කාන්තාවන් විසින් සිදු කරන සත්කාරක සේවාවන් සඳහා ලබා දෙන අවධානය අඩු වීම අහඹු සිදුවීමක් නොවන බවත්, එය ලොව පුරා ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයින් විසින් නිරන්තරයෙන් මතු කරන ස්ත්‍රීවාදය සම්බන්ධ ප්‍රධාන ගැටලුවක් වන අතර ව්‍යුහාත්මක මෙන්ම ස්ත්‍රීවාදී ගැටලුවක් වන වැටුප් නොලබා කාන්තාවන් සිදු කරනු මෙවැනි සත්කාරක සේවාවන් සඳහා විසඳුම් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹදී පැවති “South-4-Care Learning Hub: Advancing Decent Work in the Care Economy in South Asia” වැඩසටහනේ ආරම්භක සැසිය අමතමින් අප්‍රේල් 21 දින අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
සත්කාරක සේවා ආර්ථික හා සමාජ ක්‍රියාකාරීත්වය සඳහා බලපාන මූලික අංගයන් වන බවත්, එය තවදුරටත් නොසලකා සිටිය නොහැකි බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.
දකුණු ආසියාතික රටවල සහභාගීත්වයෙන් අප්‍රේල් 21 සිට 24 දක්වා පැවැත්වෙන මෙම කලාපීය වැඩසටහන, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ලෝක බැංකුව සහ ILO අන්තර්ජාතික පුහුණු මධ්‍යස්ථානය (ITCILO) සමඟ සහයෝගයෙන් සංවිධානය කර තිබේ.
මෙම වැඩසටහන හරහා රටවල් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම, ධාරිතාව ශක්තිමත් කර ගැනීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ගැටලු සඳහා විසදුම් ලබා දෙමින් ස්ථාවර ආර්ථිකයක් සඳහා වන මාර්ග හඳුනා ගැනීමට කලාපීය වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ලබයි.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
කාන්තාවන් සිදු කරන සත්කාරක සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු සහ රැකවරණය වගේම ආර්ථික තත්ත්වය තවදුරටත් නොසලකා සිටිය නොහැකියි. එය ආර්ථික ක්‍රියාකාරීත්වය සහ සමාජය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය අංගයක්. ගෘහස්ථ සේවය, ළමා හා වැඩිහිටි රැකවරණය හෝ ප්‍රජා සහයෝගය හෝ වේවා එය විධිමත් මෙන්ම අවිධිමත් ආර්ථිකයට පදනම සකස් කරනවා. සත්කාරක සේවාව යනු ළමා හා වැඩිහිටි රැකවරණ සේවාවන් ලබා දීම හෝ ප්‍රජා ආරක්ෂාව ශක්තිමත් කිරීමට පමණක් සීමා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වැටුප් නොලබා සිදු කරන සත්කාරක සේවා හරහා ආර්ථිකයට ලැබෙන දායකත්වය හඳුනා ගත යුතුයි.
වැටුප් නොලබා සිදු කරනු ලබන සත්කාරක සේවා කාන්තාවන්ට ශ්‍රම බලකායට සහභාගී වීම සඳහා ඇති ප්‍රධාන බාධාවක්. ඵලදායී ශ්‍රම සහභාගීත්වය යන්න වැටුප් ලබා සිදු කරනු ලබන කාර්යයන් ලෙස පමණක් නිර්වචනය කිරීම සිදු නොකළ යුතුයි ඒවගේම කාන්තාවන්ට ශ්‍රම බලකායට සහභාගී වීමේ හෝ සහභාගී නොවීමේ සිය තේරීම සිදු කිරීමට අවස්ථාවක් තිබිය යුතුයි. නමුත්, පවුල සහ සමාජය පවත්වාගෙන යාම සඳහා ඔවුන් වැටුප් නොලබා සිදු කරන කාර්යයන් හරහා අපගේ ආර්ථිකයට ලැබෙන දායකත්වය අනිවාර්යයෙන් හඳුනාගැනීමත් අවශ්‍යයි. එය ආර්ථිකයේ ඉතා වැදගත් වගේම තවමත් වටිනාකම ලබා නොදුන් අංශයක්, ඵලදායී ශ්‍රම සහභාගීත්වය” යන්න වැටුප් ලබා සිදු කරනු ලබන කාර්යයන් ලෙස පමණක් නිර්වචනය කිරීම සිදු නොකළ යුතු යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
ශ්‍රී ලංකාවේ සත්කාරක සේවා පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ගැහැණු දරුවන් සාපේක්ෂව අධ්‍යාපනයේ ඉහළ ප්‍රතිඵල වාර්තා කළ ද කාන්තාවන් නිරන්තරයෙන් ගෘහස්ත හිංසා, වෙනත් වගකීම් හේතුවෙන් ශ්‍රම බලකායෙන් ඉවත්වීම වැනි ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා ය. විශේෂයෙන්ම අවිධිමත් සහ වැටුප් නොලබා සිදු කරන ශ්‍රම දායකත්වය අංශ දෙකෙහිම කාන්තා සහභාගීත්වය සම්බන්ධයෙන්, ශ්‍රමය, ඵලදායිතාව සහ ආර්ථික දායකත්වය නිර්වචනය කරන ආකාරය පිළිබඳව නැවත සිතා බැලීමක් අවශ්‍ය වන බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළාය.
“ශ්‍රම බලකා සහභාගීත්වය යනු ඵලදායීතාව තක්සේරු කිරීම පිළිබඳ දෙයක් පමණක් නොව, අවස්ථා, ගරුත්වය සහ ඇතුළත් වීම පිළිබඳ කරුණක්.” වැටුප් ලබා හෝ වැටුප් නොලබා සිදු කරන ශ්‍රම දායකත්වය, විධිමත් හෝ අවිධිමත් ශ්‍රම දායකත්වය, කිසිදු අයුරකින් අවතක්සේරු කිරීමක් හෝ අඩු ආරක්ෂාවක් සහිතව පැවතිය යුතු නැත. සත්කාරක සේවා යනු ආර්ථික වශයෙන් බලපාන ගැටලුවක් පමණක් නොව, මානව ප්රාග්ධනය ගොඩ නගන අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි එහි බලපෑම ඇති කරන සුවිශේෂී අංශයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තවදුරටත් අවධාරණය කළා ය.
ශ්‍රී ලංකා රජය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා, වැටුප් නොලබා සිදු කරන සත්කාර සේවා පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා සම්බන්ධ පාර්ශව සමඟ කටයුතු කරමින් සිටින බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය එම ක්‍රියාවලිය හරහා, වැටුප් නොලබා සිදු කරන සත්කාර සේවාවන් ජාතික සංවර්ධනයට දායක වන අත්‍යවශ්‍ය අංගයක් ලෙස හඳුනාගැනීම, කාන්තාවන් සහ ගැහැණු දරුවන් මත පවතින බර අඩු කිරීම, සමාජ ආරක්ෂාව සහ මහජන සේවා වර්ධනය කිරීම, සත්කාර වගකීම් සාධාරණව බෙදා හැරීම සහ සමාජ රටා වෙනස් කිරීමට අරමුණු කරන බව සඳහන් කළා ය.
වැටුප් ලබන සහ වැටුප් නොලබන රැකවරණ සේවා, සමාජ හා ආර්ථික ක්‍රියාකාරිත්වයට, ශ්‍රම වෙළඳපොළ සහභාගීත්වය සක්‍රීය කිරීමට, පවුල් සහ ප්‍රජාවන්ට සහාය වීමට සහ ඵලදායිතාව සහ ආර්ථික වර්ධනයට සහාය වීමට අත්‍යවශ්‍ය අංගයන් බව ILO අවධාරණය කර තිබෙනවා. නමුත්, දකුණු ආසියාව පුරා, සත්කාරක සේවා සඳහා නිසි තක්සේරුව ලැබි නොමැති අතර, ගුණාත්මක සත්කාර සේවා සඳහා ප්‍රවේශය සීමා වීම හේතුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ගැටලු පැන නැගීමට හේතු වී තිබෙනවා යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ILO විසින් “Decent Work and the Care Economy” සම්බන්ධයෙන් යෝජනාවක් අනුමත කර ඇති අතර, සත්කාරය කම්කරු වෙළඳපොළේ මූලික යටිතල පහසුකමක් ලෙස හඳුනාගෙන, උසස් ගුණාත්මක සේවා ලබාදීම සහ සත්කාර සේවකයින්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සම්මුතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මෙම සංවාදය හරහා දකුණු ආසියාව පුරා සත්කාරක සේවා පද්ධති ශක්තිමත් කිරීම සඳහා යෝජනා සහ ඒ හරහා ප්‍රතිඵල ලබාගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය