අධ්‍යාපනය පහසු කිරීමේ අරමුණින් පාසල් දහසකට සුහුරු පුවරු ලබාදීමේ ව්‍යාපෘතියේ අරමුණු කිසිසේත් ඉටු වී නැහැ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වියදම් කර ඇති බිලියන 1.7 ක ආයෝජනය ඌන උපයෝජනයක්.

අධ්‍යාපනය පහසු කිරීම ඇරමුණින් පාසල් දහසකට සුහුරු පුවරු ලබාදීමේ ව්‍යාපෘතියේ අරමුණු කිසිසේත් ඉටුවී නොමැති බවත් වියදම් කර ඇති බිලියන 1.7ක ආයෝජනය ඌන උපයෝජනයක් බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

පාසල් පද්ධතිය සඳහා සුහුරු පුවරු (Smart Board) ලබාදීම තුළින් ජාලගත පන්ති කාමර පිහිටුවීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් 2025.03.15 දින පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළාය.

"පාසල් පද්ධතිය තුළ පද්ධතියගත සුහුරු පන්ති කාමර ලබාදීම මගින් අධ්‍යාපනය පහසුකරණය කිරීමේ අරමුණින් තෝරාගත් පාසල් 1000 සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අරමුදල් භාවිතා කරමින් සුහුරු පුවරු සහ අනෙකුත් උපකරණ ලබාදීමට අදාළව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා වන අංක අමප/24/0385/601/ 027 හා 2024 මාර්තු 04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අනුමැතිය හිමි වී ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අංක අමප/24/0978/630/009 හා 2024 මැයි 14 දිනැතිව වැඩිදුරටත් ඉදිරිපත් කර ඇති අතර,එමගින් යෝජනා කර ඇත්තේ චීන රජය විසින් යෝජිත පාසල් ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමපාතීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි. චීන රජයේ එම ව්‍යාපෘතිය මගින් මධ්‍යගත පාලන මැදිරියක් සහ චිත්‍රාගාරයක් ඉදිකිරීමටත් අමතර සුහුරු පුවරු 500ක් ලබාදීමටත් යෝජනා වී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම මගින් පාසල් 1500ක් සදහා ජාලගත සුහුරු පන්ති කාමර ඇති කිරීමට යෝජනා වී ඇත.

මෙම ව්‍යාපෘති දෙක ඒකාබද්ධ කිරීම සඳහා චීන රජය විසින් ලබාදීමට යෝජිත සුහුරු පුවරුවල පිරිවිතරයන්ට සමාන වන අයුරින්ම ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගන්නා සුහුරු පුවරුද මිලදී ගත යුතු බවට ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය මගින් තීරණය වී ඇත.

2024 මැයි14 දිනැති ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගැනීමට යෝජිත වූ සුහුරු පුවරු 1000 මිලදී ගැනීමේ කටයුතු 2024 ජූලි මාසයේදී ආරම්භ කර ඇත. නමුත් එම මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වන විටද චීන රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය සාකච්ඡා මට්ටමේ පැවති ඇති අතර ඔවුන් විසින් ලබාදීමට යෝජිත සුහුරු පුවරුවල පිරිවිතරයන් සම්බන්ධයෙන් කිසිදු නිල එකඟතාවයකට එළඹ නොතිබුණු බව නිරීක්ෂණය වේ.

කෙසේ වෙතත් පැහැදිලි නොවුණු මූලාශ්‍ර ඔස්සේ ලබාගත් සහ චීන රජය විසින් නිල වශයෙන් තහවුරු නොකළ පිරිවිතයන් උපයෝගී කර ගනිමින් විවෘත මිල ගණන් කැඳවීමකින් තොරව එක් සැපයුම්කරුවකු වෙතින් මිල ගණන් ලබාගෙන ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා අදාළ මිලදී ගැනීම සිදුකර ඇත. ඒ සඳහා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 1.7කි. මීට අමතරව සේවා හා සවිකිරීම් ගාස්තු ලෙස රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව වෙත රුපියල් මිලියන 430ක පමණ මුදලක් තවදුරටත් ගෙවීමට ගිවිසුම් ගතව ඇත.

ඉහත මිලදී ගැනීම මෙවැනි ඉහල අගයකින් යුත් මිලදී ගැනීම් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය හා සංසන්දනය කරන විට අස්වාභාවික ලෙස වේගවත්ව සිදුකර ඇති බව නිරීක්ෂණය වේ. එනම් 2024 ජූලි 05 වන දින මිල ගණන් කැඳවා එම මිල ගණන් 2024 ජුලි 15 වන දින විවෘත කර 2024 ජුලි 16 දින වන විට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කිරීමද අවසන් කර ඇත. අදාළ වාර්තාව අමාත්‍ය මණ්ඩලය පත්කළ කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් පත්කළ 2024 ජුලි 17 සහ 18 යන දිනයන් සලකා බැලීමෙන් පසු එදිනම සිය නිර්දේශ ලබා දී ඇත. ඉහත නිර්දේශයන් 2024 ජුලි 23 වන දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය 2024 ජුලි 30 දින ලැබීමෙන් පසු මිලදී ගැනීමේ ඇණවුම 2024 අගෝස්තු 05 දින සැපයුම්කරු වෙත නිකුත් කර ඇත. ඒ කියන්නේ මුළු ක්‍රියාවලියටම ගිහිල්ල තියෙන්නෙේ මාසයයි.

මෙම මිලදී ගැනීමේදී සුහුරු පුවරු 1000ක් සඳහා CIF අගය වන ඇමෙරිකන් ඩොලර් 3,135,392.50 වටිනාකමක් HUAWEI ආයතනයේ නියෝජිතයා ලෙස දැක්වෙන "Intelligent Express Limited HongKong" වෙත ණයවර ලිපියක් විවෘත කිරීම මගින් ගෙවා ඇති අතර HUAWEI ආයතනයේ චීන ආධාර ව්‍යාපෘතිය යටතේ සුහුරු පුවරු සපයන නිෂ්පාදකයා ලෙස අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දක්වා තිබුණද මේ දක්වා එවැනි සැපයුම්කරුවෙකු මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගැනීම සම්බන්ධයෙන් චීන රජය සනාථ කර නොමැත.

ඉහත ඇණවූම පරිදි අදාළ සුහුරු පුවරු සහ අනෙකුත් උපකරණ 2024 ඔක්තෝබර් මාසයේදී පමණ අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති අතර ඒවා දැනට පත්තල ගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගබඩා කර ඇත. ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගනු ලැබු ඉහත සුහුරු පුවරු මිලදී ගැනීම අවසන් කර තිබුණද චීන රජය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අදාළ ව්‍යාපෘතියේ කොටස මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති අතර ඒ සඳහා අවසන් එකඟතාවයකට ද එළඹ නොමැත.

චීන රජය විසින් ලබාදීමට යෝජිත වූ ජාලගත කිරීමේ පහසුකම සහ මධ්‍යගත පද්ධතිය පිළිබඳ අවසන් එකඟතාවයට එළැඹීමට පෙර මෙම සුහුරු පුවරු මිලදී ගැනීම හේතුවෙන් සිදුවී ඇත්තේ අපේක්ෂා කළ කාර්යටට කිසිසේත්ම එම උපකරණ යොදා ගැනීමට නොහැකි වීමයි. දැනටද සාකච්ඡා මට්ටමේ පවතින චීන ආධාර ව්‍යාපෘතිය මේ වසර අවසාන වනතෙක්වත් කාලය ගතවන බව අපේක්ෂා කළ හැකිය.එසේම ඒ සඳහා තෝරා ගනු ලබන සැපයුම්කරු පිළිබඳව කිසිදු තීරණයක් නිල වශයෙන් මෙතෙක් දක්වා නොමැත.

මෙම තත්ත්වය මත දැනට ගබඩාව වී ඇති මෙම සුහුරු පුවරු 1000 සහ අනෙකුත් උපකරණ පාසල් වෙත බෙදා හැරීම් සිදු කරන්නේනම් ඒ භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව නිශ්චිතව උපදෙස් විදුහල්පතිවරයාට ලබාදිය යුතු අතර, චීන ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක නොවීම තුළින් මෙම උපකරණ සවිකිරීම සහ භාවිතා කළයුතු ආකාරය පිළිබඳ නිශ්චිතව උපදෙස් ලබා දීමට නොහැකි වී ඇත.

මෙම අවස්ථාවේදී අදාළ සුහුරු පුවරු ජාලගත කිරීම සිදු කල නොහැකි වන හෙයින් ඒවා භාවිතා කළ හැකි වන්නේ තනි පන්ති කාමර වශයෙන් පමණි. එමඟින් මෙම ව්‍යාපෘතිය අරමුණු කිසිසේත් ඉටු නොවන අතර ,මේ දක්වා වියදම් කර ඇති බිලියන 1.7ක ආයෝජනය ඌන උපයෝජනයක් ලෙස දැකිය හැකිය.

මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමවේදය අක්‍රමිකතා සිදුවී ඇත්දැයි යන්න විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් දැනට චින රජයේ සමගද සාකච්ඡා කරනු ලබන අතර හැකි ඉක්මනින් චීන රජය වෙතින් යෝජිත පහසුකම් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ." යැයි පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය