​“සංවර්ධනය යනු පරිසරය අමතක කර ලබාගත හැකි ජයග්‍රහණයක් නොවේ” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පරිසරය සුරැකීම දිනකට පමණක් සීමා නොකර එය දෛනික ජීවිතයේ කොටසක් බවට පත් කරගත යුතු බවත්, පරිසරය අමතක කර සිදු කරන සංවර්ධනයක් ලෝකයේ නොමැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

බත්තරමුල්ල ​“අපේ ගම” පරිශ්‍රයේ අද (02) පැවති ලෝක තෙත්බිම් දිනය සැමරීම වෙනුවෙන් ​“තෙත්බිම් හා සම්ප්‍රදායික දැනුම හා සබැඳුණු සංස්කෘතික උරුමය සුරකිමු” රාජ්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

මෙහිදී ගෝනමෙරියාව ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර දිය ඇලි නාමාවලිය (Waterfall Directory), දිය ඇලි මාර්ගෝපදේශ සහ “තෙත්බිම් ශ්‍රී ලංකා” සඟරාව එළිදැක්වීම සහ ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් පැවැත්වූ සමස්ත ලංකා චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්ට සහතික පිරිනැමීම ද සිදුකෙරිණි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපේ රටේ සාම්ප්‍රදායික වාරි පද්ධතිය සහ කෘෂිකාර්මික රටාව තුළ පරිසරයට හානි නොවන සුවිශේෂී විද්‍යාත්මක දැනුමක් ගැබ්ව තිබෙනවා.

දැනුම යනු එක් ආකෘතියකට පමණක් සීමා වූවක් නොවේ. අපේ දරුවන් මේ සම්ප්‍රදායික දැනුම හැදෑරිය යුතුයි. අපේ වාරි පද්ධති සහ කෘෂිකර්මය තුළ පවතින්නේ සොබාදහම ආරක්ෂා කරන විද්‍යාවක්.

තෙත්බිම් යනු හුදෙක් වගුරු බිම් පමණක් නෙමෙයි, ඒවා රටේ ජල සුරක්ෂිතතාව, දේශගුණික ස්ථාවරත්වය සහ ජෛව විවිධත්වය රකින ස්වභාවික පලිහක්. මෑතකදී ඇති වූ සුළි කුණාටු වැනි දේශගුණික විපර්යාස හමුවේ සිදුවූ හානි අවම කර ගැනීමට පරිසරය නිසි ලෙස ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්තියේ මූලික පදනම ස්වභාවික සම්පත් සුරැකීම බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය