වෘත්තිය සමිති අයවැය යෝජනා අගමැති අතට……

වැඩකරන ජනතාව මෙතෙක් දිනා ගත් දේ රැක ගනිමින් ඒ තුළ සිට මෙවර අයවැයෙන් සහන ලබාගැනීම කළ යුතු යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඉදිරි අයවැය සඳහා වෘත්තීය සමිතිවල යෝජනා අදහස් ඉදිරිපත් කිරීම සඳහා මෙරට ප්‍රධානතම වෘත්තිය සමිති රැසක් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා හමු විය.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ පවතින අර්බුදය තේරුම්ගෙන සියලුම වෘත්තිය සමිති යථාර්තයට මුහුණ දිය යුතු බවයි. පොදු ජනතාවට මේ අවස්ථාවේදී දිය හැකි සහන ලබාදීමට රජය කිසිවිටකත් පසුබට නොවේ. එහෙත් පවතින අර්බුදයෙන් ගොඩ ඒමට මෙවර ඉදිරිපත් කෙරෙන අයවැය මූලික පිටිවහලක් වනු ඇත.

මෙහිදී වෘත්තිය සමිති සඳහන් කළේ කලේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් වර්තමානයේ ක්‍රියාත්මකවන වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදයක් තිබෙන බවයි. නමුත් දිගින් දිගටම සහනාධාර ලබා දෙන්නේ නම් එය විශාල ගැටළුවක් බව ඔවුහු පෙන්වා දුන්හ. එහෙත් පසුව අඩු කරගත හැකි පරිදි ජීවන වියදම් දීමනාවක් ලබා දෙන්නේනම් එය අගය කරන බව සඳහන් කළේය. රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන සම්බන්ධයෙන් ද තමන් තුළ විශාල ප්‍රසාදයක් ඇතැයි ඔවුහු කීහ. ගොවීන්ට පොහොර හා බීජ ලබාදීමට රජය ගත් ක්‍රියාමාර්ග ද ඔවුහු අගය කළහ.

වෘත්තීය සමිති නියෝජිතයෝ ඉදිරි අයවැය සඳහා වූ සිය යෝජනා ලිඛිතව අගමැතිවරයා වෙත භාර දුන්හ .

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, සමාජවාදී ලංකා කම්කරු සමිතිය, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලය, පොදුජන ප්‍රගතිශීලී වෘත්තිය සමිති ජාතික මධ්‍යස්ථානය, ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.