කාන්තා විද්‍යාඥයින්ට නායකත්වය ගත හැකි, සංවර්ධනයට දායක විය හැකි සහ නවෝත්පාදන සිදු කළ හැකි නිදහස් පරිසරයක් රටතුළ තිබිය යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කාන්තා විද්‍යාඥයින්ට නායකත්වය ගත හැකි, සංවර්ධනයට දායක විය හැකි සහ නවෝත්පාදන සිදු කළ හැකි නිදහස් පරිසරයක් රටතුළ තිබිය යුතුයැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජාතික විද්‍යා පදනම (NSF) සහ ශ්‍රී ලංකා විද්‍යා ප්‍රවර්ධන සංගමය (SLAAS) එක්ව අන්තර්ජාතික කාන්තා දිනය සැමරීම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පිඨයේ සංවිධානය කර තිබූ කාන්තා විද්‍යාඥ මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළාය.

ශ්‍රී ලංකාවේ විද්‍යා ක්ෂේත්‍රය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ කතිකාවක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) ක්ෂේත්‍රවල කාන්තා සහභාගිත්වය ශ්‍රී ලංකාවේ සමාජ-අර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යයි. ස්ත්‍රී පුරුෂ සමානාත්ම ප්‍රතිපත්ති, නායකත්වයේ සමනාත්මක නියෝජනය සහ විද්‍යාඥවරියන් ලෙස කාන්තාවන්ට ඇති අපහසුකම් සහ බාධක ඉවත් කළ යුතුයි.

අන්තර්ජාතික කාන්තා දිනය කියන්නේ උත්සවයකට අමතරව පරිශීලනය, පිළිගැනීම සහ ක්‍රියාමාර්ග ගැනීමේ සංකේතයක්. අපේ සමාජය තුළ කාන්තාවන් දක්වන දායකත්වය සහ මෙහෙවර ගෞරවයෙන් සැලකිල්ලට ගත යුතුයි. ඒ වෙනුවෙන් කාන්තා නායකත්වය හා ප්‍රවර්ධනයට එල්ලවන බාධක ඉවත් කිරීම සඳහා කැපවීම අත්‍යවශයයි.

STEAM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලාව සහ ගණිතය) ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය වැඩිවීම හා සමානාත්මතාවය ඉතා වැදගත් වගේම නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධනයක් ඇති කිරීමත් ශ්‍රී ලංකාවට අත්‍යවශයයි.

ගෝලීය පර්යේෂණ මඟින් පෙන්වා දී තිබෙනවා STEAM ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය වැඩිවීම තුළින් වඩාත් ඉහළ විද්‍යාත්මක ප්‍රතිපල, නවෝත්පාදනයන් සහ පරිසර හිතකාමී සංවර්ධනය වඩා හොදින් සිදුවන බව.

කාන්තාවන්ගේ විද්‍යාත්මක දක්ෂතා අවහිර කරමින් රට ඉදිරියට යා නොහැකියි. කාන්තා විද්‍යාඥයින්ට නායකත්වය ගත හැකි, දායක විය හැකි සහ නවෝත්පාදන සිදු කළ හැකි නිදහස් පරිසරයක් තිබිය යුතුයැයි අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය