අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ආවේ සුළු ප්‍රමාණයයි. ඒවා මඟදී එක් එක් පුද්ගලයන්ගේ සාක්කු වලට ගියා. ඒ නිසයි නිසි ලෙස ගම සංවර්ධනය සිදු නොවුණේ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අනාගත පරපුර වෙනුවෙන්, යුද්ධයේ වේදනාව සහ ප්‍රචණ්ඩත්වයේ අත්දැකීම් නොලබන රටක් ගොඩනැගීමට එක්වෙමු.

ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බවත්, එම මුදල් මඟදී එක් එක් පුද්ගලයන්ගේ සාක්කු වලට වැටීම හේතුවෙන් ගමේ සංවර්ධනය නිසි අයුරින් සිදු නොවූ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මුලතිව් දිස්ත්‍රික්කයේ, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නට්ටන්කණ්ඩාල් පොදු වෙළඳ සංකීර්ණය අසල සහ මල්ලාවි ප්‍රදේශයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල පරිශ්‍රයේදී අප්‍රේල් 19 දින පැවති ජන හමු වලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පල කළාය.

මෙම ජනහමු අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"අපේ රටේ අවුරුදු 76 ක් තිස්සේ පැවති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ඔබ අපට 2024 වර්ෂයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නේ අප කෙරෙහි පවතින විශ්වාසය නිසා බව අපි හොඳින්ම දන්නවා. ඒ විශ්වාසය අපි රකිනවා කියලත් මේ මොහොතේ මම ඔබට කියන්න කැමතියි.

ඔබට ආසන්නතම රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හා එම රෝහලට ශල්‍යාගාරයක් නොමැති බවත් එමෙන්ම ශල්‍යාගාරයක් පවතින රෝහලකට 50km ක් පමණ දුරක් ගමන් කිරීමට සිදු වී ඇති බව මට මෙහි පැමිණි මොහොතේ දැනගන්න ලැබුණා. ඒ වගේම ප්‍රදේශයට අයත් පාසලේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න, ගුරුවරු නොමැති වීම නිසා විද්‍යා විෂය ධාරාව හැදෑරීමට දරුවන්ට 50km ක් දුර පවතින පාසලට යාමට සිදුවෙලා තියෙනවා කියලත් මට මට අහන්න ලැබුණා.

අපි දන්නවා ප්‍රදේශයේ ජනතාව පොදු ප්‍රවාහනය, දරුවන්ට අධ්‍යාපන පහසුකම් සහ විදුලිය වැනි පහසුකම් නිසි ලෙස නොමැතිකම නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයන් වෙනස් කරන්න අවශ්‍ය නිසා තමයි ඔබ අපිව තෝර ගත්තේ.සියලුම දරුවන්ට තමන්ගේ දක්ෂතාවය, කුසලතාවය අනුව තමන්ගෙ වෘත්තීය ජීවිතය තෝරගෙන දියුණු වෙලා ඉදිරියට යන්න අවස්ථාව හදන්න ඕනේ. ඒ කාර්යය අපේ රජය කෙසේ හෝ සිදු කරන බව මම ඔබට පොරොන්දු වෙනවා.

කලින් තිබූ දේශපාලන ක්‍රමය අනුව ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබෙනවිට 75%ක්ම එක් එක් පුද්ගලයන්ගේ සාක්කු වලට ගිහිල්ල තමා ඉතුරු කොටස ගමට ආවේ. ඒ ක්‍රමය නිසා තමා මේ වනතෙක් මේ ප්‍රදේශ සංවර්ධනය වීම සිදු වෙලා නැත්තේ" යැයි පැවසුවාය.

2025 වර්ෂයේ අයවැයෙන් ග්‍රාමීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා විශාල මුදලක් වැයකොට ඇති හෙයින් එම මුදල් වංචාවෙන් දුෂණයෙන් තොරව නිසි අයුරින් සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවිය හැකි කණ්ඩායමක් ප්‍රාදේශීය නායකත්වය සඳහා තෝරාගත යුතු බවත්, ජාතික ජන බලවේගයේ තම කණ්ඩායම ඒ සඳහා සුදුසුම කණ්ඩායම බව විශ්වාසයෙන් කිවහැකි බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

"මේ ප්‍රදේශවල යටිතල පහසුකම් විතරක් නොවෙයි මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. සමහර අයට මොකද වුණේ කියලා තවමත් පිළිතුරු ලැබිලා නෑ. මේ ප්‍රදේශයේ වගේම රටේ නොයෙක් තැන්වල අම්මලා දහස් ගණනක්, බිරින්දෑවරු දහස් ගණනක් තමන්ගෙ දරුවාට, සැමියාට, පවුලෙ සාමාජිකයන්ට වුණේ මොකක්ද කියලා උත්තර හොයමින් අවුරුදු ගණනාවක් වැලපෙනවා. ඒ පිළිතුරු සොයන්න අපි මැදිහත් වෙන බවටත්, නැවත එවැනි දේ සිදුවීම වළක්වන බවටත් අපි පොරොන්දු වෙනවා " යැයිද අග්‍රාමාත්‍යවරිය පිරිස අමතමින් පැවසීය.

සංස්කෘතික විවිධත්වයකින් විචිත්‍ර වූ රටක වැඩකරන ජනතාව වෙනුවෙන් කැපවෙන ජාතිවාදී නොවන, සැමට සාධාරණව හා සමානාත්මතාවයෙන් සැලකිය හැකි එකම වේදිකාව, එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවත්, 2024 වසරේ දී මෙරට ජනතාව ආරම්භ කරන ලද ඓතිහාසික පරිවර්තනීය ගමන 2025 වසරේ එළඹෙන මැතිවරණයේ දි තවත් පියවරක් තබමින් අනාගතය වෙනුවෙන් පිරිසිදු ප්‍රාදේශීය සභාවක් හා නගර සභාවක් ගොඩනැගීමට එකතුවෙමු යනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මෙයිල්වාගනම් ජෙගතීස්වරන්, එස් තිලගනාතන් යන මහත්වරුන්, තුනුක්කායි ප්‍රාදේශීය සභා අපේක්ෂක,කණ්ඩායම් නායක ගනේශපුල්ලේ මදනරාජ් මහතා ඇතුළු අපේක්ෂක කණ්ඩායම හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අපේ කැබිනට් එකේ සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රටට ජනතාවට බරක් නොවී වැඩ කරන්න පුළුවන් කියන එක ඔප්පු කරමින් යනවා. දූෂණය, වංචාව සහ නාස්තිය අපි නතර කරලා තියෙනවා. මට ඒක ගැන 100% විශ්වාසයෙන් කියන්න පුළුවන්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය

කොළොන්නාව පුල්මන් ග්‍රෑන්ඩ් උත්සව ශාලාවේ අප්‍රේල් 16 දින පැවති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරිය,

පළමුවෙන්ම මම කැමතියි ඔබ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් රට හදන්න රට ගොඩදාන්න අපි සියලු දෙනාටම වැඩ කරන්න තියෙනවා. ඒ සඳහාත් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

මං හිතුවා මේක පොඩි අවස්ථාවක් කරගන්න මේ පහුගිය මාස 06 තුළ ඔබ මේ පත් කරගත්තු ආණ්ඩුව, ඔබ ඒ බලාපොරොත්තු වුන පරිවර්තනය ගැන පොඩි සමාලෝචනයකුත් කිරීම අවශ්‍යයි කියල. මාස 06ක් කියන්නේ යම්කිසි කාලයක්. අතිවිශාල පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් විශාල පරිවර්තනයක් වෙනුවෙන් අපි එකතුවෙලා මේ වෙනස කරගත්තේ.

ඔබ දන්නවා රට භාර ගන්නකොට තිබ්බෙ කොතනද කියලා මොන වගේ තත්ත්වයකද කියල. ඔබ අපිව පත් කරේ මේ රටේ තත්ත්වය හොඳටම හඳුනාගෙන ඒ පැරණි දේශපාලන සංස්කෘතිය තුළ මේ රටට යන්න ගිය ගමනක් නැහැ කියලා කියන තීරණය එක්ක. ඒ දේවල් තුල අපිට මූලිකවම ප්‍රමුඛතාවය දෙන්න ඕන රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැම එකක්ම අපි ගොඩනගන්න ඕනේ නිවැරදි කරන්න ඕනේ හදන්න ඕන හරි මගට ගන්න ඕනේ. ඒ දාහක් දේවල් තුල අපිට මූලිකව ප්‍රමුඛතා දෙන්න ඕන ක්ෂේත්‍ර සහ ප්‍රශ්න ගොඩක් තියෙනවා.

මුලින්ම කළ යුතු දේවල් කිහිපය මඟහැරලා අපිට මොකුත් කරන්න බෑ. මූලික එක වුනේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම. ඒකෙ ප්‍රධානම හේතුව වුණේ ඔබ දන්නවා අපිට එරෙහිව ගිය ව්‍යාපාරය තුළ විශාල බියක් ඇති කරලා තිබ්බා ජනතාව තුළ මේ ආණ්ඩුව දින්නොත් ආර්ථිකය කඩා වැටෙනවා. අපේ ප්‍රතිවාදීන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වුණේ ඒක. ඒගොල්ලෝ විනාශකාරී කණ්ඩායමක්, රට පසුබස්සන කණ්ඩායමක් කියන එක තහවුරු කරන්න තමයි මතවාදය හැදුවේ. ඒක මේ රටේ ජනතාව පිළිගත්තේ නෑ. පිළිගත්තේ නැති නිසා නේ ආණ්ඩුව පත් වුණේ. නමුත් ව්‍යාපාර කරන පිරිස්, ජාත්‍යන්තර සංවිධාන තුළ රටවල් තුළ ඒ මතය ගැන යම්කිසි බයක් තිබ්බා. එතකොට ඒ බය සහ සැකය තුළ රට අස්ථාවර වෙන්න ඉඩ තිබ්බා. ඒ අස්ථාවරභාවය නැති කරලා රටට ස්ථාවරත්වය ගෙන දීම අපේ ප්‍රමුඛතාවය වුණා.

මේ වසරේ අපේ අරමුණ සංචාරකයින් මිලියන තුනක් ලංකාවට ගේන්න. ආයෝජකයන් දැන් එන්න පටන් අරගෙන තියෙන්නේ. විවිධ ව්‍යාපෘති දැන් රටට ගේන්න පටන් අරගෙන තියෙන්නේ. මම ළඟදී යුරෝපයේ සංචාරය කරනවිට අපෙන් අහන්නේ මෙහේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්නත්, ආයෝජකයන් හැටියට එන්නත්. ඔවුන් ව්‍යාපාර ආරම්භ කරන්න විශාල උනන්දුවක් දක්වමින් සිටිනවා. ඒ උනන්දුවට ප්‍රධාන හේතුව මේ රට තුළ මේ වෙලා තියෙන දේශපාලන වෙනස.

මේ ලෝකය තුළ සිද්ධවෙන දේවල් බලනකොට ඔබට පේනවා ඇති යුරෝපය, ඇමෙරිකාව හැම පැත්තෙන්ම ටිකක් නොසන්සුන් කාලයක්. දේශපාලනිකව අවුල් වෙච්ච කාලයක්. මෙවැනි තත්ත්වයක් තුළ වුවත් අපේ රට ගැන ජාත්‍යන්තරය තුළ තියෙන විශ්වාසය නිසා යම්කිසි සැනසිලිදායක බලාපොරොත්තුවක් තැබිය හැකිය. ඒක අතිශයින් වැදගත්. මං හිතන්නේ මෙය අපි සියලු දෙනා එක්ව ලබා ගත්ත ජයග්‍රහණයක්.

මේ එළඹෙන මැතිවරණය අපිට අතිශයින්ම වැදගත් වෙන්නේ උඩ හදලා තියෙනවා නායකත්වය, අනුර කුමාර සහෝදරයා ඒ ආදර්ශය අපිට ඉතාමත්ම හොඳින් දීලා තියෙනවා සහ ඔහු ඒක ක්‍රියාත්මක කරනවා. ඒ හයියෙන් තමයි අපිට පුළුවන් වුනේ අපේ පළවෙනි අයවැය හදලා ඒ අයවැය සම්මත කරගන්න. ඒ අයවැය තුළින් ගමේ සංවර්ධනය වේගවත් කිරීම අපේ ප්‍රමුඛතාවයක්. ඒ නිසා තමයි දිස්ත්‍රික්කවලට ප්‍රාදේශීය සභාවලට ඒ පළාත්වලට විශාල මුදලක් අයවැයෙන් වෙන්කරලා තියෙන්නේ. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රම 02ක් තියෙනවා. ඔය මුදල් ටික වියදම් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා, හොරු ටිකක් පත් කරගෙන ඉක්මනින් වියදම් කරන්න පුළුවන්. කාගේ හරි කීප දෙනෙක්ගේ සාක්කුවට වැටෙන විදිහට. හැබැයි මෙච්චර මුදලක් අපි වෙන්කරලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ කාලයක් තිස්සේ සිදු නොවුනු දේවල් කරන්න.

එහෙමනම් අර ඔබ උඩ සුද්ද කර විදියටම මේ බිම ඔබේ ගමේ නායකත්වය හදාගත්තේ නැත්නම් ගමේ සංවර්ධනයට වෙන් කරපු මුදල් වලට කවුද වගකියන්නේ? උඩින් අපි වෙන් කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ සැලසුම් අනුව ජනාධිපතිතුමාගේ නායකත්වය අනුව කැබිනට් එකෙන් අනුමත කරලා පාර්ලිමේන්තුවේ මාසයක කාලයක් විවාදයට ලක් කරලා ඒ මාසය තුළ ආපු යෝජනාත් එකතු කරලා අනුමත කරගන්ත මුදල් අපි දැන් නිවැරදි ආකාරයට සංවර්ධන කටයුතු සදහා වියදම් කරන්න ඕනේ.

වියදම් කරන්න ඕනේ මිනිස්සුන්ට ඒකේ ප්‍රතිලාභ යන විදිහට මිසක් කාගේ හරි පොකට් එකට යවාගන්න නෙවෙයි. එහෙමනම් අන්න ඒ අර්ථයෙන් තමයි මේ මැතිවරණය අතිශයින්ම වැදගත් වෙන්නේ මොකෝ ඒ වෙන් කරපු මුදල් වියදම් කිරීමේ බලයත් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ මෙතන. එතකොට මේක අපි හරියට කර ගැනීම තුළින් තමයි ඔය මාස අට තුළ අපිට ගමට වැඩක් කරලා පෙන්නන්න පුළුවන් වෙන්නේ. උඩ අපි කරන දේවල් කරගෙන යනවා. දැන් එක හදලා තියෙන්නේ එක දුවනවා. හැබැයි දැන් ඒකෙ ප්‍රතිඵල බිමට දැනෙන්න ප්‍රාදේශීය සභා ටිකත් අපි හරියට හදාගන්න ඕන.

කොළොන්නාව ආසනයෙන් ප්‍රාදේශීය සභාවට, නගර සභාවටත් ඉදිරිපත් වෙන සියලුම අපේක්ෂකයන් මම පුද්ගලිකව දන්නේ නැහැ. නමුත් පුද්ගලිකව ඇත්තටම මට මේක කියන්න පුළුවන් ජාතික ජන බලවේගයෙන් පත්වෙන කාටවත් හොරකම් කරන්න නම් බෑ. මං ඒක කියන්නෙ මොකද අපි හොරකම් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපේ පුද්ගලික හොඳ කමක් හරි වෙන එකක් නිසාම පමණක් නෙවෙයි. අපේ පක්ෂය තුළ තියෙන විනයත්, පාලනයක් හරහා, ඒකෙන් තමයි පාලනය වෙන්නේ. අපි කවුරුවත් මේ රටේ ඉන්න වෙන මිනිස්සුන්ට වඩා මොකක් හෝ වෙනස් පුද්ගලයන් නෙවෙයි. අඩුපාඩු තියන සාමාන්‍යය මිනිස්සු. නිවැරදි ක්‍රියාවලිය අනුගමනය කරේ නැත්නම් ඒකට ගන්න ක්‍රියාමාර්ගත් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මට වගකීමෙන් කියන්න පුළුවන් වෙන්නේ ඔබ කොළොන්නාවේ මේ ජනතාවට වෙන් කරපු මුදල් නිවැරදි ලෙස සංවර්ධන කටයුතු සදහා පමණක් යොදාගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවනම් ඒ ජාතික ජන බලවේගයට පමණක් බව. ඒ සහතිකය මම හිතන්නෑ වෙන එක දේශපාලන පක්ෂයකටත් දෙන්න පුළුවන් කියලා.

අපිට කරන්න වැඩ ගණනාවක් තියෙනවා. මේ පටන් ගත්ත විතරයි. ආර්ථිකය අපිට තව ගොඩක් දේවල් කරන්න තියෙනවා. අපි වැටුප් කරලා තියෙනවා. බඩු මිල තාම ඉහළයි. අපි ඒක හොඳින් දන්නවා. ඒක තව පාලනය වෙන්න ඕනේ. අපේ නිෂ්පාදන ආර්ථිකය තව හැදෙන්න , ආයෝජකයන් එන්න පටන් ගත්ත විතරයි. රැකියාවල් බිහිවෙන්න ඕනේ.

අපිට වැඩපිළිවෙළක් තියෙනවා පාතාලය, මත්ද්‍රව්‍ය මැඩපවත්වන්න. කොළොන්නාව කිව්වාම මතක් වෙන සමහර දේවල් තියෙනවා. මේක අපි ඉවරයක් කරලා දානවා. ඒක අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒක නිසා තමයි ඔබට පේන්නේ මේ කෑගහන ප්‍රමාණය වැඩි වෙලා. මෙච්චර කාලයක් පාතාලයට, මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට දේශපාලන රැකවරණය ලැබිලා තමයි ඒවා පවත්වාගෙන ගියේ. අද ඒ දේශපාලන රැකවරණය නෑ. ඒ දේශපාලන රැකවරණය නෑ කියන්නේ මේවා අපි හොඳින් බැලුවොත් මෙම කොච්චර මේ ආයතන ඇතුලට රිංගගෙන තියෙනවද, මේක නවත්තන්න බැරි වෙන විදියට ඇතුලට රිංගලා තියෙනවා. ඉතින් දැන් අපි ඒකට ආරක්ෂාව දෙන්නේ නැහැ. පොලිසිය ඇතුලේ මේකට රැකවරණය දෙන ඒ අය පොලිසිය තුළින්ම හඳුනාගෙන ඒක නවත්වනවා. ඉතින් මේක විශාල වැඩක්. විශාල අභියෝගයක්. නමුත් අපි බය නැතුව ඒකට අත ගහලා තියෙනවා. මොකෝ මේ මත්ද්‍රව්‍ය වලින් අපේ රටේ තරුණ පරපුර මෙහෙම විනාශ වෙන්න ඉඩ තියන්නේ නෑ.

ඒ වගේම තමයි හැම දිස්ත්‍රික්කයම හැම ප්‍රදේශකම ආවේණික වෙච්ච ප්‍රශ්න ගණනාවක් තියෙනවා. උතුරු නැගෙනහිර එකක් , දකුණේ තව එකක්. කෘෂිකර්මය අශ්‍රිතවද නිශ්චිත ප්‍රශ්න තියෙනවා. ඒ වගේ තමයි කොළොන්නාවේ මේ ගංවතුර ප්‍රශ්නය. දැන් ගංවතුර කියන එක නිකං අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙලා. නමුත් එහෙම අපිට හැමදාම ජීවත් වෙන්න බැහැනේ. මේකට තිරසාර විසඳුමක් අවශ්‍යයි. තිරසාර විසඳුමක් කියන්නේ එක එක්කෙනාට ඕනේ විදියේ එක එක විදිය දේවල් නෙවෙයි. විද්‍යාත්මක පදනමක් මත දත්ත අනුව, විශේෂඥයන් ඉන්නවා ඒ විශේෂඥයන් කැදවල ඒගොල්ලෝ හරහා මේක කොහොමද කරන්නේ මොකක්ද මෙතන විය යුත්තේ කොතනද මෙතන වැරැද්ද කොහොමද දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක අපි මොකක්ද කරන්න පුළුවන් වෙන්නේ කියන මේ සියල්ල ගැනම හදාරලා තොරතුරු එකතු කරල හරි තීරණය ගන්න ඒ වැඩපිළිවෙල දැන් අපි ආරම්භ කරලා තියෙනවා.

අපි පටන් ගත්ත විතරයි. ඔබ විශ්වාස කරන්න මට දිනකට ලැබෙනවා ලියුම් 1000 ක් විතර. ඒ ලියුම් දාහෙන් 900 ක් ගමේ විසඳන්න පුළුවන් ප්‍රශ්න. නමුත් ඒක විසදිලා නැති නිසා තමයි අපි ගාවට එන්නේ. දැන් මම ඒවට කාලය වෙන කරන කොට මගෙන් විය යුතු දේ කරන්න බැරි වෙනවා . මම ඒක දිහා බැලුවේ නැත්නම් ඒ කියන්නේ ප්‍රශ්න නමසියක් තියෙනවා විසඳිලා නෑ . අන්න ඒ කොටස බේරගන්න පුළුවන් අපිට හරියට අපේ ප්‍රාදේශීය සභා නගර සභා ටික හදාගත්තා නම්. ඉතින් අන්න ඒ ටික වෙනුවෙනුත් මේක අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට අර හරියට උඩ ඉඳන් යටට එකම දැක්මකින් යන්න පුළුවන් විදියේ ව්‍යුහයක් අපිට හදාගන්න පුළුවන්.

ඉතින් මේ සියලුම හේතූන් නිසා තමයි මේ මැයි 06 වෙනිදා මේ මැතිවරණය අතිශයින්ම වැදගත් වෙන්නේ මේක විශාල පරිවර්තනයක් ඔබ අපෙන් බලාපොරොත්තු වුන මේ පරිවර්තනය කොච්චර සංකීර්ණද කියන එක. මං හිතන්නේ අපිට තේරෙන්නෙත් දැන්. ඔබ අපි සියලු දෙනාටම කොච්චර දේවල් කරන්න තියෙනවද කොච්චර දේවල් වෙනස් කරන්න තියෙනවද කියලා. හැබැයි මේ ගමන අපි යනවා.

මෙම හමුවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා කණ්ඩායම් නායක ධනුෂ්ක ප්‍රියදර්ශන මහතා ඇතුළු පිරිස, කොළොන්නාව නගර සභා කණ්ඩායම් නායක ධම්මික විජේමුණි මහතා ඇතුළු පිරිස, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික චන්දන රණතුංග මහතා ඇතුළු කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව සහභාගී වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරිය හිස තෙල් ගෑමේ මංගල්‍යයට සහභාගී වෙයි.

නව වසරේ හිස තෙල් ගෑමේ මංගල්‍යය අප්‍රේල් 16 දින කොළොන්නාව පුරාණ රජමහා විහාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පූර්ව භාග 9.04ට යෙදුණු සුභ නැකැතින් විහාරාධිපති පූජ්‍යපාද කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කෙරිණි.

මෙහිදී පැමිණ සිටි ජනතාවට නව අවුරුදු සුභ පැතුම් එක් කල අග්‍රාමාත්‍යවරිය,

"සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නෙ අපේ රටේ තියෙන වැදගත්ම උත්සවයක්. අපේ සිරිත් විරිත් හා ඥාතීන් මතක් කරගෙන අපේ පවුල මූලික කරගෙන සමරන උත්සවයක්.

මේ උත්සවය තුළින් තමයි අපේ එකමුතුකම, ආදරය, බැඳීම මේ සියල්ලම අලුත් කරගන්නේ. මේව රටක ට අවශ්‍යයි. රටක සංවර්ධනය කියන්නේ එක පැත්තකින් විතරක් නෙමෙයි. සැබෑ සංවර්ධනයේදී අපේ අධ්‍යාත්මය , සම්බන්ධතා සහ බැඳීම් මේ සියල්ලම වැදගත්. මෙවැනි උත්සවවල මෙවැනි සිරිත් විරිත් අපි අනුගමනය කරන්නේ ඒවා අපිට සිහි කරන්න, ඒවායේ වැදගත්කම ඊළඟ පරපුරට කියල දෙන්න.

ඒ නිසා මේක හරිම වැදගත් දවසක්. මේ සතියම අපි එකතුවෙලා විවිධ දේවල් කරා. ඊළඟට අපි රැකියා සඳහා යන්නත් පටන් ගන්න ඕනේ. මේ රට ගොඩනගන්න අපි සියලු දෙනා එකතු වෙලා වැඩකරන්නත් පටන් ගන්න ඕනේ.

උදා වූ නව වසර ඉතාමත්ම සෞභාග්‍යමත්, සාමකාමී සියලු දෙනාට සතුට ලැබෙන, සියලු දෙනාගේ බැඳීම් තහවුරු වෙන, සියලු දෙනාට ආරක්ෂිත නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කළ සිටි අතර තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, නාගරික ලේකම් නෙළුම් කුමාරි ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරිය නැදිමාල විෂ්ණු කෝවිලට.......

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු අතිරේක සර්වේයර් ජනරාල්, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික, පැරකුම් ශාන්ත මහතා ඇතුළු නියෝජිත පිරිසක් සිදු කළ ආරාධනයකට අනුව අප්‍රේල් 14 දින නැදිමාල, ශ්‍රී වෙංකටේශ්වර මහා විෂ්ණු මූර්ති කෝවිලෙහි පැවති ආශිර්වාද පූජාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්විය.

එහිදී ලැබුවා වූ නව වසරට හින්දු ආගමානුකූල ආශිර්වාද එක් කෙරිණි.

මෙම අවස්ථාවට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජාතික ජන බලවේග අපේක්ෂක කණ්ඩායමේ සාමාජිකයන් වන ලලිත් සිරිනිමල්, අසේල ෆොන්සේකා, අකලංක සේරසිංහ, දමිත් ජයවර්ධන, ජයන්ත ගුණරත්න, ලක්ෂ්මන් ගම්ලත්,සරත් ධම්මික, දිනේෂ් සෝමතිලක, කුලසිංගරාසා රමණන්, රමණි අලකොලංග, රස්මිනා හසන්, කුමාරි කරුණාජීව, යාලිනී රාජරත්නම් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ලාංකීය සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් අග්‍රාමාත්‍යවරිය අවුරුදු සමරයි....

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සැමරීමේ ජාතික උත්සවය අප්‍රේල් 14 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කඩුවෙල පහළ බෝමිරිය නීතිඥ සමන් ලීලාරත්න මහතාගේ නිවස කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය පූර්ව භාග 06.44 ට යෙදුණු සුබ නැකතට අඹ පැළයක් රෝපණය කර නව වසරට වැඩ ආරම්භ කළාය.

ලාංකීය සිරිතට මුල්තැන දෙමින් සිංහල දෙමළ අලුත් අවුරුදුු චාරිත්‍ර ඉටු කිරීම, ජන ක්‍රීඩා, ජන ගායන හා නර්තන අංග රැසක් මෙහිදී දැකගත හැකි විය.

මෙම උත්සවය බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි,නියෝජ්‍ය අමාත්‍ය මුන්නීර් මුනෆ්ෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසිත නිරෝෂණ හා කෞශල්‍යා ආරියරත්න හා යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරියගේ නව අවුරුදු සුබ පැතුම

"පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" සඳහා එක්ව කටයුතු කරන අතරතුර, අලුත් බලාපොරොත්තුවකින් සහ නැවුම් ඉදිරි දැක්මකින් යුතුව අපි අලුත් අවුරුද්ද පිළිගනිමු.

එකමුතුකමෙන් සහ ත්‍යාගශීලි බවින් යුතුව අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකික සිංහල සහ දෙමළ ජනතාව වෙත මගේ සුබ පැතුම් පිරිනමමි.

අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත් අවුරුද්ද උදා වෙයි. අපගේ සංස්කෘතිය හා වටිනාකම් තුළ මුල් බැසගත් - ධනාත්මක වෙනසක් ලඟාකර ගැනීමට සහ අරමුණු පෙරදැරිව, එකමුතුකමෙන් ඉදිරියට යායුතු බව මේ සාම්ප්‍රදායික උත්සවය අපට සිහිපත් කරදෙයි.

මෑත ඉතිහාසයේදී ආර්ථික අර්බුදය, බොහෝ දෙනෙකුට අවුරුදු සැමරීමේ සිතුවිල්ල පවා දුෂ්කර කොට තිබිණි. කෙසේ වෙතත්, දූෂණ, වංචා චක්‍රයකින් මිදීමට ජනතාව ගත් නිර්භීත උත්සාහයෙන්, නව ආරම්භයකට මග පෑදී ඇත.

2025 වසර අලුත් අවුරුදු සැමරුම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ එහෙයිනි. එය, උතුර දකුණ නැගෙනහිර සහ බටහිර පුරා සියලුම ප්‍රජාවන් වඩා සුබදායී අනාගතයක් ගොඩනැගීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම යටතේ එක්වූ සහ එක්වෙමින් සිටින වසරකි. එළඹෙන මැයි මාසයේදී ඒ ජනතා පැතුම් යළිත් මල්පල දරනු ඇත.

නව වසරේ නව පරිච්ඡේදය ආරම්භ කරන මොහොතේ, ඔබේම ප්‍රජාවන් තුළ ගෞරවය, සාමය සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කරන ලෙස මම සෑම පුරවසියෙකුගෙන්ම ඉල්ලා සිටිමි. ඉදිරි වසර තුළ සාර්ථකත්වය සහ ප්‍රගතිය අත්කර ගැනීම සඳහා කැපවීම, විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතිව කටයුතු කිරීමට අපි අදිටන් කරගනිමු.

මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත, ශ්‍රී ලාංකීය ජාතියට නැවුම් පරිවර්තනයක් සහ සෞභාග්‍යමත් හෙට දවසක් උදෙසා වන ශක්තිය, එකමුතුකම සහ නව ජවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි...!

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 අප්‍රේල් 14 දින