ථාපිත කිරීමයි.

​මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, මිනිස් ජාවාරම මැඩලීමේ ජාතික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජය උපරිමයෙන් කැපවී සිටින බව අවධාරණය කළාය.

ජාත්‍යන්තරව පිළිගත් වැළැක්වීම (Prevention), ආරක්ෂාව (Protection), නඩු පැවරීම (Prosecution) සහ හවුල්කාරිත්වය (Partnership) යන ප්‍රධාන කුළුණු හතර පදනම් කරගනිමින් මෙම සැලැස්ම සකස් කර තිබීම කාලෝචිත බව ද සඳහන් කළාය.

​අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළාය:

​"ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම්වලින් දිවි ගලවා ගත් අයගේ ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ දිගුකාලීන යහපත සැලසෙන පරිපූර්ණ, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට සංවේදී ප්‍රවේශයක් අවශ්‍යයි. මීට සුරක්ෂිත නවාතැන්, වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක සහාය පමණක් නොව, විශේෂයෙන් ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනුවෙන් නීති සහාය, ආර්ථික බලගැන්වීම සහ කුසලතා සංවර්ධනය ද ඇතුළත් විය යුතුයි."

​මිනිස් ජාවාරම යනු හුදු අපරාධයකට වඩා බහු-ආංශික මැදිහත්වීමක් අවශ්‍ය වන ව්‍යුහාත්මක හා සමාජීය අභියෝගයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, සියලුම රජයේ ආයතන සිය දෛනික කටයුතුවලදී ජාවාරම් විරෝධී ප්‍රමුඛතා ඇතුළත් කරගනිමින් වෘත්තීය වගවීම සහතික කළ යුතු බව ද පැවසුවාය.

​මෙම අවස්ථාවට නීතිපති පාරින්ද රණසිංහ මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ NAHTTF සභාපති එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ IOM ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ (Kristin Parco) මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ ආයතන, සිවිල් සංවිධාන සහ රජයේ ආයතන 23ක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය