බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන පස් වසරක පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම "හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030" එළිදැක්වීමේ අවස්ථාව පෙබරවාරි 27 දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සැලැස්මේ පුනර්ජනනීය බලශක්ති ක්‍රම හා ඩිජිටල් ක්‍රමෝපායන් හඳුනා ගැනීම, ඒවා කාර්යක්ෂම හා පරිසර හිතකාමී ලෙස භාවිතය, එම බලශක්ති ක්‍රම මගින් රටේ ආර්ථික ශක්තිය ඉහළ නංවාගන්නා ආකාරය පිළිබඳව කරුණු ඇතුළත් වේ.
මෙහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ,
"පුනර්ජනනීය බලශක්ති කළමනාකරණය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම එළි දක්වන මේ වටිනා අවස්ථාවේ ඔබව ඇමතීමට ලැබීම සතුටක්.
මේ අවස්ථාවේ අපි එකතුවෙලා ඉන්නේ මෙම ව්‍යාපෘතිය එළිදක්වන්න විතරක් නෙමෙයි. අනාගතේ අපේ රට තුළ ශක්ති පරිවර්තනයක් සිදු කරන්න. ශ්‍රී ලංකාව තිරසර බලශක්ති භාවිතය වෙත රැගෙන යන්න මූලිකත්වය ගෙන කටයුතු කරන්න ලංකා විදුලි බලමණ්ඩලයත්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිය අධිකාරියත් දායක වුණා.
බලශක්තිය අමාත්‍යාංශය වසර පහක් සඳහා වටිනා ක්‍රියාකාරී සැලැස්ම "හරිත බලශක්ති කඩිනම් කිරීමේ සැලැස්ම 2025-2030" ඉදිරිපත් කිරීම ගැන මම සතුටට පත්වෙනවා.
මෙමගින් බලශක්තිය තිරසර භාවිතය ප්‍රවර්ධනය කිරීමත් ,එම බලශක්තිය හඳුනාගැනීමත්, බලශක්තිය සංරක්ෂණය සහ ගබඩා කරන ක්‍රම පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙනවා.
මෙහි මූලික අරමුණ පුනර්ජනනීය බලශක්ති හඳුනා ගැනීම හා ඒවා ප්‍රවර්ධනය කිරීම මගින් ඉදිරි වසර 5 තුළ ලංකාවේ විදුලි අවශ්‍යතාවය අඩුකිරීම හා විදුලිය සඳහා අවශ්‍ය මූලික පිරිවැය අඩු කිරීමයි.
අපේ අරමුණ වන්නේ ඉදිරි වසර පහක කාලය තුල පුනර්ජනනීය බලශක්ති නිපදවීම ඉහල නැංවීම හා සියලු ශ්‍රී ලාංකිකයින්ට දැරිය හැකි මිලකට විදුලිය ලබාදීමයි.
අපගේ බලශක්තිය පිළිබඳ පනත් මූලික මාර්ග තුනක් යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමු වැන්න සූර්ය ශක්තිය, සුළං ශක්තිය හා ජලය වැනි පුනර්ජනනීය බලශක්ති යොදාගෙන අවම කාබන් ප්‍රමාණයක් පරිසරයට විමෝචනය වන ආකාරයෙන් පහසු මිලකට හා විශ්වාසදායි ලෙස බලශක්තිය ලබා දීම. දෙවැන්න වන්නේ පුනර්ජනනීය බලශක්ති, ඩිජිටල් ක්‍රමෝපායන් වැනි ව්‍යාපෘතිවල ඇති වැදගත්කම හා බලශක්ති ආකාර විශ්වාසදායී ලෙස නූතන ක්‍රම යටතේ ලබා ගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. තුන්වැන්න නම් බලශක්ති පරිවර්තනය සඳහා නූතන ක්‍රම බලශක්ති ක්ෂේත්‍රය වෙත හඳුන්වා දීමයි. අද ලෝකයේ බොහෝ දියුණු ක්‍රම භාවිත වන අතර ඒවා අප රටට හඳුන්වා දෙමින් නූතන ලෝකය හා ශක්තිමත් තරගකාරී බලශක්ති ක්ෂේත්‍රයක් නිර්මාණය කළ යුතුයි.
මෙය නිකන්ම සැලැස්මක් විතරක් නෙවෙයි මෙය වසර 5 තුල ගමන් කල යුතු මගපෙන්වීමක්. මෙහි බලශක්ති හඳුනා ගැනීම ඒවා වර්ධනය කිරීම, ජනතාවට හඳුන්වාදීම, කාර්යයන් සදහා ගතවන කාලසීමාව, වෙන් කරන ලද ප්‍රතිපාදන සහ අත්‍යාවශ්‍ය පනත් ආදී බොහෝ කරුණු අඩංගු වෙනවා.
දේශීය මෙන්ම විදේශීය සම්බන්ධතා උපයෝගී කරගෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගත යුතුයි . පුනර්ජනනීය බලශක්ති ක්‍රම යොදාගෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ බලශක්ති අවශ්‍යතාව පරිපුර්ණ කර ගැනීමට අපි එක්ව කටයුතු කරමු."
මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි , නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග වීරරත්න, ජනිත් රුවන් කොඩිතුවක්කු බලශක්තිය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල , විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය