ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්

2025 නොවැම්බර් 20 වන දින, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම හමුවේ දී තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කළ අතර, ෆුල්බ්‍රයිට් ජාත්‍යන්තර ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් අවධාරණය කළා ය.

ජාත්‍යන්තර අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව මුල් කරගනිමින් සිදු කරනු ලබන එක්සත් ජනපද රජය විසින් ගෙන යන ප්‍රමුඛ ශිෂ්‍යත්ව වැඩසටහනක් වන ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන, රටවල් 160 කට වැඩි ගණනක සිසුන් සහ විද්වතුන් සඳහා අධ්‍යයනය කටයුතු, ඉගැන්වීම්, පර්යේෂණ, අදහස් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙයි.

විභාග පාදක පද්ධතියකින් සහයෝගී ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් ගොඩ නැඟීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රයන්හි තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, රටේ මානව සංවර්ධන ප්‍රමුඛතා සමඟ සමපාත වන විද්වතුන් බිහි කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිසට මහජන කටයුතු නිලධාරි Menaka Nayyar මහත්මිය, ඇමරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය Patrick McNamara; සහ ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය සහ SGBV සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නවක වදය වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රභා මනුරත්න ඇතුළත් වූ අතර ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ මහත්මිය ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය