පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට කළ සදාචාර විරෝධි තර්ජනය හෙළා දකිනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මන්ත්‍රිවරුන්ගේ සදාචාරවිරෝධි හැසිරීම් පාලනය කරන්න ක්‍රමවේදයක් සැකසියයුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ඳ්‍ර මෙනෙවියට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා සිදු කළ සදාචාර විරෝධි තර්ජනය හෙළා දකින බවත්, මන්ත්‍රිවරුන්ගේ සදාචාරවිරෝධි හැසිරීම් පාලනය කරන්න ක්‍රමවේදයක් සකසරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බවත්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසුවාය.

අද (11)පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

විපක්ෂනායකතුමාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස හදුන්වන මන්ත්‍රීවරයෙකු ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමියට තර්ජනාත්මක ලෙස කතා කර තිබෙනවා. මේක ඒ මන්ත්‍රීවරියට විතරක් කළ තර්ජනයක් ලෙස සලකන්න බැහැ. දකුණු ආසියාවේ අඩුම කාන්තා නියෝජනයක් තිබෙන පාර්ලිමේන්තුවක් මේක. එවැනි අවස්ථාවක පවා මන්ත්‍රීවරියකට තර්ජනාත්මකව ඇමතීම මම දකින්නේ ප්‍රචණ්ඩත්වයක්, හිංසනයක් ලෙසයි. මේ සංස්කෘතිය පරාජය කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. අද උදෙත් මේ පිරිස මෙතන හැසිරුණේ ඒ විදිහටමයි.

ඒ නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා මේ සිද්ධි පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන දේවල් බලන්න කියලා. ඒ තමයි ජනතාවගේ මතය. ජනතාව කියන දේ අධ්‍යයනය කරන්න. ඒ සිදුවිම කොයිතරම් පිළිකුල් සහගත ද කියලා බලන්න. මේ රටේ පුරවැසියන් තවදුරටත් ඒ ක්‍රමය බලාපොරොත්තු වෙන්නේ නැහැ.

අපි මහන්සිවෙලා මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරියන් 22ක් පත් කරගෙන තියෙනවා. ඒ මන්ත්‍රිවරියන් නියෝජනය කරන්නේ මේ රටේ සමස්ත කාන්තාවන්.

කාන්තාවන්ට මේ රටෙි එල්ලවන ප්‍රචණ්ඩත්වය ආරම්භවෙන්නේ මෙවැනි වාචික ප්‍රකාශ විදිහටයි, නවක මන්ත්‍රිවරියන්ගේ දක්ෂතාවයන් මේ පාර්ලිමේන්තුවට අභියෝගයක් වෙලා. මන්ත්‍රීවරුන්ගේ පිරිමිකමට අභියෝගයක් වෙලා ඒකයි මෙතන ප්‍රශ්නය. මේ රටේ කාන්තාවන් දිගින් දිගටම මුහුණ දෙන ප්‍රශ්නයක් මේක. මේ රටේ සමස්ත කාන්තාවන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ කථා කරනවිට ඒකට තර්ජනය කරනවා කියන්නේ සමස්ත කාන්තාවන්ටම කරන තර්ජනයක්. ජනතාවගේ මතය තේරුම් අරගෙන විපක්ෂයේ මන්ත්‍රිවරුන් වන ඔබත් වෙනස් වෙන්න. මේ මන්ත්‍රීවරියන්ගේ ක්‍රියා කලාපය බලා සිටින කුඩා ගැහැනු දරුවන් දවසක ඔවුනුත් මේ වගේ වෙන්න හීන දකිනවා. ඒ හීනවලටයි ඔබ මේ බලපෑම් කරන්නේ. ගරු කතානායක තුමන් මන්ත්‍රීවරුන්ගේ මෙවැනි හැසීරීම් පාලනය කරන්න කිසියම් ක්‍රමවේදයක් සකස් කරන්න. මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයට වඩා බස්නාහිර පළාත නියෝජනය කරන අපේ මන්ත්‍රිවරුන් ගණන වැඩියි. ජනතාව මේ විපක්ෂය මේ තත්ත්වයට පත්කළේ පාර්ලිමේන්තුව තුළත් ඒ වෙනස අවශ්‍ය නිසයි. විවාද කරන්න, ඒ වාගේම සාදාචාරසම්පන්නව හැසිරෙන්නැයි ද මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැවසූවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය