අවශ්‍ය සහන ලබා දෙමින් ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට නම් ප්‍රාදේශිය මට්ටමේ නිලධාරීන්ගේ කාර්යක්ෂම සහයෝගය අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සුරක්ෂා කඳවුරුවල සිටින දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිලිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ජන ජීවිතය සමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා රජය ලබා දිය හැකි උපරිම සහන සහ ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන ලබා දෙමින් ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට නම් ප්‍රාදේශිය මට්ටමේ නිලධාරීන්ගේ කාර්යක්ෂම සහයෝගය අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පැවති ආපදා තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයට සිදු වූ හානියෙන් අවතැන් ජනතාව වෙත සහන ලබාදීමේ සහ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහනුවර උඩපළාත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දෙසැම්බර් 07 දින පැවති ආපදා කළමනාකරණ කමිටු සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

ගෙලිඔය, උඩපලාත, දොළුව ප්‍රදේශවල ආපදාවෙන් සිදු වූ හානිය සහ සහන සැපයීම් කටයුතුද අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට ලක්විය.

උඩපළාත සහ දොළුව ප්‍රදේශය ආවරණය වන පරිදි විදුලිය බිඳවැටීම් බොහෝ දුරට යථාතත්වයට පත්කර ඇති බවත්, ප්‍රධාන මාර්ග මේ වනවිට විවෘතව පවතින බවත් අනෙකුත් ග්‍රාමීය මාර්ග පිරිසිදු කරමින් පවතින බවත් මෙහිදී නිලධාරීන් පැවසීය. ප්‍රදේශයට අවශ්‍ය පානීය ජල සැපයුම් ලබා දෙමින් පවතින අතර සන්නිවේදන බිඳවැටීම් යථාතත්ත්වයට පත් වූ පසු බැංකු කටයුතු නිසි පරිදි සකස් කරන බවත් නිලධාරීන් පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ආපදාවට ලක් වූ රටේ ජන ජීවිත වගේම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන්නේ අප සියලු දෙනා නම්‍යශීලී භාවයෙන් යුක්තව හා කැපවීමෙන් සිදු කරනු ලබන කාර්යභාරය මත පමණයි, විශේෂයෙන් සුරක්ෂා කඳවුරුවල සිටින දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ අපි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

මේ වගේ බිහිසුණු ව්‍යසනයක් යටතේ ජනතාවගේ ජීවිත රැක ගන්න අපිට හැකි වුණේ මෙවැනි අපදා තත්වයන් පිළිබඳ අත්දැකීම් තිබුණත් නැතත් ඔබ කළ කැප කිරීම නිසයි.

මේ අතිශය දුෂ්කර අවස්ථාවේදී රාජකාරී ඉක්මවා යමින් සිදු කළ කැපකිරීම වෙනුවෙන් සියලු දෙනාට සිය ස්තූතිය පුද කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පෂ්මින් ෂරීෆ්, තනුජ දිසානායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, උඩ පළාත් ප්‍රාදේශිය ලේකම් ආත්මා ජයරත්න, දොළුව ප්‍රාදේශිය ලේකම් යමුණා දයාරත්න යන මහත්ම මහත්මීන් ද, විදුලිය බලමණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පොලීසිය, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය