’සීතාවක හටන’ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගන්වයි

සිංහල ප්‍රශස්ති හා හටන් කාව්‍ය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කළ ’සීතාවක හටන’ කෘතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී 2023.11.10 දින පිළිගන්වනු ලැබිය.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරන යන අය එක්විය.

’සීතාවක හටන’ සම්මානිත මහාචාර්ය රෝහිණි පරණවිතාන විසින් සංස්කරණය කර ඇති අතර සීතාවක යුගයේදීම එය රචනා කර ඇත්තේ, අත්තන්හරි අබය අලහප්පෙරුම විජයවර්ධන කවියා ය. මෙම රචනය සංස්කරණය කර මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කරන්නේ, පළමු වතාවටය. සීතාවක යුගයේ සජීවීව සටන්වලට දායක වූ අයෙකු ලෙස සැලකෙන අලහප්පෙරුම කවියාගේ මෙම හටන් කාව්‍ය, පැරණි ම සිංහල හටන් කාව්‍ය ලෙසද විද්‍යාර්ථීන්ගේ ආශ්‍රයට යොමුවිය යුතු කෘතියකි. එමෙන්ම සීතාවක මායාදුන්නේ සහ පළමුවන රාජසිංහ රජවරු මෙහෙයවූ යුද්ධ පිළිබඳ රචනා වූ මෙම කෘතිය ඒ යුගයේ දේශපාලන තත්ත්වය, පොදු ජනතාවගේ සිතිවිලි, ඔවුන්ගේ බස් වහර ගැන හෙළි කරන්නකි.