ආපදාවට පත් පාසල් යළි යථාතත්වයට පත්කිරීම වෙනුවෙන්

UNICEF සංවිධානයේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය හා UNICEF සංවිධානයේ නියෝජිතයින් පිරිස අතර හමුවක් දෙසැම්බර් 20 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

එහිදී ස්වාභාවික ව්‍යසනය සිදු වූ මොහොතේ සිට මේ දක්වාම විපතට පත් ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කර ගැනීමත්, හානියට පත් වූ පාසල් පද්ධතිය යළි නගාසිටුවීමත් සඳහා රජය ක්‍රියා කරමින් සිටින ආකාරය පිළිබඳව සහ ඊට ඇති අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය විසින් කරුණු පැහැදිලි කර දෙනු ලැබිණ.

නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අතිශය අනතුරුදායක බැවින් එවැනි පාසල් හදුනාගෙන, විද්‍යාත්මක පදනම මත සුදුසු ස්ථානයක ස්ථනගත කිරීම කෙරෙහි රජය අවධානය යොමුකරමින් තිබෙන බවද අගමැතිනිය පැවසුවාය.

විපතට පත් පාසල් සිසුන් වෙත මුදල් සහන සලසමින් දෙමව්පියන්ට අමතර බරක් නොවි නැවත දරුවන් පාසල් වෙත යැවීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවත්, දරුවන්ට, නිවසට පසු ආරක්ෂිතම ස්ථානය පාසල බැවින් එහිදි ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සාධනීය මට්ටමකට පත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

අනතුරට පත් පාසල් නැවත ස්ථානගත කිරීම, පාසල් යටිතල පහසුකම් යළි ඇතිකිරීම, ඇතැම පාසල් එකට සම්බන්ධකර පවත්වාගෙන යාම, ඩිජිටල් හා තාක්ෂණික උපාය මාර්ගවලින් ඉගෙනුම් හා ඉගෙනීම් ක්‍රියාවලිය පහසුකිරීම, විශේෂිත ප්‍රවාහන පහසුකම් සැලසීම වැනි අංශ පිළිබඳ අවධානය යොමුකර තිබෙන බවත්, රජය මෙම ගැටලු දෙස ගැඹුරින් බලමින්, එයට දිගුකාලීන විසඳුම් සෙවීම කෙරෙහිද අවධානය යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.

අධ්‍යාපන ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත්කරලීමට රජයක් වශයෙන් දක්වන කැපවීම සහ ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ UNICEF නියෝජිත පිරිස මෙහිදී රජයට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව පැවසූ අතර ඉදිරි කටයුතු දෙපාර්ශ්වය එක්ව සිදුකරගෙන යාම පිළිබවද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ UNICEF නියෝජිත Emma Brigham, ලක්ෂ්මී සුරේෂ්කුමාර්, නිශාන්ත සුබාෂ් , යෂිංක ජයසිංහ යන මහත්ම මහත්මීන්ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අධ්‍යක්ෂ දක්ෂිණ කස්තුරිආරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් ගුණරත්න, උදාර දික්කුඹුර යන මහත්ම මහත්මීන්ද සහභාගීවූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය