මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් මාර්තු 05 දින කොළඹදී පැවැත්වුණි.
මාලදිවයින ජනරජයේ ආර්ථික සංවර්ධන, ප්‍රවාහන හා වෙළඳ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන 2026 මාලදිවයින-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයට මාලදිවයින් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් සහභාගී විය. මෙම හමුව හරහා විදේශ ආයෝජන අවස්ථා, ප්‍රතිපත්තිමය දිරිගැන්වීම් මෙන්ම දෙරටේ දිගුකාලීන ආර්ථික වර්ධනයට අවශ්‍ය සහාය ලබා දීමට අවස්ථා නිර්මාණය වනු ඇත.
පුරා 60 වසරක ශ්‍රී ලංකා – මාලදිවයින් රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ සඳහන් කළ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දෙරට අතර ආර්ථික, නවෝත්පාදන සහ උපායමාර්ගික හවුල්කාරිත්වය ගොඩ නගා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන සහයෝගීතාවය සහ මිත්‍රත්වය පිළිබඳ ඉස්මතු කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ඓතිහාසික සබඳතාව නූතන ආර්ථික හවුල්කාරිත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇති බව සඳහන් කළා ය.
සංචාරක, වෙළඳ, ධීවර ක්ෂේත්‍රයන් සහ ඩිජිටල් ආර්ථිකය යන අංශවල සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, මේ වනවිට මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව තුළ වෙළඳ සහ ව්‍යාපාර කටයුතු මෙන්ම ආයෝජන අවස්ථා සඳහා මාලදිවයින් ව්‍යාපාරිකයින් සඳහා ආරාධනා කළා ය.
මෙම අවස්ථාවට මාලදිවයින සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහභාගී විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය