තුර්කි අධ්‍යාපන අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

තුර්කි ජනරජයේ ජාතික අධ්‍යාපන අමාත්‍ය H.E. Yusuf TEKIN මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ජූලි 24) පාර්ලිමේන්තුවේදී හමුවිය.

අමාත්‍යවරයා පිළිගත් අග්‍රාමාත්‍යවරිය ආර්ථිකය, ගෝලීය වෙලඳාම සහ අධ්‍යාපන යන අංශ සඳහා ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය සිහිපත් කළා ය. එමෙන්ම තුර්කි රජය විසින් ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන යෝජනා පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.

දෙරටේ අධ්‍යාපනය, ගෝලීය වෙළඳාම, සැපයුම්, බලශක්ති, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

තුර්කි ජාතික අධ්‍යාපන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරිය සමඟ ඵලදායී සංවාදයක නිරත වීමට ලැබීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර, විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට තුර්කියේ කැපවීම නැවත අවධාරණය කළේ ය. සාමය සහ මානව ගුණධර්ම ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ අවශ්‍යතාවය ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

තුර්කි දූත පිරිස නියෝජනය කරමින්, තුර්කි ජනරජයේ තානාපති H.E. Semih Lütfü TURGUT මහතා, ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයේ යුරෝපා සංගම් සහ විදේශ සබඳතා අධ්‍යක්ෂ ජනරාල් nal ERYILMAZ මහතා මෙම හමුවට සහභාගී වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ද මෙම හමුවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය