අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට අපි යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අපි කුළුණු පහකින් මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා.
රජය විසින් 2025 ඉදිරිපත් කරල තියෙන අයවැය ඉතිහාසයේ වැඩිම මුදල අධ්‍යාපනයට වෙන් කර ඇති බවත් , අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කුළුණු පහකින් යුතු සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත් අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2025 වර්ෂයේ අයවැය විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වැය ශිර්ෂය විවාදයට ගැනෙන මාර්තු 10 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළාය.
"මෙම පාර්ලිමේන්තුවේ විශ්ව විද්‍යාලයෙන් ආපු අපි 14 දෙනෙක් ඉන්නවා මෙතන. අපේ ඉතාම කිට්ටු සගයෙක් වුන ආචාර්ය ජානකී ජයවර්ධන දින දෙක තුනකට කලින් ඉතාමත් අනපේක්ෂිත විදිහට රිය අනතුරකින් අපෙන් වෙන්වෙලා ගියා.ආචාර්ය ජානකී ජයවර්ධන ගැන මාගේ කතාව ආරම්භයේදීම මතක් කරන්නේ , ඇය අපෙන් වෙන්වීම පිළිබඳව සංවේගය ප්‍රකාශ කිරීමටම පමණක් නෙවෙයි. ආචාර්ය ජානකී ජයවර්ධන කියන්නේ විශ්ව විද්‍යාල ප්‍රජාව හැටියට අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවනම් යම්කිසි පරමාදර්ශී පෞර්ෂයක් වෙන්න, ජානකී එවැනි පරමාදර්ශී චරිතයක්. ඇයගේ ශිෂ්‍ය ප්‍රජාවෙන් ඇය ගැන ඇහුවොත් ඇයට පුදුම ආදරයක් ශිෂ්‍යයන් ඇයට දැක්වුවේ, ඒ විතරක් නෙවෙයි අපේ සගයෙක් විදිහට අපිට ඉතා කිට්ටුවෙන් වැඩ කරලා අපිට විශාල ආදර්ශයක් ශක්තියක් දුන්න චරිතයක්. එවැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපට අහිමිවීම පුද්ගලිකව වඩා මේ රටට බරපතල අහිමිවීමක්. ඒ නිසයි මම ඇය ගැන කියමින් මේ කතාව ආරම්භ කරන්නේ.
ඔබ සියලු දෙනාම දන්නවා 2011- 2012 වර්ෂ තුළ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ආරම්භ කරපු අරගලය, සුවිශේෂී අරගලයක්. ඒ සමිතිය හරහා වෘත්තීය අරගලයකට එහා ගිය සමාජ අරගලයකට නායකත්වය දෙන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරා.
2011- 2012 වෘත්තීය සමිති අරගලයක්ම විතරක් නෙමෙයි.එය අධ්‍යාපනය වෙනුවෙන් දියත් කරපු අරගලයක්. ඒකට වෘත්තීය සමිති විතරක් නෙවෙයි සම්බන්ධ වුනේ අධ්‍යාපනය පිළිබඳ යම් හැඟීමක්, සංවේදීභාවයක් දක්වපු ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ සියලුම දෙනා එකතු වුන අරගලයක්. ඒක වෙනත් වෘත්තීය සමිති, ගුරු වෘත්තීය සමිති වගේම සිවිල් සමාජය පුරවැසියන් හැටියට එකතුවෙලා කරපු අරගලයක්. මේ අරගලය තුළ සමාජයටත් විශාල පණිවිඩයක් දුන්නා පොදු දෙයක් වෙනුවෙන් අපි සියලු දෙනාටම දැනෙන අපි සියලු දෙනාටම විශාල සංවේදීභාවයක් දැනෙන අධ්‍යාපනය වැනි විෂයක් පිළිබඳව අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රයක් පිළිබඳව අපි සියලු දෙනාටම එකතුවෙලා අරගල කරන්න පුළුවන, මේක බේරගන්න කියලා. ඒ සටනේදී අපිට නායකත්වය දීපු කෙනෙක් තමයි ආචාර්ය ජානකී ජයවර්ධන කියන්නේ. ඇය ඒ නායකත්වය දුන්නේ නිහඩව. ඒකයි ඒක වටින්නේ. එයා ලොකුවට වේදිකාවල කතාවලින් මතු වුණේ නෑ. නමුත් ඒ වෘත්තීය අරගලය සාර්ථක කරගන්න බැරි වෙනවා එතුමිය හිටියේ නැත්නම්. ඔබ සියලු දෙනාටම මතක ඇති ඒ අරගලය තුළ අපි දින පහක පාගමනක් දියත් කළා. ගාල්ලේ ඉඳන් කොළඹ දක්වා ඒ පාගමන කරනකොට අපි සියලු දෙනාම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තැඹිලි සහ කළුපාට ටී ෂර්ට් 6% ලෙස සටහන් කරපු ටී ෂර්ට් ඇදන් හිටියා. එම ටී ෂර්ට් හදන්න අපිට මුදල් තිබ්බෙ නෑ ඒ කාලේ. ආචාර්ය ජානකී ජයවර්ධනගේ ඉඩමක් විකුණලා ලැබුණු මුදලින් තමයි ඒ ටී ෂර්ට් අපි හැදුවේ. ඇය එවැනි චරිතයක්. එයා විශ්වාස කරන දෙයක් වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න පුළුවන් කෙනෙක්. බය නැතුව නායකත්වය දෙන්න පුළුවන් කෙනෙක්. මෙවැනි මොහොතවල්වල ඇය නැති එක අපිට හොඳටම දැනෙනවා. එවැනි චරිත අපිට අවශ්‍යයි.
විශ්වවිද්‍යාලයට, සමාජයට අවශ්‍ය වෘත්තීය අනන්‍යතාවයට එහා ගිය සමාජ වගකීමක් දකින තමාගේ ශිෂ්‍යයන්, තමාගේ විෂය සහ ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්, නායකත්වයක් දෙන්න පුළුවන් කැපවීම් කරන්න පුළුවන් චරිතයක්. එවැනි චරිත අද අපිට අවශ්‍යම මොහොතක ඇය නැති වීම පිළිබඳව මම බලවත් සංවේගය පළ කරනවා. ඇයගේ පවුලේ සාමාජිකයන්ට, ඇගේ අඩුව හොඳටම දැනෙන ශිෂ්‍යයන්ට, සගයන්ට මෙන්ම ඇයට සහායට හිටියා විශාල මිතුරු කණ්ඩායමක් ඒ සියලු දෙනාටම මාගේ සංවේගය මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා.
මම ඇයව මේ මොහොතේ මතක් කරන්නේම ඇය වෙන්වීම තුලින් අපිට දැනෙන ශෝකයටත් එහා ඇය අපිට ආදර්ශයක් වගේම ඇයගෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලැබුණු ආලෝකය අපිට නැතිවීම පිළිබඳවත්,එවැනි චරිත අපිට අවශ්‍ය වන නිසා ඇය අනිවාර්යෙන්ම අපි මතක තබා ගත යුතු කෙනෙක් කියලා මම මගේ කතාව ආරම්භ කරන්න කැමතියි.
අපේ රජය විසින් 2025 ඉදිරිපත් කරල තියෙන අයවැය තුළ මෙතෙක් කල් අධ්‍යාපනයට වෙන් කළ මුදලට වඩා විශාල මුදලක් වැඩි කරලා තියෙනවා. බිලියන 619ක මුදලක් ඉදිරි මාස 08 විතරක් වෙන් කරලා තියෙනවා. ඒ හරහා ප්‍රාග්ධන වියදමට විතරක් බිලියන 21ක් වෙන්වෙලා තියෙනවා මෑත ඉසිහාසය තුළ අධ්‍යාපන ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් වෙලා තියෙන වැඩිම මුදල තමයි ඒ.
මේක වියදම් කරන්න අපි පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අධ්‍යාපනය අපි හරි විදිහට හදන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙන සමාජ පරිවර්තනය සිද්ධ කරන්න බෑ. අධ්‍යාපන පරිවර්තනය හරහාම තමයි අපි බලාපොරොත්තු වෙන ඒ සමාජ, දේශපාලන හා ආර්ථික පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ මුදල වියදම් කරන සැලැස්ම ගැන කතා කිරීමේදී අධ්‍යාපනය පරිවර්තනය ගැන බැරෑරුම් ලෙස කල්පනා කරමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනා ගනිමින් තමයි මේ අයවැය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට අපි යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අපි කුළුණු පහකින් මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි විෂය නිර්දේශය යාවත්කාලීන කිරීම. ඒක විෂය නිර්දේශය යාවත්කාලීන කරන එක විතරක් නෙමෙයි. ඒක සමාජය පරිවර්තනය කිරීමට අවශ්‍ය මානව සම්පත බිහි කිරීමේ දිශාවට ගෙනයන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් හදන්න පුළුවන් නව විෂය මාලාවක් ඉදිරිපත් කරන්න අපි යෝජනා කරගෙන ඉන්නවා.ඒ සදහා අමාත්‍යාංශයට මිලියන 250 ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව ව්‍යාපෘතී සිදු කිරීමට මිලියන 160 ක් වෙන් කරලා තියෙනවා.
මීට කලිනුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරල තියෙනවා, විවිධ අවස්ථාවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් අවුරුදු ගණනාවකින් මේක හරියට ක්‍රියාත්මක වෙලා නෑ.මේකට ප්‍රධාන හේතුව තමයි, මේ ප්‍රතිසංස්කරණය කරන්න නම් විෂය නිර්දේශය විතරක් වෙනස් කරලා හරියන්නෑ. තව කොටස් තියෙනවා.අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ කරුණු පහක් හදුන්වලා තියෙන්නේ ඒ නිසයි. එකෙන් එකක් තමයි විෂය නිර්දේශය ඒ නිසා තමයි අයවැය තුළ අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත සූදානම් කිරීමට. ඒ ගුරුවරු විතරක් නෙමෙයි නෙමෙයි ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපනවේදීන්, අධ්‍යාපන පරිපාලන සේවයේ ඉන්න අය මේ සියලු දෙනාගෙම ධාරිතාව වර්ධනය කිරීම සඳහා අපි විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ඒක තමයි අපේ දෙවැනි කුළුණ. ඒ සඳහා මේ අයවැය තුළින් ඓතිහාසිකව ධාරිතාව වර්ධනය වෙනුවෙන් වැඩිම මුදලක් අපි වෙන් කරලා තියෙනවා. මිලියන 1640 මේ වෙනුවෙන් මෙච්චර කාලෙකට මේ තරම් මුදලක් වෙන් කරලා නැහැ. මේක අපිට කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා.
ඔබ දන්නවා ගුරුවරුන් බිහිකරන්න විශේෂයෙන්ම අපි දැනට ගුරුසේවයේ හෝ ඒ ආශ්‍රිත සේවාවන්වල ඉන්න මානව සම්පතට එහා ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ ගුරු විද්‍යා පීඨවල, විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපන පීඨ තුළින් පුහුණුවන ගුරුවරයා ගැනත් අපි අවධානය යොමු කරලා කරලා තියෙනවා.
ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක තමා අපේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ තියෙන්නේ. මම පොළොන්නරුවේ සහ යාපනය විද්‍යා පීඨ නිරීක්ෂණය කරන්න ගියා. ඒකෙ ඉන්න ශිෂ්‍යයන්ට කවද හරි ගුරුවරුන් වෙන්න නියමිත ඒ ශිෂ්‍යයන්ට කිසිම පහසුකමක් නැහැ. හරියට නේවාසික පහසුකම් නෑ , වතුර නෑ, අපි පාසල් වල ස්මාර්ට් පන්ති කාමර ගැන කතා කරනවා. ඒ වුණාට ඒ පාසල්වල උගන්වන්න ඉන්න ගුරුවරුන්ට ඉගෙන ගන්න තියෙන්නේ කළු ලෑල්ල. හරියට විදුලි පහසුකම් නෑ, යටිතල පහසුකම් නෑ, ඒ නිසා තමයි අපි මේකට විශේෂ අවධානයක් මේ අවුරුද්දේ යොදවන්නේ. ඒ වගේම ඔබ දන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ යටිතල පහසුකම් සම්බන්දයෙන් පාසල්වල විවිධ ව්‍යාපෘති කරලා තිබ්බා. ලඟම පාසල හොඳම පාසල 2016 ඉඳලම යහපාලනය ඔස්සේ ක්‍රියාත්මක කරනවා. නමුත් අදටත් දරුවන්ට අනතුරුදායක භයානක හරියට හදලා ඉවර කරපු නැති ගොඩනැගිලි තියෙනවා. හොඳ බෝඩ්,ගේට්ටු සහ තාප්ප තියෙනවා හැබැයි ඒවායින් ඇතුල් වුනාට පස්සේ දරුවන්ට හොඳ පහසුකම් තියෙන ගොඩනැගිලි නෑ. ජලය නෑ. අදටත් තියෙනවා අවම සනීපාරක්ෂක පහසුකම්වත් නැති පාසල්. ඒ නිසා අපි මේකට විශේෂ අවධානයක් යොදවලා පාසල් වල ඉවර කරලා නැති බාගෙට සකස් කරලා තියෙන ඒ ව්‍යාපෘති සම්පූර්ණ කරන්න මිලියන 11,000 ක් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.
අපේ රටේ දරුවන් මේ අවුරුද්දේ ඉඳන්වත් සනීපාරක්ෂක පහසුකම් නැති පාසලකට යන එක අපි වළක්වන්න තීරණය කරලා තියෙනවා. වතු ප්‍රජාව තුළ පාසල් වලට අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ රේඛීය අමාත්‍යාංශය හරහා මිලියන 11,126 ක් සහ පළාත් සභා හරහා මිලියන 14,896 වෙන් කරලා තියෙනවා. ඒ හරහා අපිට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒ තමයි අපේ තුන්වන කුළුණ.
හතරවැනි කුළුණ තමයි ළමයින්ට උගන්වන්නත් ඕනේ ඒ ඉගෙනුම් ක්‍රියාවලිය ඇගයීමකට ලක් කරන්නත් ඕන. ඇගැයීම් සඳහා ඒ විශේෂ වගකීම තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවට, විභාග දෙපාර්තමේන්තුවේ කාලයක් තිස්සේ සපුරා නැති අවශ්‍යතා ගොඩක් තියෙනවා. මට මතකයි මං පාර්ලිමේන්තු ආව පළවෙනි අවුරුද්දෙම විමසුවා විභාග දෙපාර්තමේන්තුව වෙනුවෙන් වියදම් කරලා තියෙන ප්‍රාග්ධනය ගැන. ඉතාමත්ම අඩුයි. මේ අවුරුද්දේ අපි විභාග දෙපාර්තමේන්තුවට මිලියන 12,360 ක් වෙන් කරලා තියෙනවා. ඇගයීම් ක්‍රියාවලිය ශක්තිමත් කරන්න, ධාරිතාවය වැඩි කරන්න විභාග දෙපාර්තමේන්තුව සඳහා මේ මුදල වෙන් කරලා තියෙනවා.
අපේ අධ්‍යාපන ක්‍රමය ගැන තියෙන විශාලම ප්‍රශ්නය තමා විභාග කේන්ද්‍රීය ක්‍රමය තුළ දරුවට ලැබෙන මානසික පීඩනය. ඒක වෙනස් කරන්න නම් ඒ ඇගයීමට ප්‍රධාන වගකීමක් දරන එම ආයතනය අපි ශක්තිමත් කළ යුතුයි.
අපේ පස්වෙනි කුළුණ තමයි අපි දකින විදිහට අධ්‍යාපනය කියන එක අමාත්‍යාංශවත්, දරුවන්ගෙවත්, ගුරුවරුන්ගෙවත් , පාසල් වලවත් වගකීමක් විතරක් වෙන්න බෑ .මේක සමාජයේම සූදානම් වෙන්න ඕන පරිවර්තනයක්. මේක සිදුකරන්න සමාජ කතිකාවතක් අවශ්‍ය වෙනවා. මේ වගේ අවස්ථාවලදී තමා මට ආචාර්ය ජානකී ජයවර්ධනව මතක් වෙන්නේ. මේ සඳහා අපිට සමාජ කතිකාව හදන්න සමාජ ක්‍රියාකාරීන් අවශ්‍යයි. ඒ සමාජ කතිකාවත හැදීම අපේ සැලැස්ම තුළ තියෙනවා. ඒ වගේම අපි දරුවන්ගේ සුභසාධනය සඳහාත් වෙන්කරලා තියෙනවා.
මම උසස් අධ්‍යාපනය ගැනත් විශේෂ දෙයක් කියන්න ඕන. උසස් අධ්‍යාපනය තුළත් ගුණාත්මකභාවයට අපි ප්‍රමුඛ තැනක් දීල තියෙනවා. නිකන් විශ්වවිද්‍යාල හදන එක නෙමෙයි විශ්ව විද්‍යාල හදනවා කියන්නේ බෝර්ඩ් එකක් හදන එක නෙමෙයි. අපිට ඕන තරම් උදාහරණ තියෙනවා අතිශයින්ම පුද්ගලික දේශපාලන හේතු නිසා විශ්වවිද්‍යාල, පීඨ සහ පාඨමාලා පටන් අරන් තියෙනවා අතිශයින්ම පුද්ගලවාදී හේතු නිසා. ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව කිසිම පසු විපරමක් කරලා නෑ. ඒ විතරක් නෙවෙයි ඒක තුළින් ඒ ශිෂ්‍යයන්ට වෙන ප්‍රතිලාභ, ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට සිද්ධවෙන දේ ගැන කිසිම අවධානයක් යොමු කරලා නෑ. ඒ නිසා තමයි අපි අපේ උසස් අධ්‍යාපන සැලැස්ම තුළ මෙහි ගුණාත්මකභාවය වැඩි කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා තියෙන්නේ.
ඒ වගේම තමයි ශිෂ්‍ය සුභසාධනය. තරුණ තරුණියන් ඉන්නේ මොන තත්ත්වයකද ,අධ්‍යාපනය ගැන හෝ තමාගේ අනාගතය ගැන කිසිම විශ්වාසයක් ඔවුන්ට නෑ.ඒ සිසු ප්‍රජාවටත් ගරුත්වයකින් සලකන්න ඕන. ශිෂ්‍ය ප්‍රජාව වැඩි කරලා තියෙනවා. නමුත් ශිෂ්‍ය ප්‍රජාවට අවශ්‍ය පහසුකම් ගැන කිසිම අවධානයක් දීලා නෑ. මං ඊයේ අම්පාර හිටියේ , මං හාඩි ආයතනයට ගියා. මට ඇත්තටම පුදුම හිතුනා. 1955 ආරම්භ කරපු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් දක්වන ආයතනයක්. ඒ ළමයින් ඉන්න තත්ත්වයන් දැක්කහම පුදුම හිතෙනවා. මං ඒක සභාගත කරනවා මං ගත්ත පින්තූර. කුකුලන්ට අදින වයර් දාලා තියෙන්නේ, හරියට තාප්පවත් නෑ, ලයිට් නෑ, මදුරුවෝ හැමතැනම. ඒ දරුවන්ට උයාගෙන කන්න තියෙන කුස්සියේ හැටි දැක්කහම කොහොමද එතන උයන්නේ කියලා හිතෙනවා. දවසට එකපාරයි ඒ දරුවන් රෑට විතරයි උයාගෙන කන්න වෙලාව තියෙන්නේ. ගොවිපලක් කියලා එකක් තියෙනවා. මම දැක්කා ඒකෙ ඉන්නේ එළුවෝ දෙන්නෙක් විතර එහෙන් මෙහෙන් දැක්කා. 1955 දකුණු ආසියාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් මානව සම්පත බිහි කරන්න හදපු ආයතනයක්. මේ කිසි දේකට අවධානය දීලා නෑ. ඒ වගේම තමයි කිලිනොච්චි වල ජර්මන් ටෙක් ආයතනය. එකේ ළමයින්ට හොස්ටල් නෑ ,ළමයි නාන්නෙ කරන්නේ, පීඨයකට හදපු ඔෆිස් එකේ වැසිකිලි වලින්.මේවා නැතුව කොහොමද දරුවන්ට අධ්‍යාපනය ගැන හැඟීමක් ,පෞරුෂයක් ලබා දෙන්නේ. මෙම යටිතල පහසුකම් වෙනුවෙන් මිලියන 36,841වෙන් කරලා තියෙනවා උසස් අධ්‍යාපනය වෙනුවෙන්.උසස් අධ්‍යාපන ආයතනවලින් ඉල්ලා සිටිනවා දරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්න ප්‍රමුඛතාවය දෙන්න කියලා. ඔවුන් ඉන්නේ කොහොමද කන්නේ බොන්නේ කොහොමද කියන එක ගැන හොයන්න ඕනෑ.
ඊළඟට අපේ අමාත්‍යංශයට ලැබිලා තියෙනවා වෘත්තිය අධ්‍යාපනයත්. වෘත්තීය අධ්‍යාපනයත් අතෑරපු, කුඩම්මගේ සැලකිලි ලබන ක්ෂේත්‍රයක් වෙනුවට දියුණු අද ලෝකෙට ගැලපෙන එතනින් තමා අපිට අවශ්‍ය ශ්‍රම බලකාය සෘජුවම නිර්මාණය වෙන්නේ , අන්න ඒ ශ්‍රම බලකාය නිර්මාණය වෙන ඒ ශ්‍රම බලකාය අවශ්‍යතාවය අනුව නූතන ශ්‍රම බලකායේ අවශ්‍යතාවය අනුව අනාගත ශ්‍රම බලකායේ අවශ්‍යතාව ගලපගන්න පුළුවන් දියුණු සහ වෘත්තීය වටිනාකමක් ඇති තෝරා ගැනීමක්, තරුණයෙක්ගෙ තෝරා ගැනීමක් වන ක්ෂේත්‍රයක්, දියුණු අධ්‍යාපන ක්ෂේත්‍රයක් අපි නිර්මාණය කරනවා.
අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේක පක්ෂ,පාට, කිසිම බෙදීමකින් තොරව, මේ විෂය දිහා බලමු. මේ විෂයට අපි අවධානය දෙමු. මේ අපේ රටේ අනාගතය අතිශයින්ම වැදගත් ක්ෂේත්‍රයක්. මේ හරහා තමයි අපේ රට අපේ දරුවන් මේ ලෝකයට සුදුසු විදිහට හදාගන්න පුළුවන්. ඒක මොළේ හදන එක විතරක් නෙමෙයි හදවතක් තියෙන මනුෂ්‍යත්වය තියෙන, ශිෂ්‍ඨ සම්පන්න සමාජයක් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අධ්‍යාපනය පිරිවර්තනය විය යුතුයි. මානවවාදී විය යුතුයි. ඒ වෙනස අනිවාර්යෙන්ම අපි කරනවා" යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය