ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ, ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලයේ (ICCR) 75 වැනි ස්ථාපිත දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් හෝටලයේ දී මැයි මස 30 දින පැවැත්විණී.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
ICCR ශිෂ්‍යත්වධාරියෙකු ලෙස, ඉන්දියාවේදී මා ලැබූ අධ්‍යාපනික අත්දැකීම් මගේ ජීවිතයට මහත් බලපෑමක් ඇති කළා. එය හුදු විධිමත් අධ්‍යාපනයක් පමණක් නෙමෙයි. ඉන්දීය ශිෂ්ටාචාරයේ, සංස්කෘතියේ සහ බුද්ධිමය සම්ප්‍රදායන්ගේ ගැඹුර හා විවිධත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ලැබුණ අගනා අවස්ථාවක්. ඒ වගේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංස්කෘතික සබඳතාව ඉතා ගැඹුරු එකක්.
1998 දී කොළඹ පිහිටුවන ලද ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC), අප අතර සංස්කෘතික හුවමාරුව, සහයෝගීතාවය සහ මිත්‍රත්වය සඳහා වූ විචිත්‍රවත් වේදිකාවක් නිර්මාණය කළා. වාර්ෂිකව සංස්කෘතිකාංග 300 කට අධික ප්‍රමාණයක් (ප්‍රදර්ශන, නැටුම් හා සංගීත ප්‍රසංග, සම්මන්ත්‍රණ, යෝග සහ ආයුර්වේද සැසි, සහ සාහිත්‍ය වැඩසටහන් ඇතුළුව) කරළායට ගෙනෙන මෙම මධ්‍යස්ථානය, දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේදී අවස්ථාවෝචිතව වැදගත් කාර්යයක් ඉටු කර තිබෙනවා.
පසුගිය වසර දෙක තුළ පමණක්, ශ්‍රී ලාංකික සංස්කෘතික කණ්ඩායම් හයක් ඉන්දියාවේ ප්‍රසංග පැවැත්වීමට ආරාධනා ලැබ තිබෙනවා. මෙම හුවමාරු මගින් සංස්කෘතික රාජතාන්ත්‍රිකභාවය දේශසීමා ඉක්මවා, දේශපාලනය ඉක්මවා ගොස්, අන්‍යෝන්‍ය ගෞරවය වර්ධනය කරන ආකාරය කදිමට විදහා දක්වනවා.
ඒ වගේම ඉන්දියාවේ උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි අධ්‍යයන සඳහා ශ්‍රී ලංකා සිසුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව වෙනුවෙන් අපගේ ස්තුතිය පළකරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. නේරු අනුස්මරණ, රජිව් ගාන්ධි, මවුලානා ආසාද්, ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම් (පොදුරාජ්‍ය මණ්ඩල), AYUSH, සහ ලතා මංගේෂ්කාර් වැනි කීර්තිමත් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම මේ අතරින් විශේෂයි.
ශ්‍රී ලංකාවේ සිටින විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් 400 කට අධික පිරිසක් (ආයුර්වේදය, මානව ශාස්ත්‍රය සහ කලා ඇතුළු විවිධ විෂය ධාරවන්ගේ) ICCR ආදි සිසුන් වීමම මේ සබඳතාවේ වැදගත්කමට ඉතා හොඳ සාක්ෂියක්. ඒ වගේම ආනන්ද සමරකෝන්, නන්දා මාලිනී, සහ ප්‍රදීප් රත්නායක වැනි සම්භාවනීය කලාකරුවන්ද මෙහි කොටස්කරුවන් බව කිවයුතුයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා ශිෂ්ටාචාරය, ඉතිහාසය, ආගම්, භාෂා සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ ගැඹුරින් එකට බැඳී පවතිනවා වගේම, දෙරට අතර වාස්තු විද්‍යාත්මක හා කලාත්මක සම්ප්‍රදායන් අතීත, වර්තමාන සහ අනාගත සහයෝගීතාව ගොඩනඟන පදනම් බවට පත්ව තිබෙනවා.
අනුර කුමාර දිසානායක මැතිතුමා 2024 පෙබරවාරි මාසයේ ඉන්දියාවෙි නියෝජිත පිරිසක් සමඟ ඉන්දීය සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලයේ (ICCR) කීර්තිමත් අමුත්තන්ගේ වැඩසටහනට සහභාගී වූණා. එහිදී විශේෂයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු ප්‍රධාන ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූණු අතර, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු වුණා. එසේම එතුමන්ගේ ඉන්දීය සංචාරයේදී කේරළයේ රාජ්‍ය මට්ටමේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සහ ගුජරාටයේ සමුපකාර ආකෘතිය පිළබඳ අනුර කුමාර දිසානායක මැතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවා ය.
.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්, උපකුලපතිවරුන්, පිඨාධිපතිවරුන්, ඉන්දියානු භාෂා සහ ප්‍රාසාංගික කලාව හදාරන සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය