අගමැතිනිය වතිකානු සහ නවසීලන්ත රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැයි 27 වන දින අරලියගහ මන්දිරයේදී විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා දෙකකට එක්විය.

සිය ධුර කාලය අවසන්ව දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකාවේ වතිකාන තානාපතිවරයා සහ නවසීලන්තයේ උප අගමැති සහ විදෙස් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ අගමැතිනිය අතර මෙම සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති (අපෝස්තලික තානාපති) Monsignor Brian Udaigwe මහතා අග්‍රාමාත්‍යවරිය විසින් පිළිගනු ලැබූ අතර ඔහුගේ පසුගිය සේවා කාලය පිළිබඳව අගමැතිනිය සිය කෘතඥතාව පළ කළාය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහු දැක්වූ සැලකිය යුතු දායකත්වය අග්‍රාමාත්‍යවරියගේ පැසසුමට ලක්විය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය යෙදෙන 2025 හි වැදගත්කමද ඇය මෙහිදී ඉස්මතු කළාය.

අනතුරුව, අගමැතිනිය නවසීලන්තයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය Winston Peters මහතා හමුවිය.

කෘෂිකර්මාන්තයේ තාක්ෂණික සහයෝගීතාව, කාන්තා දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජයේ ඇති කැපවීම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ අතර, සියලු දෙනාම ඇතුළත් වන පාලනයක් ප්‍රවර්ධනය කිරීමේදී නවසීලන්තයේ අත්දැකීම් බෙදාගැනීමේ වැදගත්කම පිළිබඳවද සඳහන් කළාය.

නවසීලන්තයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩා පාසලක් පිහිටුවීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළහ.

වතිකානු නියෝජිත පිරිසට කොළඹ වතිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී පුජ්‍ය Monsignor Roberto Lucchini ඇතුළත් විය. නවසීලන්ත නියෝජිත පිරිසට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය Jon Johansson, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ විදේශ කටයුතු උපදේශක සහ ශ්‍රී ලංකාවේ හිටපු මහ කොමසාරිස් Michael Appleton, නවසිලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ දකුණු සහ අග්නිදිග ආසියානු අංශයේ අංශ කළමනාකරු Joanna Kempkers ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් David Pine, කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Gabrielle Isaak අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ඉසුරිකා කරුණාරත්න, එම අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු අංශයේ අතිරේක ලේකම් සශිකලා ප්‍රේමවර්ධන, සහ නැගෙනහිර ආසියානු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය යන මහත්ම මහත්මීන්ද සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය