ඉතිහාසයේ පළමු වතාවට නුවර පල්ලි දළදා වදින්න එන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විවෘත වුණා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ඉතිහාසයේ පළමු වතාවට නුවර පල්ලි දළදා වදින්න එන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විවෘත වූ බවත්, ජාති ආගම් බේද නොමැතිව සියළු දෙනාම ශ්‍රී ලාංකිකයින් බවට ජනතාව හිතන්න පටන්ගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කුරුණැගල පරගහදෙනිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේබව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

මේ රට වෙනස් වෙමින් යනවා ඒ අනුව අපිත් අලුත් විදියට කටයුතු කරන්න ඕන. අලුත් විදියකට අපි වැඩ කරන්න ඕන කියන හැඟීම ජනතාව තුළ එන්න පටන් අරගෙන තියෙනවා. ඒක අපේ අමාත්‍යංශවලත් අපිට පේනවා. මේ දවස්වල සමහර වෙලාවට අමාත්‍යංශයට යන්නේ බොහෝ විට හවස 5 පහුවෙලා. ඒ ගිහින් සාකච්ඡාවක් ගන්න කමක් නැද්ද ඇහුවම නිලධාරීන් කියනවා කමක් නෑ වෙලාව ප්‍රශ්නයක් නෑ කියලා අද රාජ්‍ය නිලධාරීන් රෑ වෙනකමි වැඩකරන්න පටන් අරගෙන රාත්‍රී නමය දහය වෙනකම් වැඩ කරන්න ඒ අය සූදානම්. නිලධාරීන් දැන් බය නැතුව වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා

මේ දවස්වල දළදා වන්දනාව සිද්ධ වෙනවා. එතන ජනතාව කොහොමද හැසිරුණේ කියලා බලන්න. විශේෂයෙන්ම ඉතිහාසයේ පළමු වතාවට නුවර මුස්ලිම් පල්ලි මුලු රෑ පුරාම දළදා වදින්න එන ජනතාව වෙනුවෙන් විවෘත වෙලා තිබුණා. නිදාගන්න ඉඩ දුන්නා. එතන ජාති ආගම් ප්‍රශ්න තිබ්බේ නෑ. එතන තිබුණේ වෙනත් ජාතියකට ගරු කිරීමක්, වෙනත් ආගමකට ගරු කිරීමක් තිබුණේ. මෙහෙම වෙන්නේ සිංහල, මුස්ලිම්, දෙමළ නෙමෙයි සියලු ජනතාව නියෝජනය කරන ශ්‍රී ලාංකික ආණඩුවක් කියන හැගීම නිසා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය