අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

“මෙම අර්බුදය තුළදී ද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩව පවත්වා ගැනීම අපගේ අරමුණයි” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මෙම අර්බුදය තුළදී ද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩ ව පවත්වා ගැනීම අපගේ අරමුණයි.ජනතා සුබසාධන වෙනුවෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට සහය වන ලෙස විපක්ෂය තුලින් ද ඉල්ලා සිටිනබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මාර්තු 19 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

එහිදී එතුමිය පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීතුමා මතුකළ ප්‍රශ්නයට පිළිතුරු ලෙස මලයගම් ප්‍රජාවගේ අධ්‍යාපනය තුළ ගැටලු ගණනාවක් පවතින අතර ගුරු පුරප්පාඩු ඒ අතර විශේෂ බව දැක්වී ය.ඒ අතරින් අධිකරණ තීන්දුව ප්‍රකාරව ගුරු පුරප්පාඩු සදහා 23000 කට වැඩි ප්‍රමාණයක් බදවාගත් බව සදහන් කළා ය.අධ්‍යාපන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් ගැටලු පිළිබඳ සාකච්ඡාවල දී එම කරුණු මතුකර කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය:

“මූලික වශයෙන් රටේ වර්තමාන තත්වය හා අපට රටක් වශයෙන් මුහුණදීමට ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.ගෝලීය වසංගතයකින් පසු ආර්ථික අර්බුදයකට මුහුණ දී දේශපාලන අර්බුදයකට ද අනතුරුව නැවත වතාවක් හුස්ම ගැනීමට පටන් ගත් අවස්ථාවක මෙම වර්තමාන තත්වය උද්ගත වී ඇත.එහිදී වගකිව යුතු විපක්ෂයක කාර්යභාරය පිළිබදව ඔවුන් ගැඹුරින් කල්පනා කළ යුතුයි.අවාසනාවකට විපක්ෂ මන්ත්‍රීවරුන් බලය ලබාගැනීම අරමුණු කරමින් ආණ්ඩුව පෙරලීමේ නිරර්ථක උත්සාහයක නිරත වෙමින් සිටියි.ආණ්ඩුවේ නොහැකියාවන් හා රාජ්‍යතාන්ත්‍රික බවෙහි ව්‍යාජ දුර්වලතා මවා පාමින් ජනතාව තුළ අනවශ්‍ය බියක් ජනිත කිරීම ඔවුන් අඛණ්ඩව සිදුකරමින් සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය හරහා ප්‍රතිපත්ති ඉදිරිපත් කර ජනතා විශ්වාසය දිනාගන්නවා වෙනුවට, රට විනාශ මුඛයට ඇදී ගියද කෙසේ හෝ බලය උදුරා ගැනීමේ උත්සාහයක විපක්ෂය නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. රට බංකොලොත් භාවයට පත් කළ සහ ආර්ථිකය අස්ථාවර කළ පාර්ශ්වයන්ම, ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගත් ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කරන්නේ පසුගිය පාලන කාලයන්හි එල්ල වූ චෝදනා සහ විමර්ශනවලින් ගැලවීමට බව ද අවධාරණය කළාය.

තත්ත්වය පාලනය කරනු වෙනුවට අර්බුදය උත්සන්න කිරීමට විපක්ෂය මාන බලන බවත්, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර නිසා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට පවා හානි වන අන්දමේ ප්‍රකාශ නිකුත් වන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

නැවත බලය අවශ්‍ය නම් ප්‍රජාතන්ත්‍රවාදී මාවත ඔස්සේ මැතිවරණ තුලින් ජනතාව ඉදිරියේ විශ්වාසය දිනාගෙන බලය ලබාගැනීම කලයුතු බවද ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය ආණ්ඩුවේ නොහැකියාව බව පෙන්වීමේ නිරර්ථක උත්සාහයක නිරත නොවිය යුතු බවත්, වත්මන් ඉන්ධන අර්බුදය ලොව පුරා පවතින යුදමය වාතාවරණයේ ප්‍රතිඵලයක් බවත්, එය ආණ්ඩුවේ නොහැකියාවක් ලෙස පෙන්වීමට උත්සාහ කිරීම නිරර්ථක බවත් සඳහන් කළාය. මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වී දින විස්සක් වැනි කෙටි කාලයක් තුළ රජය නිවැරදි තීන්දු තීරණ රැසක් ගත් බවත්, ඒ හේතුවෙන් දකුණු ආසියාවේ ඉන්ධන මිල අඩුවෙන්ම සංශෝධනය වූ රට බවට ලංකාව පත් වූ බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

තවදුරටත් අදහස් දක්වමින්:

“තෙල් සැපයුමේ යම් අඩුවීමක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බව සත්‍යයකි. එබැවින් ඉන්ධන පරිභෝජනය කළමනාකරණය සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දුන්නා. එම ක්‍රමය තවදුරටත් විධිමත් කරමින් අක්‍රමිකතා අවම කිරීමට කටයුතු කරනවා. මෙම අර්බුදය හමුවේ වුවද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩව පවත්වා ගැනීම අපගේ අරමුණයි. ජනතා සුබසාධනය වෙනුවෙන් අප ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට සහය වන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලා සිටියාය.”

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ආරම්භ කිරීමට සූදානම්

පළමු වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය අධික්ෂණය කිරීමට පියවර

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ආරම්භ කිරීමට සූදානම් බවත්, පළමු වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය අධික්ෂණය කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේදී අවධාරණය කෙරිණ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව මාර්තු 17 දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.

2026 වසරේ ආරම්භ කළ පළමු ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රගතිය පිළිබඳ අධික්ෂණය කිරීම ඉදිරියේදී සිදු කරන බවත්, පළමු ශ්‍රේණියේ දෙවන සහ තෙවන වාරය සඳහා වන ක්‍රියාකාරකම් පාදක පොත් මුද්‍රණය කිරීමට සුදානම් කර ඇති අතර දෙවන වාරය සඳහා වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් පොත් අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු දරුවන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මෙහිදී පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන් පුහුණු කිරීම, පුහුණුකරුවන් පුහුණු කිරීම සිදු කරමින් පවතින අතර 6 ශ්‍රේණියට අදාල සියලු මොඩියුල විශේෂ කමිටු හරහා ගැඹුරින් යළි සළකා බලමින් පවතින බවද නිලධාරීන් මෙහිදී අවධාරණය කළේය.

ඇගයීම් සහ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම සඳහා විදෙස් සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර අදාල සම්පත්දායකයින් ඉදිරියේදී ලංකාවට පැමිණිමට නියමිත බවත්, ජනාධිපතිතුමාගේ උපදෙස් මත අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික මෙහෙයුම් කමිටුව පත්කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති අතර දිස්ත්‍රීක් සහ ප්‍රාදේශීය මට්ටමේ මෙහෙයුම් කමිටු පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද අනාවරණය කළේය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කිසිවෙකුගේ බලපෑමකට ලක් නොවන ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් ඇතුළු කිසිවකුගේ බලපෑමක් නොමැතිව නිදහස් ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියලු අවකාශ ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (මාර්තු 17 ) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා ය.

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීම සම්බන්ධ අතුරු යෝජනා සම්මතය පිළිබඳ විවාදයේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙහි දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ,

ගරු කතානායක තුමනි, අද ඉදිරිපත් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරිමේ යෝජනාව ඉතාමත්ම වැදගත් සහ ඓතිහාසික යෝජනාවක් ලෙස මම සලකනවා.

2023 වසරේ දූෂණ විරෝධී පනත සම්මත වුණත් ඒ සම්බන්ධ කොමිෂන් සභාවක් තියෙනවා කියලා අපිට දැනෙන්න පටන්ගත්තේ 2025 වසරේ සිට.

එතැන් පටන් මේ කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමේ දි ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට අපට සිදුවුණා. විශේෂයෙන් ම නිලධාරීන් බඳවා ගැනීමට තිබුණු සීමාවන් වැනි කාරණා නිසා කොමිෂන් සභාවට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක වීමේ බාධක අභියෝග ගණනාවක් තිබුණා. ඔවුන්ට ක්‍රියාත්මක වීමේ දී තමන්ගේ කාර්‍ය මණ්ඩලයේ දීමනා තීරණය කර ගැනීමේ නිදහස , ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීති හා රෙගුලාසි නිර්ණය කිරීමේ නිදහස, නිලධාරීන් බදවා ගැනීමේ නිදහස, ඔවුන්ගේ වාර්ශික සැලැස්මට අදාළ ප්‍රතිපාදන ඇස්තමේන්තු ඉදිරිපත් කිරිම, මෙවැනි ප්‍රායෝගික තත්ත්වයන් සහ කොන්දේසි ගණනාවක් ඇති කළ යුතුව තිබුණා. කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් තුමා පත්වෙනවිට කොමිෂන් සභාව තුළ විමර්ශන අවසන් කර නඩු නොපැවරුණු ලිපි ගොනු 4000කට අධික ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම නීති නිලධාරීන් සිටියේ 31ක් පමණයි.

මේ යෝජනාව සම්මත වීමත් සමඟ ම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඔවුන්ගේ නිලධාරීන් තෝරාපත්කර ගැනීම, ඔවුන්ට අවශ්‍ය දීමනා තීරණය කරගැනීම වගේම මූල්‍ය කටයුතු පිළිබඳ ඔවුන්ට තීන්දු තීරණ ගැනීමේ නිදහස මේ සියල්ල හිමිවෙනවා. ඒ හරහා අල්ලස් හා දූෂණ කොමිසමෙන් බලාපොරොත්තු වෙන සැබෑ කාර්‍යභාරය ඉෂ්ට කර ගැනීමට හැකිවෙනවා. අපේ රට තුළ නව දේශපාලන සංස්කෘතියක් තුළ, දූෂණ විරෝධී, අල්ලසට එරෙහි පිරිසිඳු රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් වූ ඉතාමත්ම වැදගත්‍ යෝජනාවක් තමයි මේ ඉදිරිපත් වෙන්නෙ. යනුවෙන් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මේ වන විට ලොව පුරා පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙරට ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අදහස් ප්‍රකාශ කළා ය.

මේ.මොහොතේ ලෝකය තුළ පවතින තත්වය හමුවේ අපේ ආර්ථිකයටත්, බලශක්ති ක්ෂේත්‍රයටත් අර්බුද ගණනාවකට මුහුණ දිමට සිදුවී තිබෙනවා. මේ නිරන්තර වෙනස්වන තත්වයන් ගැන පෙර පුරෝකථන කරන්න අපට බැහැ. මේක නිරන්තරවම බලපෑම් වෙනස්වන මොහොතක්. නමුත් රජය ලෙස එම වෙනස්කම් හඳුනාගනිමින් ඒ හරහා අපේ ආර්ථිකයට සිදුවන බලපෑම කලමණාකරණය කිරීම තමයි අපේ වගකීම. ඒ වෙනුවෙන් ඊයෙ දිනයේ කැබිනට් මණ්ඩලය විශේෂ කමිටු හතරක් පත් කිරීමට තීරණය කළා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවාවන් නොකඩවා ජනතාවට ලබා දීම වෙනුවෙන් තත්වයන් කලමණාකරණය සඳහා කමිටුවක් ද රාජ්‍ය සේවය තුළ බලශක්ති කලමණාකරණය සිදු කරමින් සේවාවන් පවත්වාගෙන යාම පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා කමිටුවක් ද ප්‍රසම්පාදන කොමිෂන් සභාව හා සාකච්ඡා කරමින් බලශක්ති ලබා ගැනීමේ දී පවතින ක්‍රමවේදයන්ට අමතරව නව ක්‍රමවේදයන් හඳුනාගනිමින් කටයුතු කිරීමට කමිටුවක් ද ඒ වගේම මේ තත්වය තුළ ඇතිවිය හැකි සමාජ බලපෑම, සමාජයේ විශේෂ කොටස් වෙත ඇති විය හැකි බලපෑම සඳහා සාධාරණ විසඳුම්, සහන සේවා සුබසාධන කටයුතු සොයා බැලීම සඳහා කමිටුවක් ද පත්කිරීම සිදු කරනු ලැබුවා.

මේ අපි සාමුහිකව රටක් හැටියට මුහුණදිය යුතු තත්වයක්. ඒ සඳහා අපේ රාජ්‍යසේවයත් ,පුද්ගලික ක්ෂේත්‍රයත්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලන අධිකාරියත්, අපේ රටේ ජනතාවත් එකතුවෙලා අපි මින් පෙර අභියෝගවලට මුහුණ දුන් ලෙසටම සාමුහිකව එක්ව මුහුණ දිය යුතුයි. ඒ වගේම නිවැරදි නායකත්වයත් කලමණාකරණයත් හරහා අවශ්‍ය මොහොතේ තීන්දු තීරණ ගනිමින් මේ තත්වයට මුහුණ දිය හැකියි යන විශ්වාසය අපට තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සමාජයේ එක පිරිසකට නොව සමස්ත ජනතාවට නිදහස බුක්තිවිඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නිදහස බුක්තිවිඳීම සමාජයේ එක පිරිසකට පමණක් සීමා වී තිබුණ බවත්, සමස්ත ජනතාවට නිදහස බුක්තිවිඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ පොහොසත් ගමක් ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කළ අඟුණුකොළපැලැස්ස වැව ආශ්‍රිතව බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරමින් මාර්තු 15 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

අඟුණුකොළපැලැස්ස “leisure Island” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව බෝට්ටු අංගනය සහ “leisure Island” ආපන ශාලාව විවෘත කිරීමද සිදු කෙරිණ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය⁣ මෙසේද පැවසීය.

අගුණුකොළපැලැස්ස වැව ආශ්‍රිතව බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දින හත්සීයයකටත් වැඩි කාලයක් ස්වෙච්ඡාවෙන් ජනතාව සහයෝගය දක්වා තිබෙනවා. ඒක ඉතාම වැදගත්. අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාව විසින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ප්‍රතිපාදන ලබාගෙන මේ ප්‍රදේශයේ කොට්ඨාස සභා, මහජන ආරක්ෂක කමිටු, යෞවන සමාජ, වෙළෙඳ සංගම් ඇතුළු සියලුදෙනාගේ එකමුතුවෙන් ඉතා කෙටි කාලයක් තුළ මේ ස්ථානය දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස ගොඩනගලා තියෙනවා.

යහපත් අරමුණක් වෙනුවෙන් සාමුහිකත්වයෙන් එකතුවුණාම අපට කළ නොහැකි දෙයක් නැති බව පෙන්වන හොඳම උදාහරණයක් මේ ව්‍යාපෘතිය. රටක් දියුණු කිරීම ආණ්ඩුවට පමණක් කළ හැකි තනි කාර්යයක් නොවෙයි.

රටේ බුද්ධිමතුන්, ආගමික නායකයින්, තරුණ තරුණියන්, ව්‍යාපාරිකයන් ඇතුළු පොදු ජනතාව, ශක්තිමත්ව නිවැරදි නායකත්වයක් සමඟ එකතු වූ විට අපට කිසිදු සතුරු බලවේගයකට බිඳ දැමිය නොහැකි ලෙස ශක්තිමත් රටක් ගොඩනගන්න පුළුවන්.

අව්වේකී ජීවිතයක ගත කරන ගමේ ජනතාවටත් නිදහසක් අවශ්‍යයි. නිදහස බුක්තිවිදින එක සමාජයේ එක පිරිසකට විතරක් සීමා වී තිබුණා. ජනතාවට උදාර සංස්කෘතික ජීවිතයක් ලබා දීම වෙනුවෙන් කැපවෙන රජයක් විදිහට ජනතාවට විනෝදවෙන්න, ඇවිදින්න, නිදහස් මනසින් කාලය ගෙවන්න මෙවැනි ස්ථාන වැඩිවශයෙන් ගොඩනැගීම ඉතා වැදගත් යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය

මහා සංඝරත්නය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ ඇතුළු මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාසල් තුළ පවත්වන උත්සව දෙමව්පියන්ට බරක් නොවන විදිහට සංවිධානය කර ගන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පත්වීම් හෝ ස්ථාන මාරු ලබා දුන්නම ලැබෙන පත්වීම් භාර ගෙන අදාල ස්ථානවල වැඩ භාර ගන්න.

2026 වසරේ වෙන් කළ මුදල් නිසි පරිදි පාසලේ සංවර්ධන කටයුතු වලට යොදා ගන්න.

පාසල් තුළ පවත්වන උත්සව දෙමව්පියන්ට බරක් නොවන විදිහට සංවිධානය කර ගන්නා ලෙසත්, පත්වීම් හෝ ස්ථාන මාරු ලබා දීමේදී ලැබෙන පත්වීම් භාර ගෙන අදාල ස්ථානවල වැඩ භාර ගතයුතු බවත්, 2026 වසරේ වෙන් කළ මුදල් නිසි පරිදි පාසලේ සංවර්ධන කටයුතුවලට යොදා ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කොටිඨාසවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (15) පැවති සාකච්ඡාවල අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුර⁣ටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,

2027 වසරේ අපි 6 ශ්‍රේණියටත්, 2 ශ්‍රේණියටත් නව අධ්‍යාපන ප්‍රතිසංසකරණ සිදු කරනවා. මේ වසරේ 6 ශ්‍රේණියේ සිටින දරුවන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළට ඇතුළත් කර ගැනීම සඳහා කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව අනුව අපි ඉදිරියේදී කටයුතු කරනවා.

පාසල් යටිතල පහසුකම්, පන්ති කාමර සංවර්ධනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාල කටයුතු අපි සිදු කරමින් යනවා. පන්ති තුළ ළමුන් ප්‍රමාණය ප්‍රාථමික අංශයේ 25ත් 30ත් අතරත් ද්විතීයික පාසල් තළ ළමුන් 35 දක්වාත් පවත්වා ගන්න අපි සැලසුම් කරාගන යනවා. කිසිම හේතුවක් මත චක්‍රලේඛවලට පිටින් දරුවන් පාසලට ඇතලත් කරන්න බැහැ.

පන්ති කාමර සංවර්ධනය කරද්දි ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ගැලපෙන පරිදි සකස් කරන්න අවශ්‍ය සැළසුම් ඉංජිනේරු අංශය විසින් සකස් කරමින් තිබෙනවා.

පාසල්වල සමහර ගැටලු පළාත් සභා සහ ප්‍රාදේශිය සභා මට්ටමින් විසඳිය හැකියි. සනීපාරක්ෂක පහසුකම් සකස් කිරීමේ සිට සියළු ප්‍රතිසංස්කරණ ගුණාත්මකව සිදු කරන්න කියලා අපි යෝජනා කර තිබෙනවා. 2025 වසරේත් 2026 වසරේත් අපි පාසල් සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් කළා. ව්‍යුහ කමිටු හරහා ක්‍රමවත් සැලසුම් සකස් කර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ඇතිව ඉදිරිපත් කරන්න. වෙන් කළ මුදල් නිසි පරිදි පාසලේ සංවර්ධන කටයුතු වලට යොදා ගන්න.

2026 වන විට සෑම පාසලකටම smart board සහ අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. කිසිම හේතුවක් මත ඒ වෙනුවෙන් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න එපා. සෑම පාසලකටම වාර්ෂික සැළසුම් තියනවා ඒ සඳහා අනුමත මුදල් ප්‍රමාණයක් තිබෙනවා. ඊට එහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න එපා. වි⁣ශේෂයෙන් පාසල් තුළ පවත්වන උත්සව දෙමව්පියන්ට බරක් නොවන විදිහට සංවිධානය කර ගන්න.

වසර ගණනාවක් පුරා ගුරු විදුහල්පති පුරප්පාඩු පුරවලා නැහැ. ඒ නිසා ගැටලු රාශියක් ඇත් වෙලා තිබෙනවා පැවති නඩු කටයුතුවලින් පසුව දැන් අපි ගුරු සේවයට 23000කට අධික පිරිසක් විධිමත්ව බඳවා ගන්න කටයුතු කරනවා. අප්‍රේල් මාසේ අග හෝ මැයි මාසේ මුල ඒ සඳහා වන විභාග පැවැත්වීමට නියමිතයි.

විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා පුරප්පාඩු ගැසට් කළා. නමුත් ඉල්ලුම් කිරීම් සිදු වුණේ ඉතාමත් සීමිතව, අපි දන්නවා වැටුප් ප්‍රශ්නයක් තියනවා විදුහල්පති සේවයේ වගේම සමස්ත වැටුප් විෂමතාව වෙනුවෙන් වැටුප් කොමිසමට අපි යෝජනා ඉදිරිපත් කරන්න කටයුතු කරමින් යනවා. ඒ වගේම ගුරුපත්වීම් ඉල්ලලා උද්ඝෝෂණ කරන අය පත්වීම් දුන්නම නැත්නම් ස්ථාන මාරු දුන්නම ඒක භාරගන්න සුදානම් නැහැ. අපි දන්නවා පෞද්ගලික ගැටලු තිබෙනවා නමුත් පළමුව තමන්ට ලැබෙන පත්වීම් භාර ගෙන වැඩ භාර ගන්න. දේශපාලන මැදිහත් වීම් මත කැමති ස්ථානයකට යන්න පුලුවන් කියලා මතයක් තියනවා. ඒ නිසා අධ්‍යාපන ක්⁣ෂේත්‍රයේ අර්බුධ නිර්මාණය වෙලා තිබනවා.

සමහර පිරිස් විදුහල්පති සේවයේ පුරප්පාඩු සඳහා ඉල්ලුම් කරන්නේ නැතුව නියෝජ්‍ය විදුහල්පති ලෙස එකම පාසලක ඉන්නවා. එහෙම කරන්න බැහැ. මේක ගෞරවාන්විත සේවාවක්. ඒ වෙනුවෙන් වෘත්තීය ගෞරවය ලබා දෙන්න පාර්ලිමේන්තුවේ අධ්‍යාපන කවුන්සිලය හරහා වාර්තාවක් සකස් කරලා අමාත්‍ය මණ්ඩලයට යොමු කරන්‍න සූදානම් කර තිබෙනවා.

යටිතල පහසුකම් සංවර්ධනයේදී අපි යෝජනා කරලා තිබෙනවා. ඒ ඒ කොට්ඨාසවල පවතින තත්වයන් පුරෝකථනය කරලා ව්‍යුහ කමිටු හරහා සැලසුම් ඉදිරිපත් කරන්න කියලා.

දරුවන්ගේ ගැටලුවලදි රාජ්‍ය ප්‍රතිපත්ති හෝ තීරණ ලබා දෙන තුරු බලා නොසිටින ලෙසත් කොටිඨාස මට්ටමින් පළාත් මට්ටමින් කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, අතුල වෙළඳගොඩ යන මහත්වරුන්, පළාත් හා කළාප අධ්‍යාපන බලධාරීන් විදහල්පතිවරුන් ගුරුවරුන් විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කරන්නත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (15) පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් පෙර පාසැල් ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙම්න් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී පෙර පාසල් ගුරුවරුන් තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළ අතර අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය.

පෙර පාසල් පද්ධතියේ පවතින ගැටළු සමස්ත සමාජයේ සහ අධ්‍යාපනයේ තියෙන අර්බුධයෙන් වෙන් කරලා කතා කරන්න බැහැ. 2024 මේ රට භාර ගන්නකොට අපිට ප්‍රධාන අභියෝගය වුණේ රට ණයගැතිභාවයෙන් මුදා ගනිමින් නිවැරදි ආර්ථික නිර්ණායක නිවැරදිව සකස් කිරීමටයි.

ඒ අනුව 2025 දී අපිට අභියෝගාත්මක වසරක් වුණත් අපේ රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගන්නත්, ඒ මගින් රටේ අයවැය තුලනය කර ගන්නත් හැකි වුණා.

රටේ ආර්ථිකය සංවර්ධනය කරමින් යන අතරතුර තමයි මැදපෙරදිග යුද්ධය ආරමිභ වුණේ. එහි යම් බලපෑමක් අපේ රටටත් එල්ල වෙලා තියෙනවා. අපේ රටේ වැඩි විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ආවේ මැදපෙරදිග සේවය කළ අපේ රටෙි සහෝදර සහෝදරියන්ගෙන්. අද ඒ අයගේ ජීවිත වලට වගේම රැකියාවලටත් තර්ජනයක් එල්ල වී තිබෙනවා. අපේ රටට විදේශ සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ආවේ මැදපෙරදිග ගුවන් කලාපය හරහා ඒ ගුවන් මාර්ග සහ ගුවන්තොටුපොළ වසා දැමීම නිසා සංචාරක පැමිණිමත් අඩු වෙලා තිබෙනවා. අ⁣නිත් ප්‍රශ්නය ඉන්ධන ප්‍රවාහනය පිලිබඳ ගැටළුව මෙි ගැටළුව අපේ රටට වගේම බොහෝ රටවලට බලපෑම් එල්ල කර තිබෙනවා. යුද්ධය දිගින් දිගටම පැවතුනොත් අපිට විශාල බළපෑමක් එල්ල වෙනවා. ඒ නිසා අපි ඒ වෙනුවෙන් සූදානම් විය යුතුයි. ආර්ථිකය කළමනාකරණය කර ගන්න වියදම් යම් ප්‍රමාණයකින් අවම කරගත යුතුයි.

අපිට ණය ගන්න පුළුවන් නමුත් රටේ ආර්ථිකය ණය අරගෙන කඩාවට්ටන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.

ඔබ දන්නවා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළා. ඒ ප්‍රතිපත්තියේම තියනවා පෙර පාසල් අධ්‍යාපනයත් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා කියලා. මේ දක්වා පෙර පාසල් ආරමිභ කිරීම සහ මුල් ළමා විය සංවර්ධනය කිරීම විධිමත්ව සිදු වෙලා නෑ. සියලු පෙර පාසල් නියාමනය කරන්නත්, ප්‍රමිතිගත කරන්නත් අපිට සිදු වෙලා තිබෙනවා ඒක පහසු කාර්යයක් නෙමෙයි. මුළින්ම සියළු පෙර පාසල් විධිමත් ලෙස ලියාපදිංචි කළ යුතුයි. අපි මේ වන විට ගුරුවරුන්ගේ පුහුණුව වෙනුවෙන් විෂය මාලාවක් සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම 2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කරන්නත් කටයුතු කරනවා. පෙර පාසල් ඩිප්ලෝමාව සඳහා පිළිගත් විෂය මාලිවක් සකස් කර තිබෙනවා. ඉදිරියේදී අපි පෙර පාසල් ගුරුවරුන්ට ප්‍රමුඛතාව දෙන්නේ ඒ අනුවයි. පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරන්නත්, වැටුප් තලයක පිහිටුවන්නත් අපි පියවරෙන් පියවර කටයුතු කරනවා.

පෙර පාසල් අයිති පලාත් සභාවට සහ ප්‍රාදේශිය සභාවට බවත් රේඛිය අමාත්‍යංශයට කළහැක්කේ නිර්දේශ ඉදිරිපත් කිරීම වන අතර පෙර පාසල් සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට ව්‍යුහ කමිටු සහ දිස්ත්‍රීක් සංවරිධන කමිටු හරහා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු මහජන නියෝජිතයින්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය