අභිමානවත් අනාගතයක් සඳහා නවෝත්පාදන ඉතා වැදගත්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

අභිමානවත් අනාගතයක් නිර්මාණය කරන්නේ කෙසේද යන සංවාදයේදී නවෝත්පාදනය ඉතා වැදගත් මාතෘකාවක් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

2025 නවෝත්පාදන දූපත් සමුළුවේ සමාප්තියට එක්වෙමින් 21 දින අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

ඉන්දියාව පදනම් වූ ගෝලීය චින්තන ආයතනයක් වන ඔබ්සර්වර් පර්යේෂණ පදනම සහ කැපිටල් මහරාජා සමූහය එක්ව සංවිධානය කළ නවෝත්පාදන දූපත් සමුළුව 2025 කොළඹ ITC රත්නදීප හෝටලයේදී පෙබරවාරි 20-21 දෙදින පැවැත්විණි. ලෝකයේ රටවල් 50 කට ආසන්න රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් හා නිලධාරීන් මෙම සමුළුවට සහභාගී විය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය .

අද ලෝකය සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක. දේශගුණික විපර්යාස, ආර්ථික අස්ථාවරත්වය, තාක්ෂණික බාධා කිරීම් සහ භූ දේශපාලන අවිනිශ්චිතතාව ඇතුළු අභියෝග වලට මුහුණ දෙන්න සිදුව තිබෙනවා. නමුත් අභියෝගත් එක්ක අවස්ථා එනවා. මෙම සමුළුවත් එවැනි අවස්ථාවක්. අප වැනි දූපත් ජාතීන්ට අනන්‍ය ලෙස ගැලපෙන විසඳුම් සැකසීමට අවස්ථාවක් මෙමගින් ලැබී තිබෙනවා.

නවෝත්පාදනය තුලින් නැවුම් යෝජනා ඉදිරිපත් වෙනවා.ඒ නවෝත්පාදන පවතින ක්‍රමවලට අභියෝග කරන දෙයක්. ශ්‍රී ලංකාව පරිවර්තනයකට සූදානම් වෙමින් සිටින නිසා මෙම සුවිශේෂී මොහොතේ නවෝත්පාදන තේමාවෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීමඉතාම උචිතයි. විශේෂයෙන් මේක අපේක්ෂා, උද්යෝගය සහ බලාපොරොත්තුව පිළිබඳ හැඟීමක් ලංකාව තුල ඇතිවී තිබෙන මොහොතක්.

අපි අනාගතය දෙස බලා සිටින්නේ විශ්වාසයකින්. බොහෝ කලක සිට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි අතීත ශ්‍රේෂ්ඨත්වය, අපේ ඉතිහාසය ගැන, ජයග්‍රහණ ගැන, කතා කරනවා. නිසැකවම අපේ ඉතිහාසයේ ආඩම්බර විය යුතු බොහෝ දේ තිබෙනවා. පෞරාණික වාරිමාර්ග පද්ධති, ගෘහ නිර්මාණ ශිල්පය, ආගමික ස්මාරක, සාහිත්‍යය, කලාව වැනි අංග තිබෙනවා. අපිට අවුරුදු 2500ක් ආපස්සට ගිහින් අපේ අතීත අසිරිය ගැන කතා කරන්න පුළුවන්. අපේ රටට පැමිණෙන විදේශික ඔබට අපගේ උරුමයන් නැරඹීමට යම් කාලයක් ගත කරන ලෙස මම ආරාධනා කරනවා. අපේ කුඩා දිවයිනේ දැකීමට සහ අත්විඳීමට බොහෝ දේ තිබෙනවා.

නමුත්. අද අපි කතා කරමින් ඉන්නේ අභිමානවත් අනාගතයක් සඳහා අපට ඇති හැකියාව ගැන යි. එය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සංවාදයේදී නවෝත්පාදනය ඉතා වැදගත් මාතෘකාවක්. හැබැයි නවෝත්පාදන තුලත් පොඩි අනතුරක් තියෙනවා. මම නවෝත්පාදනය ගැන කතා කරන්නේ අර්ථවත් පරිවර්තනයකට උත්ප්‍රේරකයක් යන අර්ථයෙන්.

එය හුදෙක් තාක්ෂණය හෝ විද්‍යාව ගැන පමණක් නොවේ. නැවුම් දර්ශන, අදහස්, ආදර්ශ, නැවුම් චින්තනය අපිට අවශ්‍යයි. සමහර ප්‍රශ්න මෙතරම් කාලයක්, නොවිසදී තිබෙන්නේ ඇයි කියා අප හොඳින් සිතා බැලිය යුතුය. මෙම ගැටලුවලට නව දෘෂ්ටි කෝණයකින් ප්‍රවේශ වීමට අවශ්‍ය යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ,ඉන්දියාවේ ඔබ්සර්වර් පර්යේෂණ පදනමේ සභාපති සමීර් සරන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය