අග්‍රාමාත්‍යවරිය Davos හි නිල සංචාරයට සමගාමීව ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව සහ ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව මුණ ගැසෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය Davos හි පැවති ලෝක ආර්ථික සංසදයට සමගාමීව ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් මෙන්ම ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික නියෝජිතයින් සහ වෘත්තිකයන් සමඟ සාකච්ඡා පැවැත්වුවා ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීමට සහ දිගුකාලීන සංවර්ධනයට සහාය වීම සඳහා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, විශ්වාසය සහ සහයෝගීතාවය ගොඩනැගීම සඳහා ප්‍රායෝගික මාර්ග ගවේෂණය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සහ වෘත්තීය නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවලදී, ව්‍යාපාරික සම්බන්ධතා වර්ධනය කිරීම, ආයෝජන අවස්ථා සඳහා පහසුකම් සැලසීම, වෙළඳපොළ ප්‍රවේශය සක්‍රීය කිරීම, ව්‍යවසායකයින්ට මග පෙන්වීම සහ ජාත්‍යන්තර ව්‍යාපාරික ජාල සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් ඉටු කරන වැදගත් කාර්යභාරය අග්‍රාමාත්‍යවරිය අවධාරනය කළා ය.

ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් සමඟ පැවති හමුවේදී, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දිශානතිය, ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා සහ ආයෝජනය ක්ෂේත්‍ර පිළිබඳව අවධාරණය කළා ය. ආයෝජක විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා ආර්ථික ස්ථාවරත්වය, අනාගතය පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති රාමු සහ පාලන ප්‍රතිසංස්කරණ කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.

සේවා අංශ ප්‍රවර්ධනය, ප්‍රාග්ධන වෙළඳපොළ, මූල්‍ය තාක්ෂණය සහ අනෙකුත් අංශයන්හි සහයෝගීතාවය සඳහා ඇති අවස්ථා පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර, ආයෝජකයින්ට අවස්ථාව ලබා දීම, ක්ෂේත්‍ර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සහ දිගුකාලීන සහයෝගීතාවය ඇතුළු සම්බන්ධතා හරහා ප්‍රතිඵල ලබා ගැනීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වය මගින් මෙහෙයවනු ලබන තිරසාර ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය , ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කොටස්කරුවන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව පැවසුවා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය