විපක්ෂය අද යන්න එන්න තැනක් නැතිවෙයි කියලා බයවෙලා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මහනුවර එන ජනතාව පරිසරය රැකගෙන පිරිසිදුව දළදා වදින්න යන්න, වෙනස ඔබෙන් පටන් ගන්න

විපක්ෂයට තැනක් නැතිවේ යැයි බයෙන් පසුවන බවත්, ජාතික ජනබල වේගය පසු කර යන්න නම් වංචාව, දූෂණය නතරකර පෙන්වන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය, උඩුදුම්බර, හසලක, කුණ්ඩසාලේ සහ මඩවල ප්‍රදේශවල අද (24) පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

වෙනස් යුගයකට මේ රට ගෙනියන්න අවශ්‍ය සැලසුම සකස් කරලා, කළමනාකරණය කරලා රජය ක්‍රියාත්මක කරමින් ඉන්නේ

ඔබ දන්නවා මෙරට මොන වගේ ආර්ථික අර්බුදයකද තිබුණේ කියලා. අද යම් තැනකට රටේ ආර්ථිකය ගෙනල්ලා තිබෙනවා. දූෂණය, නාස්ති නැති කරලා තිබෙනවා.

චෝදනාවක් එන්නේ නැති විදිහට පිරිසිදුවට වැඩකරමින් අලුත් දේශපාලන සංස්කෘතිය හදාගෙන ඉතාමත්ම සුපරික්ෂාකාරීව අපි මේ වැඩේ කරගෙන යනවා.

එතකොට ඔබට හිතෙන්නත් පුළුවන් දැන් ඉතින් ජනාධිපති කමක් දුන්නා, අතිශයින්ම බලවත් ආණ්ඩුවක් පිහිටවන්නත් බලය දුන්නා තව මොනවද ඕන කියලා. ඔබ දන්නවා රටක් පාලනය කරනකොට විවිධ ආයතන තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතා නියෝජනය හැම ස්තරයකදීම අවශ්‍යයි .

ඒ වැදගත්කම නිසා තමයි 2023 තියන්න තිබුණ පලාත් පලන මැතිවරණය පසුගිය රජය නොතියා හිටියේ. මොකද ඔවුන් දන්නවා ගම හැදුනොත් ගමේ නායකත්වය හැදුනොත් ගමේ ඉඳලාම ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ගත්තොත් ඒ දුෂිත දේශපාලඥයන්ට යන්න එන්න තැනක් නැති වෙයි කියලා.

ඒ බයත් එක්ක තමයි එදා රජය මොකක්හරි දේකින් අපිට චෝදනා කළේ. ගමෙන් පටන් ගන්න හදපු අපේ ගමන නවත්තන්න හැදුවේ.

මෙච්චර කාලෙකට අයවැය කොළ කැල්ලක් විතරක් වෙලා තිබුණා. ඇමතිලාට, ජනාධිපතිට ඕන විදිහට තමයි වැඩ සිද්ධ වුණේ. මුදල් වියදම් කළේ.

අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔබට ඉදිරිපත් කරපු සැලැස්ම බලලා ඒ සැලැස්ම තුළින් මේ අවුරුද්ද තුල ක්‍රියාත්මක කළ යුතු දේවල් හරියට හඳුනාගෙන ඒ අනුව ඉදිරි මාස අටට අයවැය ඉදිරිපත් කරලා තියෙනවා.

2024ටත් කලින් ඉඳන් කිව්වා. අපිට රට බාර දෙන්න කියලා. එදා ඉදන් ඔබ දන්නවා අපේ ප්‍රමුඛතා මොනවද කියලා. මොනවාද අපේ ප්‍රමුඛතා, සෞඛ්‍ය පද්ධතිය හදාගන්න ඕනේ. ජනතාවට පහසුවෙන් තමන්ගේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ගමේදි ලබා ගන්න පුලුවන් වෙන්න ඕන. ඉතාමත්ම ක්‍රමානුකූලව ඉහළට යන සෞඛ්‍ය පද්ධතියක් අපි හදාගන්න ඕන. අධ්‍යාපනයට අපි ප්‍රමුඛතාව දෙනවා. ගමේ සෑම කොට්ඨාසයකම කිලෝමීටර් තුනක වපසරයක් තුළ අංග සම්පූර්ණ ප්‍රාථමික පාසලක් අපි හදාගන්න ඕනේ. දරුවන්ට බරක් නොවන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන්න අපි දැනටමත් කටයුතු කරමින් යනවා. ප්‍රවාහනය, ග්‍රාමීය මාර්ග පද්ධති දියුණු වෙන්න ඕන, ගමට ආර්ථික අවස්ථා ඇති කරන්න ඕන.

සංවර්ධනය කියන්නේ නගරය කේන්ද්‍ර කරගත්ත, කොළඹ කේන්ද්‍ර කරගත්ත, එක කණ්ඩායමක් හෝ ගජ මිතුරන් කේන්ද්‍ර කර ගත්ත ආර්ථික වර්ධනයක් නෙවෙයි. සියලුම ජනතාවට ඒකට සහභාගී වෙන්න පුළුවන් සියලුම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තමන්ගේ ජීවිත එන්න එන්න පහසු වෙනවා කියලා දැනෙන ක්‍රමවේදයක් වෙන්න ඕන. සියලු දෙනාටම භුක්ති විඳිය හැකි පොදු සම්පත් අපි දියුණු කරන්න ඕන. ඒ වෙනුවෙන් රජය මුදල් වෙන් කර තිබෙනවා. දැන් ඒ වෙන් කළ මුදල් ගමේ සංවර්ධනයට යොදවන්න අවශ්‍ය පරිසරය සකස් කරන්න අපිට අවශ්‍යයි.

ඉස්සර දියවන්නාවෙන් වෙන් කරලා, භාණ්ඩාගාරෙන් ගමට එවන මුදල් වලින් එන්නේ සොච්චමයි ඉතිරි සියල්ල සාක්කු වලට ගියා. ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕන.

අපි පුද්ගලයන් ලෙස නෙමෙයි එක නායකත්වයක් යටතේ කණ්ඩායමක් ලෙස ඉදිරියට යන පිරිසක්. අපි රාජ්‍ය ආයතනවලට කියන්නෙත් ඒක. ඒ ආයතනවල දක්ෂ නිලධාරීන් ඉන්නවා. නමුත් දේශපාලන මැදිහත්වීම නිසා ඉදිරියට එන්න බැරි වුණා. අද ඒ අයට අවස්ථාව තියනවා කණ්ඩායමක් ලෙස රට වෙනුවෙන් වැඩ කරන්න. ජනතාව වෙනුවෙන් සේවය කරන්න.

ජනතාව දේශපාලන සංස්කෘතිය වෙනස් කළා වගේම රාජ්‍ය සේවයත් වංචා දුෂණ වලින් තොර ජනතාවට සේවය කරන තත්වයට පත්වෙන්න ඕන. රාජ්‍ය සේවය තුළ අපි ඒ වෙනස බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් දිරිගැන්වීමක් ලෙසයි අපි වැටුප් වැඩි කළේ. ජනතාව වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයා අපි රකිනවා.

ඒ වගේම පුද්ගලික සේවය, ව්‍යවසායකයින් අපිට ඉතා වැදගත්. ඔබ රැකියා නිර්මාණය කරන්න කර්මාන්ත හදන්න ඒ වෙනුවෙන් රජය පහසුකම් දෙන්න, ආයෝජකයන් ගෙන්නන්න වගේම අවශ්‍ය බදු ප්‍රතිපත්ති වෙනස් කරන්න සුදානම්.

ජාතික ජන බලවේගය එක්ක ව්‍යාපාරික ප්‍රජව තරහ කරන්න විපක්ෂය විවිධ කතා කිව්වා. ආයෝජකයන් එන්නෑ කිව්වා. නමුත් අද ඉතා සතුටින් අපිත් එක්ක ව්‍යාපාරික ප්‍රජාව වැඩකරමින් ඉන්නවා.

මේ මැතිවරණය අපිට වැදගත් වෙන්නේ ඔබේ ගම හදන්නයි. අද විපක්ෂය ඔවුන්ට යන්න එන්න තැනක් නැති වෙන එකට ටිකක් බය වෙලා, පොහොට්ටුව කියනවා ජාතික ජනබල වේගය සීයයට තුනේ ඉදලා මෙච්චර දුරක් ආවා නම් සීියට දෙකේ ඉන්න පොහොට්ටුවටත් එන්න පුලුවන් වෙයි කියලා. එහෙම නම් අපිට වඩා දූෂණය නතර කරලා පෙන්වන්, වංචාව නතර කරලා පෙන්වන්න. අපිට වඩා ජනතාව වෙනුවෙන් කැපවෙලා පෙන්වන්න.

සියළු දේම රජයට කරන්න බෑ ආරක්ෂක අංශයට කරන්නත් බෑ අපි ඉන්න තැන අපි පිරිසිදු කරගන්න ඕන මේක අපේ පොදු ගමන, මහනුවරට දවසට ලක්ෂ 3ක් විතර එනවා ඒ එක්කෙනෙක් එක පොලිතින් එකක් දැම්මත් කොච්චර ප්‍රමාණයක්ද ඒ නිසා ඔබත් වගකිමෙන් වැඩ කරන්න, කල්පනා කරලා බලලා ඔබත් රට වෙනස් වෙන විදිහ අනුව වෙනස් වෙන්න.

රට හදන ගමනට සුදුසු, දේශපාලන සංස්කෘතියට සුදුසු කණ්ඩායමත් සමග ජනතාව සිටින බව තමන් විශ්වාස කරනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ත්‍රීක් විධායක සභික තලවල සූජාත ස්වාමීන් වහන්සේ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්. බස්නායක ඇතුළු අපේක්ෂකයින් සහ ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය