එක්සත් රාජධානියේ නිලසංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය (20) දින ලන්ඩන් නුවරදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
සතියේ වැඩ කරන දිනයක් වුවද, මෙම අවස්ථාව සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව දහසකට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉතා උනන්දුවෙන් මේ සඳහා සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ස්වාභාවික ආපදා සහ ජාත්‍යන්තර අර්බුද මධ්‍යයේ වුවද, රටේ ආර්ථිකය ස්ථාවර කරමින් ජනතාවට සහන සැලසීමට වත්මන් රජය සමත්ව තිබෙන බවත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය මේ වන විට යළි හැරවිය නොහැකි ලෙස සුබදායී පරිවර්තනයකට ලක් කර ඇති බවත් මෙහිදී රැස්ව සිටි ජනතාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
සියලුම ජාතීන්ට සමානව සලකන සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම ජාතිකයෙකුටම සමසේ හිමිවන පාලනයක් මේ වන විට රට තුළ බිහිවී තිබෙන බව උත්සවය ඇමතූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල් රාජ්, පැවසුවාය.
අනතුරුව සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් රටාවෙන් බැහැර වෙමින්, පැමිණ සිටි ලාංකික ජනතාවට අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍යවරිය වෙත සෘජුවම ප්‍රශ්න යොමු කිරීමට සහ අදහස් දැක්වීමට ද මෙහිදී විවෘත අවස්ථාවක් ලබා දී තිබුණි.
මෙම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව අදහස් දැක්වූ සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේ, රාත්‍රී ආහාරය ඇතුළු සියලු වියදම් සහභාගී වූවන් විසින්ම දරනු ලැබූවක් බවයි. මහජන මුදල් අවභාවිත කරමින් මෙවැනි උත්සව සංවිධානය කිරීමට හුරුවී සිටින විපක්ෂ කණ්ඩායම්, මෙම විනිවිදභාවයෙන් යුත් ක්‍රියාවලිය දැක කලබල වීම පුදුමයට කරුණක් නොවන බව ද සංවිධායකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය