මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම රජය ක්‍රියාත්මක කරමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැදගත් අරමුණක් බවත්, මාධ්‍ය ක්ෂේත්රයේ අනාගතය ගොඩනැගිය යුත්තේ මහජන විශ්වාසය, වෘත්තීය වගකීම, තාක්ෂණික නවෝත්පාදනය සහ සමාජයට සේවය කිරීම යන කරුණු මත පදනම්ව බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
නොවැම්බර් 11 වන දින කොළඹදී පැවති ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය සංවිධානය කළ 2026 වාර්ෂික සමුළුව (Sri Lanka Broadcasters’ Symposium 2026) සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේබව පැවසුවාය.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය විසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව සංවිධානය කරනු ලබන මෙම සමුළුව නොවැම්බර් 11 සහ 12 යන දෙදින කොළඹ දී පැවැත්වෙන අතර විකාශන ක්ෂේත්රයේ වෘත්තිකයන්, මාධ්‍ය ආයතන නියෝජිතයන්, තාක්ෂණික විශේෂඥයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ විද්‍යුත් විකාශන ක්ෂේත්රයේ වත්මන් ප්රවණතා, තාක්ෂණික ප්රගමනයන්, අනාගත අභියෝග සහ නව අවස්ථා පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වෙදිකාවක් වනු ඇත.
සමුළුව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය, විකාශන ක්ෂේත්රය තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට එහා ගිය කාර්යභාරයක් ඉටු කරමින් ජනතාව එකිනෙකා හා සම්බන්ධ කරමින් මහජන සංවාදයට අවස්ථාව සපයමින් දෙස්විදෙස් තොරතුරු සඳහා අවකාශය සලසන බව සඳහන් කළා ය.
කෘත්‍රිම බුද්ධියේ ආගමනය, ගෝලීය ඩිජිටල් ප්රවණතා හේතුවෙන් සිදු වන බලපෑම සහ ප්‍රේක්ෂක හැසිරීම් රටාවන්හි ශීඝ්‍ර වෙනස්වීම් හේතුවෙන් විද්‍යුත් විකාශන ක්ෂේත්රය පරිවර්තනයකට ලක්වෙමින් පවතින බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය. “මාධ්‍ය ක්ෂේත්රය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සම්බන්ධයෙන් විකාශකයන්, මාධ්‍යවේදීන්, තාක්ෂණික විශේෂඥයන්, ශාස්ත්‍රඥයන්, සිවිල් සමාජය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළත් පුළුල් සංවාදයක් අවශ්‍යයි. කෘත්‍රිම බුද්ධිය සාමාන්‍ය තාක්ෂණයක් නොවේ, එය අලුත්වන දත්ත, උපකල්පන සහ සමාජ ව්‍යුහයන් මගින් සෑම දිනකම හැඩගැසෙනවා, එය සදාචාරාත්මකව හා වගකීමෙන් යුතුව භාවිත කරන්න අප වග බලා ගත යුතුයි.” යනුවෙන් ප්‍රකාශ කළාය.
විකාශනය යනු හුදෙක් සන්නිවේදනයට පමණක් සීමා වූවක් නොවන බවත්, දැනුවත් සමාජයක් ඇති කිරීමට මාධ්‍ය සාක්ෂරතාව ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍යය අංගයක් බවද අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, විශේෂයෙන්ම තරුණ පරපුර ඇතුළු සෙසු පුරවැසියන්ට මාධ්‍ය අන්තර්ගතයන් විවේචනාත්මකව අවබෝධ කර ගැනීමටත්, ඒවා ඇගයීමට ලක් කිරීමටත්, වගකීමෙන් යුතුව ඒවා සමඟ සම්බන්ධ වීමටත් අවශ්‍ය හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.
මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම රජය ක්‍රියාත්මක කරමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැදගත් අරමුණක් බව ද වැඩිදුරටත් සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය මාධ්‍ය ක්ෂේත්රයේ අනාගතය ගොඩනැගිය යුත්තේ මහජන විශ්වාසය, වෘත්තීය වගකීම, තාක්ෂණික නවෝත්පාදනය සහ සමාජයට සේවය කිරීම යන කරුණු මත පදනම්ව බව ද අවධාරණය කළාය.
මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයන්, මාධ්‍යවේදීන් සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ සාමාජිකයෝ සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය